සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

04 August 2010

තවත් දවසක... (සය වැනි දිගහැරුම)

2010 අගෝස්තු 04 වැනිදා,

ඔහුගේ නිසල දේහය වාද්දුවේ ඉදිකළ ඔහුගේම නව නිවසේ තබා තිබේ.

මම මොහොතක් වික්ෂිප්තව ඒ නිසල දේහය දෙස බලා සිට මගේ අවසන් ගෞරවය දැක්වීමි. මා ඉදිරියේ නිසලව සිටි මේ කුඩා මිනිසා මෙයට බොහෝ කලකට පෙර සිය අපූර්ව නිර්මාණ තුලින් පාඨක හදවත් මෙන්ම රසික හදවත් ද කම්පනය කළ අයුරු මට සිහිවෙයි.

ඔහු කවරෙක්දැයි නොදන්නා ඒ කාලයේ කටුබැද්ද මහජන පුස්තකාලය පීරමින් "ගේ කුරුල්ලෝ" සෙවීමට මා ගත් උත්සහය මගෙ සිහියට නැගෙයි. එකල පාසැල නිමවී ආපසු නිවෙස බලා එත්දි හෝ අමතර පන්ති යත්දී මහජන පුස්තකාලයට ගොඩවීම මගේ සිරිතය. එකල එහි මා නොකියවූ පොතක් සොයා ගැනීම මටම අපහසු වූ වාර අනන්තය. එය අතිශයොක්තියක් නොවේ. විශාල සාමාජිකයන් පිරිසක් එහි නිතර ආ ගිය අතර අවශ්‍ය කරන පොතක් සොයා ගැනීම කලුනික සෙවීමට මදක් ආසන්න අත්දැකීමක් එක් කළ අවස්ථා එමටය. එහෙත් මගේ උත්සාහය අපතේ නොයවමින් අවසානයේදි මට එය හමුවිය. කවුරුන් හෝ රැගෙන ගොස් තිබුණු "ගේ කුරුල්ලෝ" ආපසු පුස්තකාල රාක්කයක තැන්පත් කරන්නට නියමිතව තිබියදි ඩැහැගන්නට මට හැකි විය. ගෙදර ගෙන ගොස් එක හුස්මට ඒ අපූරු නව කතාව කියවා අවසන් කළෙමි. ඒත් සිතට මදි තැන, දෙවන වරටද කියැවීමි. මා "ගේ කුරුල්ලෝ" නව කතාව කියැවූයේ ටෙලිනාටකය නැරඹීමෙන් පසුවද, ඊට පළමුව ද යන්න ගැන නම් මට විශ්වාසයෙන් යමක් පැවසිය නොහේ. ඒ පිළිබඳව මට ඇත්තෙ වළාකුළින් වැසීගිය මතකයකි. එහෙත් බූට් සපත්තු දෙක, ලේස් වලින් ගැට ගසාගෙන කරේ එල්ලා ගත් චන්න පෙරේරාගෙත්, විජේරත්න වරකාගොඩ මහත්මාගේත් රංග විලාසයන් තවමත් මසිතේ තැන්පත්ව තිබේ.

ඊට කලකට පසුව කැළණි පාලම වේදිකා නාටකය නරඹන්නට මට අවස්ථාව උදා විය. එහෙත් ඒ කොහේදිදැයි මතක නැත. ඒ වන විටවත් "ආර්. ආර්. සමරකොන්" යනු කවුදැයි නොදැන සිටියෙමි. අඩුම තරමේ රූපවාහිනියෙන් හෝ ඔහුගෙ රූපය මා නෙත ගැටී තිබුණේ නැත. කාලය සෙමෙන් ගලා ගෙන ගොස් තිබිණි. මාස කිහිපයකට පෙර හදිසියේ දිනක වයස්ගත කුඩා මිනිසෙක් මගෙ කවුන්ටරය ඉදිරියේ පෙනී සිටියේය. ඔහු ඔහුගේ හැඳුනුම්පත මට දිගු කළේය. එක්දාස් නවසිය හැත්තෑගණන්වල නිකුත් කළ ඒ හැඳුනුම්පත අළුත් කර තිබුණෙ නැති බව මට මතකය. එහි තිබුණු ඔහුගෙ තරුණවියේ ඡායාරූපය මට තවම සිහි කර ගත හැකිය. එකල ඔහුගෙ රූපකාය බොහෝ සිත්ගන්නා සුළු යැයි පැවසීම අතිශයොක්තියක් නොවනු ඇත. මා ඒ හැඳුනුම්පතේ අනෙක් පස හරවා එහි සඳහන් නම කියැවීමි. "සමරකෝන්...! ආර්. ආර්. සමරකෝන්...!!" මේ මා දකින්නට පෙරුම්පුරමින් සිටි අපූරු කලාකරුවාය. අවසානයේ ඔහු මා ඉදිරියටම පැමිණ සිටි. මා අනෙක් වැඩ පසෙකලා ඔහු සමඟ මදක් දොඩමළු වීමි. ඔහු සමග කතා බහද බෙහෙවින් රසවත්ය. මේ අපූරු පුද්ගලයා දැන හඳුනාගන්නට ලැබීමෙන් ඇත්තෙන්ම මම අමන්දානන්දයට පත්වී සිටියෙමි.

ඒ ඔහු වාද්දුවේ අළුත් නිවෙස තනාගෙන එහි පදිංචියට ආ අළුතය. එතැන් සිට සතියකට දෙතුන් වරක් හේ බැංකුවට ආවේය. ඒ හිස් අතින් නොවේ. ඒ එන හැම වාරයකම ඔහු මට අළුත් පොතක් ගෙනැවිත් දෙන්නට අමතක නොකළේය. ඔහු ඊළඟ වාරයේ බැංකුවට එනතුරු මා බලා සිටින්නේ කලින් පොත ආපසු බාරදීමේ සිහියට වඩා අළුත් පොතක් කියැවීමේ නොනිත් ආශාවෙනි. කැළණි පාලම, අකලංක, සුන්දරා, සුන්දරා සහ සොබනි ඒ අතර වූ බව මට මතකය. ඒ අතරින් ඔහු පර්යේෂණාත්මකව රචනා කළ "සුන්දරා" බෙහෙවින් මසිත ගත් ළමා සහ යොවුන් කතාවකි. එය අප අපූරු මානයකට ගෙන යන්නට සමත් අපූර්වතම කෘතියකි. සොබාදහමට බැඳුණු විශේෂිත දරුවෙකුගේ අපූරු හපන්කම් රැසක් හෙතෙම සිය පරිකල්පන ශක්තිය තුලින් අපට දායාද කර තිබුණි. "සුන්දරා සහ සොබනි" එහි දෙවැන්නයි. "මිස්ටර් සමරකෝන්... අළුතින් මොනවත් ලිව්වේ නැත් ද ?" මේ ඒ දිනවල මගේ මුවඟ රැඳී එකම පැනයයි. හෙතෙම සිහින් සිනහවකින් මුව සරසාගෙන මා සමඟ දොඩමළු වෙයි. පුදුමයකට මෙන් බැංකුවට කෙතෙක් ආවද හේ වෙන අය ළගට නොයයි. මා පෙනේනට නැත්නම් මගේ කවුන්ටරය ඉදිරිපිට හිඳගෙන "කෝ ? අද අර සුදු බෝයි නැත්දැයි" අසයි. එවැනි මිනිසෙකුගේ සිතෙහි ලැගුම්ගන්නට තරම් මා වැදගත් පුද්ගලයෙක්දැයි මා වරෙක මගෙන්ම අසා ගත්තෙමි. "තාත්තා" අයිය ගැන නිතරම කියනවා.. තාත්තා ලෙඩ වෙලා ඉඳිද්දි බැංකුවට ආවේ මමනේ.. තාත්තා මට කියන්නෙ, කවුන්ටරේ.. නීට් එකට අඳින සුදු බෝයි කෙනෙක් ඇති. එයා ළඟට යන්න. මගේ නම කිව්ව ගමන් එයා දන්නවා. ටක් ගාලා වැඩේ කරල දෙයි කියල.." ඔහුගේ ආදරණීය දියණිය බොඳවු දෙනෙතින් මා සමඟ පවසත්දි මසිතට දැනුණේ කුමන ආකාරයේ හැඟීමක් දැයි මටම නොතේරේ. එහිදී මට ඔහුගේ තවත් ඥාති දියණියක මුණ ගැසිණ. අප බැංකුවෙන් බව දැන ගත් ඈ අප සමඟ දොඩමළු වූවාය. ඇයද අප බැංකුවේමය. "මං බාප්පාගෙන් නිතරම අහනව බැංකුව පැත්තෙන් වෙන්න ඕන දෙයක් තියෙනව නම් කියන්න කියල. බාප්පා කියන්නෙම හපෝ නෑ දුවේ.. මෙහෙ බ්‍රාන්ච් එකෙන් මට සුපර් සර්විස් එකක් ලැබෙනව කියල.." මසිතට සියුම් ආඩම්බරයක් දැනේ.. උඩු ගං බලා පිහිනිය හැකි බවට එය මට පසක් කරදිණි.

ආර්. ආර්. සමරකෝන් කලාකරුවාණෙනි මා ඔබතුමා හඳුනාගෙන තවම එතරම් කලක් නැත. එහෙත් ඔබ වැන්නෙකුට හොඳ සේවාවක් සලසන්නට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි. මගේ බැංකු දිවියේ මා ලද ලොකුම භාග්‍යය එය වනවාට සැක නැත. ඔබගෙන් හිස්වන සාහිත්‍ය අඹරට අළුත් තරු පෑයුවද ඔබේ අඩුව පුරවන්නට ඔවුනට හැකි වේදැයි සැක සහිතය. අවසාන වශයෙන් පතන්නන් වාලේ ඔබට නිවන් සුව යැයි කියන්නට අකමැත්තෙමි. මන්ද යත් මගේ විශ්වාසයේ හැටියට නිවන යනු, මොලොවදී පසක් කළ යුතු දෙයක් විනා පරලොවදි පසක් කළ හැක්කක් නොවන බැවිනි. එහෙයින්,අද අවසන් ගමන් යන ඔබට යහපත් තැනක නැවත උපතක් වේවායි පතමින් නවතින්නෙමි.

12 දෙනෙකුගේ අදහස්....:

වැම්පයර් said...

අපෙ අප්පේ.. කොහොද බොල මෙච්චර කල් වහංවෙල හිටියෙ..?

චේජනා said...

අපූරු ම අත්දැකීමක්...මල්ලි
ඒ වගෙම එදත් කිව්ව වගේ ඔයාව ආපහු ඉන්නව දැක්කම සතු‍ටුයි

හෙළයා said...

හොඳ මිනිහෙක්ට හමුවෙන්නේ හොඳ මිනිස්සුමයි.
මචං, උඹේ සටහන හැමදාම හිතන්න දෙයක් ඉතිරි කරනවා.
ආර්. සමරකෝන් ලේඛකයාණන්ට නිවන් සව පතන්නේ නැවත උපතක් යනු කෙසේ වුවත් කරදරගොන්නක් බැවින්......

ඔබට ජය !

Ansh Lucky Sri Jay said...

හ්හ්ම්ම්..
වටින මිනිස්සු හැමදාමත් වගේ කලින්ම යනවා..
ඇත්ත, එතුමා නැති අඩුව පුරවන්නට කාටවත් නොහැකි වේවි.

Anonymous said...

ඕං කාලෙකට පස්සෙ මගෙ මල්ලියා ඇවිදිල්ල...උඹ ගැන ආඩම්බරයි මල්ලියේ...ජීවිතේට මුහුණදීපං...

==================================
පහුගිය සතියෙ මගෙ හිතත් සසලකල පුවතක් තමයි මල්ලියේ ඕක...මටත් මතක නැහැ මම "ගේ කුරුල්ලෝ "නවකතාව කියෙව්වෙ කොයි කාලයේද කියල..ඒත් හදවතේ ගැඹුරුම තැන ඒ නිර්මාණය රැඳිල තියෙනවා...ලාංකීය ජන සමාජයේ පවුල ,පවුලේ සාමාජිකයන් අතර බැඳීම්පිළිබඳ ගැඹුරු කතාන්දරයක් එහි තිබුණා...ඔය කෘතියට රාජ්‍ය සම්මන එහෙමත් ලැබුණා නෙව..
අනෙක කැළණි පාලම...නාගරික පැල්පත් සමාජයේ සැඟවී ඇති මනුස්සකම්..කුහක කමින් තොර වූ බැඳීම්...දේශපාලන අඩුලුහුඬුකම් මොනවට නිරූපනය කරල තිවුනද???..ආර්.ආර් සමරකෝන් ශූරීන් මැවූ චරිත නීල් අලස්,ජේ.එච් ජයවර්ධන,එතුමාගේ ආදරණීය බිරිඳ රම්‍යා වනිගසේකර,මැණිකේ අත්තනායක සජීවිකරණය කල වේදිකාව...දැණුනු හැඟීම මටනම් මේකයි කියල විස්තර කරන්න බැහැ මල්ලියේ...
තව "අහසින් වැටුණු මිනිස්සු",කකුල් හතරේ ඉලංදාරියා,කපුටු බෝ,ජේලර් උන්නැහැ වගේ නැට්‍යය සමාජයේ ඇතිකළ කතාබහ හරිම අපූරුයි..
කොහොම උනත් මල්ලියේ..උඹ වාසනාවන්තයි...මෙතුමාට පුංචි හරි උදව්වක් කරන්න හැකිවුණා නෙව...එතුමාගේ නිර්මාණ තුලින් අපි විඳපු සුවයට කොහොම කළගුණ සලකන්නද මන්දා...අපි මෙහෙම කියමු...
"සුවහසක් සිත් සතන් සුවපත් කළ පිනෙන් ආර් ආර් සමරකෝන් ශ්‍රීමතාණෙනි...ඔබට නිවන් සුව සොයාගැනීමට හැකිවේවා...!"

සුලා..

Anonymous said...

යාළුවනේ කියන්න අමතකවුණා...කාලෙකට පස්සෙ ආපු මලයගෙන් අතීතකතා ප්‍රවෘත්ති එහෙම අහනව නෙවේ ඕං...ඒවා කාලයේ වැලිතලාවට යටවෙලා ගියදෙන්...

සුලා..

sansarasidu said...

@ වැම්පයර්,
ඇත්තටම මං කොහේවත් ගිහින් හිටිය නම් නෙමෙයි. ඒක දිග කතාවක් මචං... ඒත් මේ ඒ කතාව දිග හරින්න වේලාව නෙවෙයි...
මං හොඳින්ද කියල හොයල බලන්න වචනයකින් හරි වෙහෙසුණු උඹට ඇත්තෙන්ම ගොඩාක් ස්තූතියි !

sansarasidu said...

@ චේජනා,
මටත් එහෙමමයි අක්කෙ... අක්කල එක්ක ආයෙම කතා බහ කරන්න ලැබීම ලොකු සතුටක් ! ඇත්තටම මං බ්ලොග් එක පැත්ත පළාතේවත් නෑවිත් හිටියෙ කැමැත්තකින් නෙවෙයි. මගේ නිහඬතාව මට ඇත්තටම හිතවත් ඔයාල හැමෝටම ලොකු ප්‍රශ්නාර්ථයක් වෙන්න ඇති. ඒත් මිනිහෙකුට තමන්ගෙ ජීවිතේ අරමුණක් නැති බව තේරුණොත් මොනව වේවිද ? ඒ මනුස්සයට හැමදේම එපා වෙනව නේද ? මටත් වුණේ ඒ දේම කිව්වොත් වැරදි නෑ. අළුත් පෝස්ට් එකක් ලියන්න වචන ගලපගන්න බැරිව මං ගොඩාක් ලත වුණා. ආර්. ආර්. සමරකෝන් මහත්මයගෙ හදිසි වියෝව නොවන්නට මේ වචන ටිකවත් නොලියවෙන්නට තිබුණා.

sansarasidu said...

@ හෙළයා,
මගේ සටහන ඔයාලට හිතන්න දෙයක් ඉතිරි කරන බව අහන්න ලැබීමත් ලොකු සතුටක්!
ඒක මට මේ බ්ලොග් එක දිගටම ලියන්න හොඳ දිරිගැන්වීමක්!

නැවත උපත කරදර ගොන්නක් නම් තමයි. ඒත් මචං නිර්වාණය කියන්නෙ මිය පරලොව ගිහිල්ලා අවබෝධ කළ හැක්කක් නෙවෙයි. හොඳ තැනක ඉපදුනොත් නැවත පින් දහම්වල යෙදෙමින් නිර්වාණ අවබෝධය පිණිස වෙහෙසෙන්නට අවස්ථාව ලැබෙනව නෙව. ඒකයි මං එවැනි ප්‍රාර්ථනාවක් කළේ.

සටහනක් තබා ගියාට ගොඩාක් ස්තූතියි !

sansarasidu said...

@ Ansh Lucky Sri Jay,
ඒක නම් සහතික ඇත්ත අක්කෙ. පහුගිය කාලය පුරාවටම අපිට ගොඩාක් වටින කලාකරුවන් රැසක්ම අහිමි වුණා. ඒ ගොඩට අළුතින්ම එකතු වුණේ අප හිතවත් ආර්. ආර්. මහත්මයා.

ගොඩවැදිල අදහස් දැක්වුවාට ස්තූතියි අක්කෙ.

sansarasidu said...

@ සුලා,
ස්තූතියි අයියේ... අයියගේ දිරිගැන්වීම් මට ගොඩාක් වටිනවා.. අයිය ඇතුළු මගේ සහෘදයො ටික අවසාන පෝස්ට් එකට දාපු කමෙන්ට්වලට උත්තරයක්වත් නොදී අතුරුදන් වුණාට සමාවෙන්න. මගේ ඒ නිහඬබව අත්‍යාවශ්‍ය වුණා, මට මගේ හිත හදාගන්න.

අයිය මේ පෝස්ට් වලට එකතු කරන අපූරු පසුවදන් වලට මං ඇත්තටම ගොඩක් කැමතියි ! ඒවා අපිට හැම වෙලාවෙම හිතන්න දේවල් ඉතිරි කරනවා. ආර්. ආර්. මහත්මයා නාට්‍යකරුවෙක් විදිහට දකින්නට මට වරම් ලැබුණේ ‍”කැළණි පාළම” තුළින් පමණයි. ප්‍රේක්ෂක හදවත් දිනාගත් එතුමගේ අනෙකුත් නාට්‍ය කිසිවක් නෙත නොගැටීම නම් ඇත්තටම මගේ අවාසනාවක් ! එවැනි යුග පුරුෂයන් ඉක්මනින් අප හැරයාම අප හැමදෙනාගෙම අවාසනාවක්!

"සුවහසක් සිත් සතන් සුවපත් කළ පිනෙන් ආර් ආර් සමරකෝන් ශ්‍රීමතාණෙනි...ඔබට නිවන් සුව සොයාගැනීමට හැකිවේවා...!"
ඇත්තටම අපි එහෙම ප්‍රාර්ථනා කරමු, අයියෙ...

ඔබට ගොඩක් ස්තූතියි !

වැම්පයර් said...

හ්ම්ම්.. අනේ මන්ද බං. ඒකෙන් කමක් නෑ. උඹ ඉන්නවනෙ!

Post a Comment