
එදා එතරම් සෙනඟ ගැවසුණ දවසක් නොවෙයි. ඒත් කරන්න නම් රාජකාරි බොහෝමයක් තිබුණා. බැංකුවට එදිනෙදා ගොඩවදින ගනුදෙනුකරුවන්ට අවශ්‍ය සේවා සැපයීමට අමතරව එහෙමත් නැත්නම් ඊට සමගාමීව කළ යුතු රාජකාරි බොහෝමයක් තියෙනවා. බොහෝදෙනෙක් හිතන්නේ උදෑසන 9.00 සිට සවස 3.00 දක්වා විතරයි, අපට වැඩ තියෙන්නෙ කියල... ඒත් ඇත්ත කතාව ඒක නොවෙයි. ඇත්තම කිව්වොත් අපේ වැඩ පටන් ගන්නෙ සවස 3.00 න් පස්සෙ. අපේ ජීවිතෙ වැඩි කාලයක් අපි ගෙවන්නෙ බැංකුවත් එක්ක. සේවයට වාර්තා කළ යුතු සාමාන්‍ය වේලාව උදෑසන 8.30 වුණත් චෙක්පත් නිෂ්කාශන (Image Clearing) කටයුතුවලට සම්බන්ධ අය අඩුම තරමේ උදෑසන 7.30ටවත් සේවයට වාර්තා කළ යුතු වෙනවා... 7.30ට එතැන ඉන්න අඩුම තරමින් හය, හයහමාර වෙද්දිවත් ගෙදරින් පිටත් වෙන්න වෙනවා.. ඒක තීරණය වෙන්නෙ තමන් සේවය කරන ශාඛාව කොතරම් දුරකින් පිහිටල තියෙනවද කියන එක මත. අපේ මානව සම්පත් දෙපාර්තමේන්තුව (HRD) සතුව ඉතාමත්ම පැහැදිලි ලංකා සිතියමක් තියෙන හන්දා (දෙයියනෙ කියල....) ගාල්ලෙ කොල්ලො කොළඹටත්... කොළඹ කොල්ලො තූත්තුකුඩියටත් බඩගානවා.. කිරිබත්ගොඩ යන දවස්වල මාත් මේ කට්ට කෑවා. හැමදාම උදේ 4.30ට නැගිට්ටා. දවසට පැය 4 ක් බස්වල.. උදේට පැය 2 යි.. හවසට පැය 2 යි.. සවස 5.15ට රාජකාරිය නිල වශයෙන් අවසාන වුණත් කරන්න තියෙන වැඩ කන්දරාව අනුව ගෙදර යන වේලාව තීරණය වෙනවා... 5.15ටම සේවය නිමා කරන්න තරම් වාසනාවක් නැති අපේ කොල්ලෝ (කෙල්ලන්ට නම් බොහෝවිට 5.30 වෙත්දි නිවෙස් බලා යාමේ වාසනාව උදාවේ.) ගෙවල්වලට යන්න පිටත් වෙන්නෙ ඔක්කොම වැඩ ටික අහවර කරල... එතකොට ඉතින් යක්කු ගස් වලින් බහින වේලාව.. එහෙම බැලුවහම අපි අපේ ගෙවල්වල අයත් එක්ක ගත කරන කාලයට වඩා වැඩි කාලයක් ගත කරන්නෙ බැංකුවත් එක්ක.. අපි අතරේ තියෙන “බැංකුව බැඳගත්තා වගේ” කියන කතාවට හේතූවෙන්න ඇත්තෙත් මේ කාරණය වෙන්න ඕනෑ.. මොනව වුණත් කතාව ඇත්තනෙ ඉතින්... අපි කසාදයක් බැඳපු දවසට ඒක අපේ අනියම් විවාහය වෙන එක වළක්වන්න බැහැනෙ... මොකද දවසේ පැය 24 න් අපි ගෙදර අයත් එක්ක ගත කරන්නෙ පැය 10 කටත් අඩු කාලයක්නෙ..
මගේ සිත වැඩ රාජකාරී අස්සෙම මේ දේවල් ගැන නැවත සිතීමට මා පොළඹවනු ලැබුවා. ඒත් ඊළග මොහොතේ ලොකු සුසුමකින් ලය සැහැල්ලු කරගත්තෙ මෙහෙමවත් රැකියාවක් නැතිව තැවෙන තව කී දාහක් මේ පොළව මත වැළපෙනවද කියන කාරණය සිහිපත් වෙත්දියි...
ඉතා හොඳින් හැඳ පැළඳගත් වැදගත් පෙනුමක් ඇති මහත්මයෙක් ඉදිරිපස දොර විවර කරගෙන බැංකු පරිශ්‍රයට ගොඩවුණේ ඔය අතරෙදියි... මා ඔහු මින් පෙර දැක තිබුණත් කවුරුන්දැයි දැන සිටියෙ නැහැ.. සිහින් සිනහවකින් සංග්‍රහ කරමින් මා ඔහුට හිඳගන්නට අසුනක් පෙන්වුවා... මගෙ සිනහව ගණනකට නොගත් ඔහු කෙළින්ම ගියේ මුදල් අංශයේ නිලධාරියා (Cash Officer) වෙත.. එවිට මේ පුද්ගලයා කවුදැයි මට සිහිපත් වුණා.. ඔහු මින් පෙරත් චෙක්පත් කිහිපයක් මුදල් කර ගැනීමට අප ශාඛාවට පැමිණි වග මගේ මතකයට නැගුණා.. අපේ Cash Officer ඔහුට හොඳ සේවාවක් (ඇතැම්විට Personalized Service කියන්නෙ ඕකට වෙන්නැති..) සැලසු බවත් මගේ සිහියට නැගුණා.. ඒත් එදා සිටියෙ වෙනදා සිටින Cash Officer නොවෙයි.. ඔහු නිවාඩු ගොස් සිටි නිසා ඒ වෙනුවට වෙනත් ශාඛාවකින් ගෙන්වාගත් නිලධාරියෙක් එදා මුදල් අංශය බාරව ක්‍රියාකළා.. මේ පුද්ගලයා හරියටම කවුදැයි නොදැන සිටියත්, කලින් Cash Officer ඔහුට කවුන්ටරයට පවා යන්න නොදී ලබා දුන් සේවාව ගැන මා එදා සිටි Cash Officer දැනුවත් කළේ කෝකටත් කියල... කොහොමින් හරි එදත් මේ පුද්ගලයා ඇවිත් තිබුණෙ චෙක්පත් කිහිපයක් මුදල් කර ගැනීමට. චෙක්පත්වල පිටුපස නම සහ ලිපිනය සටහන් කර තිබුණත් ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කොට තිබුණේ එක් ඉලක්කමක් අඩුවෙන් බව පෙනෙන්ට තිබුණු නිසා අපි ඒ ගැන ඔහුගෙන් විමසුවා... ඔහු පැවසුවේ තමන්ගෙ පෞද්ගලික ලේකම්වරියට දුරකථන ඇමතුමක් අරන් දෙන ලෙසයි.. ඒ පිළිතුර අප මවිත කරවන්නක් වුණා.. බැලින්නම් ඔහු සිය හැඳුනුම්පත පවා රැගෙනවිත් තිබුණෙ නැහැ.. අඩුම තරමින් ඔහුගේ නමින් කිසිදු ගිණුමක් අප බැංකුවේ පවත්වාගෙන යමින් තිබුණේද නැහැ... Cash Officer ලෙස ක්‍රියාකළ නිලධාරියාත් මාත් පත්වුණෙ පුදුම අසරණ තත්වයකට.. කොයිකටත් කියා නිවාඩු පිට සිටි Cash Officerට දුරකථන ඇමතුමක් ගෙන මේ පිළිබඳව විමසීමට අප තීරණය කළා.. සිද්ධිය දැනගත් ඔහු කීවේ මේ පුද්ගලයා අසවල් සමුහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා බවත්, තමා හොඳින් හඳුනන පුද්ගලයෙක් බැවින් චෙක්පත් සඳහා මුදල් ගෙවන ලෙසයි. අවසානයේදි ඔහුගේ මේ වචනය මත, අදාළ ගෙවීම කිරීමට වැඩබලන Cash Officer හට සිදුවුණා. වැඩිම වුණොත් ඔය ඔක්කොටම විනාඩි හත අටක කාලයක් ගත වෙන්නට ඇති.. ඒත් අර පුද්ගලයා සිටියෙ දැඩි නොසන්සුන් කමකින්.. චෙක්පත් මුදල් අංශයට යවා මුදල් ගෙන්වා ගැනීමට තවත් විනාඩි පහක් හයක් ගත වුණා... මේ පුද්ගලයා සිටියෙ දැඩි කෝපයකින්... මුදල් අතට ගත් ඔහු අපට බැන වදින්නට පටන් ගත්තා.. ඔහු පැවසුවේ අප බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂකවරයා සිය සමීපතම මිතුරෙකු බවත්... තමා බැංකුව විශ්වාස කළත් බැංකුව තමන් විශ්වාස නොකළ බවයි... අප නිහඬවම ඔහු ඉවත් වන තුරු බලා සිටියා..
සිය හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට පවා නිහතමානීකමක් නොතිබූ ඔහු කෙතරම් උසස් තනතුරක් හෙබවූවත් ඇති ඵලය කුමක්දැයි මා මගෙන්ම විමසා සිටියා... මට ඔහු ගැන ඇති වුණේ අනුකම්පාවක්! ඉහළ තනතුරුවලට යත්දි ඵල බර ගසක් මෙන් සිය නිහතමානීකම ආරක්ෂාකර ගන්නට බැරි පුද්ගලයන්ගෙන් වැඩක් තිබේද ? මා ඔහු සිටි තැන සිටියා නම් මා කරන්නෙ තමන් කවුදැයි පුරාජේරු ගැසීම නොව බැංකුවට මගේ අනන්‍යතාවය තහවුරු කරන ජාතික හැඳුනම්පත, රියැදුරු බලපත්‍රය එසේත් නොමැතිනම් විදේශ ගමන් බලපත්‍රය හෝ ඉදිරිපත් කිරීමයි.. මන්ද යත් එය මහත්මා ගතියක් යැයි මා විශ්වාස කරන බැවිනි.

Image: Graeme Weatherston / FreeDigitalPhotos.net
ඒ එක් සිදුවීමක් පමණයි.. සිය හැඳුනුම්පතවත් නැතිව තව කී දෙනෙක් නම් දවසකට බැංකුවට ගොඩ වදිනවද... ඔවුන් අපට ඇති කරන ප්‍රශ්නවල ඉවරයක් නැහැ. ඊටත් වඩා එවැන්නෙකු නිසා අපතේ යන කාලය..තමන්ගෙ නොසැලකිලිමත්කම නිසා අන් අයට මෙතරම් ප්‍රශ්න ඇති කරන්නෙ ඇයි ? පුංචි අතපසුවීමක් නිසා ඔබ, ඔබේත් අපේත් අන් අයගේත් කාලය කොතරම් අපතේ යවනවාදැයි නිකමට හෝ සිතා බැලුවාද ? තමන් බැංකුවට යන්නට තීරණය කළ මොහෝතේම හැඳුනුම්පත සිය පසුම්බියේ හෝ සාක්කුවේ රුවාගන්නට බැරි ඇයි ? යම් සේවාවක් ලබා ගැනීමට බැංකුවට ගොඩවී ඔවුන් ඔබේ හැඳුනුම්පත ඉල්ලා සිටිය විට කන්නට මෙන් බලා සිටින්නේත්, බල්ලන්ට කෑම විසි කරන්නාක් මෙන් හැඳුනුම්පත් විසිකරන්නෙත් ඇයි ? හැඳුනුම්පතක්වත් නැතිව බැංකුවට ගොඩවී පාළුගෙයි වළං බිඳින්නේ ඇයි ? මේ හැමවිටෙකම ඔබ ප්‍රදර්ශනය කරන්නෙ ඔබේ හැදියාව බව සිහි තබා ගන්න. අප කරන්නෙ අපේ රාජකාරියයි. ඒ ඔබ වෙනුවෙනි. මන්ද යත් අප පරිහරණය කරන්නේ රජයේ හෝ බැංකුවේ හෝ අපේ හෝ මුදල් නොවේ. මේ ඔබේ මුදල්ය. පරිස්සමට ඔබ ගෙනැවිත් තැන්පත් කළ මුදල්ය. මුදල් පරිහරණයේදි අප මෙතරම් සැලකිලිමත් වන්නේ ඒ නිසාය. ඔබේ මුදලට උපරිම ආරක්ෂාව සැපයීම අපේ වගකීම නිසාය. අපට ඔබ නිවැරදිව හඳුනාගන්නට අවශ්‍ය වන්නේද ඒ නිසාය. ඔබ ඉල්ලා සිටින්නේ ඔබ තැන්පත් කළ හෝ එසේත් නැත්නම් ඔබට අය විය යුතු මුදල් බව ඇත්තය.. එහෙත් නිවැරදි පුද්ගලයාට නිවැරදි මුදල ගෙවු බව තහවුරු කිරීම අපේ වගකීමය..
ඉතින් ඒ සඳහා සහය වීම ඔබේ යුතුකම නොවන්නේ ද ? එය ඔබ විසින්ම ඔබේ මුදල් ආරක්ෂා කර ගැනීමක් ද වන්නේ ය.
මට අවසාන වශයෙන් සිහිපත් වන්නේ හමුදා මුරපොළකදි මා දුටු වැකියකි. එය සරල මුත් ඉතා ගැඹුරු අර්ථයක් දෙන්නකි.
“ඔබ මා හඳුනනවා විය හැකි ය. කරුණාකර මට ඔබ හඳුනාගැනීමට ඉඩ දෙන්න.”



14 දෙනෙකුගේ අදහස්....:
Bohoma wAdagath lipiyak ayiyaa.......
ID eka mahaloku bara deyak nowana nisaa langa thiyaagaththama mokada wennea.... iitath mokak hari awulak unaanam bAnkuwe maneger kiyana ekak nae ea magea yaaluwa kiyala oyaala as karanawa misak.........
SORRY 4 using singlish.......
“ඔබ මා හඳුනනවා විය හැකි ය. කරුණාකර මට ඔබ හඳුනාගැනීමට ඉඩ දෙන්න.”
eaka nan sampuurna eththa...
හ්ම්ම්...
අනිවා..... මිනිස්සු තමන්ගෙ දුර්වලකම වහගන්න බෙරිහන් දීලා පොරවල් වෙනවා... ඒකෙන් වෙන්නෙ තමන්ගෙ දුර්වලකම තවත් පේන් එක කියලා ඒ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ...
ඒක හරියට අර මොනරා නටනකොට පස්ස එලියෙ වගේ සිද්දියක්...
වැදගත් ලිපියක් සම්පුර්ණ ඇත්ත කතාව මේක කියනවන ඔය අමතක වන අය නම් ආයිත් ඒ වැරැද්ද කරන එකක් නැහැ ඒ තරම් ලස්සනට ලියලා තියනවා හිතට වැදෙන විදිහට...
මේක අද හැම තැනම් වෙන දෙයක් නේ....බස් එකේදි ඇඟේ හැප්පුනත් අහන්නේ...."උඹ දන්නවද මම කවුද කියලා"....ඉතින් මම කොහොමද දෙයියනේ දන්නේ........:)
ෂහ් හරිමම වට්න ලිපියක් මල්ලී....
@ හා පැටික්කි (MS),
ස්තූතියි මගේ නංගියෝ..
ඒක් ඇත්ත නගේ... හැඳුනුම්පත කියන්නෙ හැමතිස්සෙම ළඟ තබාගත යුතු දෙයක්නෙ.. නැත්නම් ඉතින් ඒකට වෙන නමක් දෙන්ඩ බැරියැ නේද ?
:D :D
@ වැම්පයර්,
ස්තූතියි සහෝ ගොඩවැදිල අදහස් දැක්වුවට...
@ චේජනා,
ගොඩවැදුනට ස්තූතියි... මොකද අක්කේ හ්ම්ම් ගාන්නේ...
හ්ම්ම්.. කියන්නෙ මගේ කතාවට එකඟයි කියන එක ද?
නැත්නම්...
@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ,
සියපතට ගොඩවුණු ඔබවත් සාදරයෙන් පිළිගන්නවා...
සටහනක් තබා ගියාට ස්තූතියි සහෝ...
@ හසී රන්,
සියපතට ගොඩවෙල අදහසක් අකුරු කළ ඔබට බොහොම ස්තූතියි සිස්...
මගේ ලිපි කියවන එක්කෙනෙකුට හරි ආයෙමත් හිතන්න දෙයක් ඉතිරි කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්! මා ලබන ලොකුම සතුටත් එයයි...
@ Shadow/හේමලයා,
:D :D
ඒක නම් ඇත්ත සහෝ... මිනිස්සු මේතරම් පුහු මාන්නක්කාරයෝ වෙලා තියෙන්නෙ ඇයිද මන්දා..
ස්තූතියි ඔබට..
මචං මට උඹේ කමෙන්ටුව දැක්ක ගමන් හිනා ගියා... වෙන දෙයක් නිසා නෙමෙයි.. මීට කාලෙකට කලින් නරඹපු අපූරු Video clip එකක් මතක් වෙලා.. මේ තියෙන්නේ සබැඳිය...
Do you know who I am ?
@ තිස්ස දොඩන්ගොඩ,
බොහොමත්ම ස්තූතියි අයියෙ...
එක්කෙනෙකුට හරි වැදගත් වෙන දෙයක් මා අතින් ලියැවුණා නම් මට ඒ හොදටෝම ඇති අයියෙ...
Post a Comment