සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

17 September 2010

ඩොක්ටර් ටැක්ස් | Dr. Tax

තවත් දවසක... (අටවැනි දිගහැරුම)

Image: renjith krishnan / FreeDigitalPhotos.net


මං කලිනුත් කියල තියෙනව වගේ අපේ ශාඛාව තාම ආරම්භ කරල අවුරුදු දෙකකට පොඩ්ඩක් වැඩි කාලයක් තමා ගත වෙලා තියෙන්නෙ... ඒත් සේවක පුරප්පාඩු කිහිපයක් සහිතවයි තාමත් දෛනික වැඩ කටයුතු සිදුවෙන්නෙ... ආරම්භයේ සිට ගත්තොත් මුල් මාස 06 හැර ඉන් පසු එළඹෙන පුරා අවුරුදු එකහමාරක කාලය මුළුල්ලේම මෙහෙයුම් අංශයේ (Operations Area) වැඩ සිදු වුණේ තනි පුද්ගලයෙක්ගෙන්... ඒ කාලය මුළුල්ලේම ඒ බර පැටවිලා තිබුණෙ මගේ කර මත... මං මට හැකි පමණ උපරිමයෙන් තව කෙනෙක් නැති අඩුව පිරිමැහෙන ආකාරයෙන් රාජකාරිය ඉටු කළා... අවසානයේ ඉතා මෑතකදි මට මුදල් අංශයට මාරුවක් ලැබුණා... ඒත් මෙහෙයුම් අංශයේ කිසිවෙක් නැති අවස්ථාවල ආයෙමත් මෙහෙයුම් අංශයේ රාජකාරිවල නියැලෙන්නට මට සිදු වුණා... එදත් එවැනි දවසක්!

දීර්ඝ සතිඅන්ත නිවාඩුවකට පසුව ආ පළමු රාජකාරී දිනයයි. වැඩකරන්න නියමිතව තිබුණෙ මුදල් අංශයේ වුවත් මට වැඩ කරන්න සිදු වුණේ මෙහෙයුම් අංශයේයි .. මොකද එදා මෙහෙයුම් අංශයේ නිත්‍ය රාජකාරියෙ නියැලුණු සගයා සේවයට වාර්තා කර තිබුණෙ නැහැ.. ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. දවස් තුනක් තිස්සෙ කරගන්න බැරිවෙච්චි බැංකු කටයුතු කරගන්න හැමෝම බලාගෙන හිටපු දවසක්... එදා නම් සාමාන්‍ය දිනවලට වඩා වැඩි සෙනඟක් හැම තිස්සෙම වගේ බැංකුව ඇතුළේ ගැවසුණා.. ඇත්තම කිව්වොත් දිවා ආහාරය සඳහා කවුන්ටරයෙන් ඉවත් වෙද්දි මං හිටියේ හොඳටම හෙම්බත් වෙලා... දෙන්නෙකුගෙ වැඩ තනියෙන් කරනවා කියන්නෙ සෙල්ලමක් නෙවෙයි... ණය අංශයේ අක්ක කෙනෙක් පොඩ්ඩකට කවුන්ටරයේ තියල දිවා ආහාරය සඳහා යන්න නැඟිට්ටා විතරයි... ඉදිරිපස දොර පැත්තෙ ඉඳල බොහොම ඉක්මන් ගමනින් මෙහෙයුම් අංශය පැත්තට එන ගනුදෙනුකරුවෙක් මගේ නෙත ගැටුණා... කොට කලිසමකින් හා ටී ෂර්ටයකින් සැරසිල හිටපු ඔහු තලතුනා වියේ පසුවන්නෙක්... දෑත්වල නහර පෑදිල තිබුණා.. අතේ තිබුණු ඉතුරුම් ගිණුම් පාස්පොත ඒ මේ අත පෙරළමින් ඔහු මගේ දිහා බලාගෙන සිටියා.. මා ළඟට එන ගනුදෙනුකරුවන් වෙනත් කවුන්ටරවලට යොමු කරමින් රස්තියාදු කිරීමේ සිරිතක් මා ළඟ නැහැ... මගේ ඒ පුරුද්ද හන්දම මා බැණුම් අසා ඇති වාර අනන්තයි... “ඇයි ඔයාට විතරක් වෙලාවට ලන්ච් යන්න බැරි..?? කස්ටමර්ව අනෙක් කවුන්ටරයට යවන්න... ඕක මහ දෙයක් ද..??” මට නම් ඒක මහ දෙයකි.. මොකක්දො නමුත් අරුමයක් නිසා නිතරම මට හැඟෙන්නෙ මා ගනුදෙනුකරු වූවා නම් මට සිතෙනු ඇත්තෙ කෙසේද යන සිතිවිල්ලයි... මා අකමැති දෙයට අන් අයද අකමැති වනු ඇතැයි යන විශ්වාසය මා තුළ මුල් බැස ගෙන ඇති නිසා මට ඇති වන අපහසුතා දරාගෙන කෙසේ හෝ ගනුදෙනුකරුට අපහසුවක් ඇති නොවන අන්දමින් රාජකාරිය කිරීමට හැකි උපරිමයෙන් වෙහෙසෙමි.... මං මොහොතක් නැවතිලා සගයෙක් නැති කමින් පුරප්පාඩු වෙලා තිබුණු කවුන්ටරයෙ හිඳ ගත්තේ ඔහුටත් හිඳ ගන්නට අසුනක් පෙන්වමින්... කවුන්ටරය ඉදිරිපස අසුනේ ඔහු හිඳ ගත්තෙත් හරිම නොසන්සුන් විදිහට... මට ඒ බව හොඳටම දැනුණා...

“ඇයි මහත්මයා... මොකක්ද කෙරෙන්න ඕන...”

ඔහු පාස්පොත මා දෙසට යොමුකළේ තරමක කෝපයෙන්...
“මොකක්ද මහත්තයෝ... මේ අලුත් බද්දක් ගහල තියෙන්නෙ ඩොක්ටර් ටැක්ස් කියල..???”

උදේ සිටම වෙහෙසී, අධික කුසගින්නකින් පෙළෙමින් සිටි මට ඔහුගේ හදිසි කඩාපාත් වීම තරමක කේන්තියක් ඇති කර තිබුණා...
ඒත් අර වචන ඇහෙද්දිම මගේ ඒ කේන්තිය අතුරුදන් වුණෙ මුවඟට සිහින් සිනහවක් එක් කරමින්... ඔහු අහන්නෙ කුමක්දැයි මා පළපුරුද්දෙන්ම දැන සිටියා...

“නෑ මහත්මයා ඒ ඩොක්ටර් ටැක්ස් නෙවී.. ඒකට කියන්නෙ ඩෙබිට්ස් ටැක්ස් එක කියල... අර හර බද්ද කියන්නෙත් ඒකට තමා...
කෝ දෙන්නකො බලන්න මහත්තයගේ පාස්පොත...”

මා ඔහුගෙ පාස්පොත ගෙන එය විමසිල්ලෙන් පරික්ෂා කළා...

“හරි... මහත්තයට පේනවද මේ ගිය මාසේ ගනුදෙනු ටික... මහත්මයා ගිය මාසේ හතරපාරකට සල්ලි අරගෙන තියෙනවා.. මේ බලන්න ඒ ඔක්කොගෙම එකතුව රුපියල් 23,000/= ක් නේද ?”

ඔහු පාස්පොත දෙසට නැඹුරු වී එය පරික්ෂා කරයි... අවසන හේ මගේ කීම අනුමත කරන්නට හිස සලයි...

“එතකොට ඒ විසිතුන්දාහට, එක දාහකට රුපියල ගානේ ආණ්ඩුව බද්දක් අරගෙන තියෙනවා... ඒක තමා ඔයා පාස්පොතේ ඩී ආර් ටැක්ස් කියල වැටිල තියෙන්නෙ.. ඔය කෙටියෙන් ඩී ආර් ටැක්ස් කියන්නෙ ඩෙබිට්ස් ටැක්ස් කියන එකට තමා... හැම මාසෙකම රුපියල් විසිදාහකට වඩා වැඩියෙන් සල්ලි ආපහු අරගෙන තිබුණොත් ඔය බද්ද ගෙවන්න වෙනවා...”

“එතකොට ඔය ටැක්ස් එක කලින් ගහල නැහැනෙ... ඕක ළඟදි ආපු එකක් ද ?”

මම නැවතත් පිටු ආපස්සට පෙරළමින් පාස්පොත පරීක්ෂා කළෙමි...
“නෑ නෑ... කලින් මාස වල මහත්මයා සල්ලි ගත්තට ඒවයේ එකතුව විසිදාහ පන්නල නැහැ... ඒ හින්දයි ටැක්ස්වෙල නැත්තෙ...”

මා කියුදේ ඔහුට වැටහුණු බව පෙනුණත් ඔහුගේ මුහුණෙ පැවති කේන්තිය අඩු වී තිබුණෙ නැහැ... මා අතින් පාස්පොත නැවත ලබාගත් ඔහු මොහොතක් ඒ දෙස බලා සිටියා... ඉන්පසු මා දෙස කෘතඥතාපූර්වක බැල්මක් හෙලූ හේ අසුනෙන් නැගී සිටියේත් අර කේන්තියෙන්මයි..

“බලන්ඩකො මහත්තයො අපි අමාරුවෙන් හම්බුකොරන එක පොතේ දැම්මහම මුන් ඒකෙනුත් බදු ගහ ගන්නවනෙ...”
ඔහුගේ හඬ සාප කිරීමක් බඳුය..

“මං එන්නං”
තවත් මොන මොනවාදෝ මුමුණමින් ඔහු යන්නට ගියේය...

ඉවත්ව යන ඔහු දෙස දෙනෙත් දල්වාගෙන සිටි මගෙ සිතටත් අනුකම්පාව මුසු හැඟීමක් කාන්දු වන බව මට දැනුණා... ඒත්...


ඔබටත් ඉතුරුම් හෝ ජංගම ගිණුමක් ඇත්නම් මාස්පතා ඔබට ලැබෙන ගිණුම් ප්‍රකාශනයේ හෝ පාස්පොතේ සිටියදි ඩොක්ටර් ටැක්ස් | Dr Tax ඔබටත් මුණගැසී ඇතුවාට සැක නැහැ...




Debits Tax නැතිනම් හර බද්ද ලංකාව තුළ ඕනෑම වාණිජ බැංකුවක පවත්වාගෙන යන සෑම ජංගම හා ඉතුරුම් ගිණුමක් සම්බන්ධයෙන්ම බලපානු ලබන බද්දක්... එසේම තැන්පතු සහතික (CD`s – Certificate of Deposits) මුදල් කරගන්නා විටත්, සංචාරක චෙක්පත් (Traveler's Cheques) මුදල් කරගන්නා විටත් මේ බද්ද අදාළ වෙනවා... ස්ථාවර තැන්පතු සඳහා මේ බද්ද අදාළ වන්නෙ නැහැ.. මොකද ස්ථාවර තැන්පතු ගැනෙන්නෙ කාලීන තැන්පතු ගොඩට... ඔබ යම් මාසයකදි කෙතරම් වාර ගණනකදි මුදල් ආපසු ලබාගෙන හෝ වෙනත් අයගේ ගිණුම්වලට මුදල් මාරු කර හෝ තිබුණත් ඒවායේ එකතුව රුපියල් විසිදහසට වඩා අඩු නම් මේ බද්දට යටත් වන්නෙ නැහැ... ඒ මාසය තුළ ඔබ මුදල් ලබාගෙන ඇත්තෙ එක වාරයකදි වුව එහි වටිනාකම රුපියල් විසිදහස ඉක්මවා ඇත්නම් එවිට මේ බද්ද අදාළ වනවා... එනම් මෙහිදි සලකා බැලෙන්නෙ ඔබ මුදල් ආපසු ලබා ගන්නා වාර ගණන නොව එසේ ලබා ගන්නා මුදල් ප්‍රමාණයයි... බද්ද අය වන ප්‍රතිශතය 0.1 % ක්.. තේරෙන විදිහට කියනවා නම් සෑම රුපියල් දහසකටම එක රුපියලක්...

ඔබේ ගිණුමෙන් ඔබ මුදල් ආපසු නොගත්තත් වෙනත් කෙනෙකුගේ ගිණුමකට මුදල් මාරු කිරීමක් සිදු කළා නම් එවැනි ගනුදෙනුත් මේ බද්දට යටත් වෙනවා... නමුත් ඔබටම අයත් ගිණුම් දෙකක් අතර සිදුවන ගනුදෙනු මේ බද්දට යටත් වන්නෙ නැහැ...උදාහරණ ලෙස ඔබේම ජංගම ගිණුමෙන්, ඔබේ ඉතුරුම් ගිණුමට හෝ ඔබේ ඉතුරුම් ගිණුමෙන්, ජංගම ගිණුමට හෝ එසේත් නැතිනම් ඔබේ නමින්ම පවත්වාගෙන යන ඉතුරුම් ගිණුම් දෙකක් අතර හෝ ජංගම ගිණුම් දෙකක් අතර හෝ මුදල් මාරුකිරීම් සිදුවනවා නම් එවැනි ගනුදෙනු සඳහා (Tax exempted Transactions) මේ බද්ද අදාළ වන්නෙ නැහැ... එවැනි ගනුදෙනුවක් සිදූවී ඇත්නම් එය ඔබේ පාස්පොතේ Tax Exem වැනි වදනකින් දක්වා තිබෙනු දැක ගත හැකියි...

12 දෙනෙකුගේ අදහස්....:

Anonymous said...

ඔව් මචං මට මතක හැටියට ඔය බද්ද ආවේ 2005-06 කාලේ. ඕක නම් මහම බලු බද්දක්. ඒ දවස්වල මම එක එක වැඩ වලට සල්ලි එහේ මෙහේ කරලා අම්බානක බදු ගෙවලා ඇති.

චේජනා said...

mm..Got it...!!

priyantha.ඒබී said...

හ්ම් ඔය එකඑක බදු ගැන අපටත් වැඩි අදහසක් නෑ. Dr Tax කියන්නේ Debits Tax කියන එක නම් දැනගෙන හිටියා. මලයා හොඳ කැපවීමකින් රැකියාව කරන බවයි පේන්නේ. ඔහොම දිගටම යන්න. කිසි දිනක වරදින්නේ නෑ. ගොඩක් දේ මේ පොස්ට් එකෙන් දැන් ගත්තා.

චමිදේවා said...

“බලන්ඩකො මහත්තයො අපි අමාරුවෙන් හම්බුකොරන එක පොතේ දැම්මහම මුන් ඒකෙනුත් බදු ගහ ගන්නවනෙ...”

ඇත්තනේන්නම්... මුන් මෙහෙම බදු ගහලා ඒවයින් කරන ඒවා දැක්කාම ශාප කරලා මදු මුන්ට...

Sameera said...

මම බොහොම කැමැත්තෙන් කියවන බ්ලොග් එකක්! දිගටම කර ගෙන යන්න!!!

wath said...

අද තමයි මාත් මේ ගැන හරියටම දැන ගත්තේ...ගොඩක් ස්තූතියි...

හසී රන් said...

බොහොම වැදගත් කරුණු ටිකක් අයියා... ගොඩක් ස්තූතියි...

රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයිලු නේ :)

පිස්සා පලාමල්ල said...

මට නම් ලේ රත් වෙන කෙලියක් ඕක. ඉස්සර මම දන්නෙත් නැහ ඔය මඟුල. ඒත් මම ඔය සල්ලි ට්‍රාන්සර් කරහම එහෙම ඔය මගුල වැදිල තියෙනවා. පස්සෙ ගූගල් කරල බැලුවම තමා දැනගත්තෙ.

ඇත්තනෙ බන්. අමාරුවෙන් කීයක් හරි බැංකුවෙ දැම්ම්ම ඒකටත් බදු,

Ansh Lucky Sri Jay said...

මහ එපාම කරපු බද්දක්..

වැම්පයර් said...

අනිවා.. බොහොම හොඳට රස්සාව කරගෙන යන වගක් පෙන්නුම් කරනවා. ඔහොම යං. වරදීවි.. ඒත් උඹ අන්තිමට දිනුම්! ජයවේවා..!!

sansarasidu said...

සටහනක් තබා ගිය හැමදෙනාටමත්...
කල් වේලා මදි කම නිසා සටහනක් නොතබා ගිය නමුත් නිතර සියපතට ගොඩවී යන හැමදෙනාටමත් බොහොමත්ම ස්තූතියි..

Hasitha said...

දැනගත්ත එක හොඳයි අයියා. ඉස්සරහ වැඩ කටයුතුවලදී පරිස්සම් වෙන්න පුලුවන් නේ එතකොට

Post a Comment