සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

04 September 2010

ස්පයික් ස්පයික් බේබි..| Spike Spike Baby...


Portrait of a young woman smiling Horizontal

ඔය ඇහැට කනට පේන දැරිවියෝ හන්දා අපේ හාදයන්ට වෙලා තියෙන සන්තෑසිවල නිමක් නෑ..... ඕං අද කතන්දරයත් ඒ වගේ අලකලංචියක් ගැන තමා...

මේක සිද්ධවුණේ මං ඉස්සර කිරිබත්ගොඩ වැඩ කරන කාලේ... ඒ මං කිරිබත්ගොඩ කෑෂ් එකේ වැඩ කරන කාලේ... ඒ කාලේ අපේ කෑෂ් කවුන්ටර්ස් පහක් තිබුණා... මං හිටියෙ පළවෙනි කවුන්ටරේ.... මට වම් පැත්තෙන් දෙවැනි කවුන්ටරේ හිටියේ මගේ අතිජාත මිත්‍රයා “දෙනෙත්” හොඳ උඩරට වළව්කාරයෙක්.... හිහ් මිනිහ ගැනත් කියන්න මරු කතාවක් තියෙනවා... ඒක පස්සෙ දවසක කියන්නංකො... අද කතාව මිනිහ ගැන නෙවෙයි... අපේ වෙනින් හාදයෙක් ගැන.... මේ හාදය හිටියේ පස්වැනි කවුන්ටරේ... කවුන්ටර පහක් තිබුණට මොකද හැම දාම කවුන්ටර පහම පිරෙන්න සෙනඟ... කවුන්ටරෙන් පටන් ගත්තහම ඇහැට පේන මානේම තියෙන්නෙ පෝළිම විතරයි... හප්පේ ඒ කාලේ මතක් වෙනකොටත් ඇඟේ මයිල් ස්මයිල් වෙනවා... සතිය ආරම්භයේදි වගේ ම අවසාන වන දවසටත් මේ තත්වය මෙහෙම වුණාට සතියෙ මැද දවස්වල තත්වය ටිකක් විතර හොඳයි... බොහොම සාමකාමීව කවුන්ටර පහෙන් ජාමේ බේරගන්න පුළුවනි... ඉතින් මට මතක හැටියට මේක වුණේ සතියෙ මැද දවසක... එදා එච්චර තදබදයක් තිබුණේ නැති දවසක්...

ඔය කෑෂ් කවුන්ටරේ වැඩ කරනකොට අපි හැමෝටම වෙනම කම්පීතරයක්, පාස් බුක් වැලිඩේටර් කියල හඳුන්වන ප්‍රින්ටරයක් වගේම වෙන වෙනම කෑෂ් ඩ්‍රෝවර් එහෙම ලැබෙනවා... කෑෂ් ඩ්‍රෝවර් එක කියන්නෙ ලාච්චු දෙකකින් සමන්විත පොඩි ලොකබල් කැබිනට් එකක්! දවස අවසාන වෙනකල් මුදල් තැන්පත් කරල තියන්නෙ ඕකේ තමයි... ඒ වගේම තමා අපේ වැඩ පහසු කරගන්න පාවිච්චි කරන තව තව ආම්පන්න තියෙනවා.... අපි පෝස්ට් කරන වවුචර් එහෙ මෙහෙ නොයන විදිහට රඳවන්න තියෙන භාණ්ඩෙට කියන්නේ ස්පයික් එක කියල... අහලත් ඇතිනේ... ස්පයික් එක කියන්නේ ලෝහ හරි ප්ලාස්ටික් හරි ආධාරකයක රඳවපු උල් ලෝහ කූරක්!

Message Spike with Receipts

ගනුදෙනුවක් අවසානයේ අදාළ වචුචරය මේ ලෝහ කූරේ ගහල තියන එක තමා සාමාන්‍ය සිරිත... සැරෙන් සැරේ කෑෂ් ඔෆිසර් ඇවිත් මේ වවුචර් අරගෙන යනවා... මොකද වවුචර් කපන්නේ එයානේ.... දැන් ඉතිං අහන්න එපා වවුචර් කපන්නේ කතුරෙන්ද කියල.... වවුචර් කපනව කියන්නෙ දරුවනේ... ඒවා චෙක් කරන එකට... හරිද...?

ඉතින් ඔන්න එදා අපේ කතානායකයා ගජරාමෙට වැඩ... එච්චර සෙනඟක් නොහිටියත් හැමවෙලේම දෙතුන් දෙනෙක් පෝළිමේ... අපරාදේ කියන්න බෑ මේ හාදය ගිනිකසයා වගෙයි වවුචර් ගහන්නේ.. ඇස් දෙක පියාගෙන වුනත් වවුචර් පෝස්ටින් කරන්න පුළුවන් තරමේ එක්ස්පීරියන්ස් එකක් තියෙන පොරක්... මෑන් කොහොමත් දවසකට වවුචර් 300 කට වඩා ගහනවා.. ඉතින් ඔන්න ටික වෙලාවක් යද්දි මිනිහට යාන්තමට වගේ පෙනුණා තමන්ගෙ පෝළිමේ අන්තිම හරියට වෙන්ඩ, අර කිව්ව වගේ ඇහැට කනට පේන දැරිවියකගෙ ඡායාවක්! මේක දැක්ක විතරයි මෑන්ස් වවුචර් ගහන්න ගත්තේ නැතෑ ආවේශ වෙචිච් ගුරෙක් වගේ... මොකද ඔය වගේ දැරිවියක් කවුන්ටරේ ඉන්න කොට එක එක ජාතියේ ඉඟි බිඟි දාලා තමන්ගේ පෝළිමට ඇදල ගන්න තරම් දක්ෂ අයියල තමා ඒ කාලේ කෑෂ් එකේ හිටියේ.. දැන් ඉතින් අපේ හාදය වවුචර් ගහනවා හිටූ කියල... ඇයි අප්පේ අතට ආපු කිරිල්ලි වෙන එකෙක් ඇදල ගත්තොත් එහෙම...... පෝළිමත් බලාඉද්දිම කොට වෙනවා... අන්තිමේ කොහොමින් කොහොම හරි අර දැරිවිගේ වාරේ ආවා... ඔන්න එතකොට තමා අපේ එකාට නිදහසේ හුස්මක් ගන්න ලැබුණේ... එක දිගට වවුචර් ගහගෙන ගහගෙන ගෙහුන් මූට හතිත් එක්ක... ඒ හතිය කොහෙන් ගියාද නෑ අර දැරිවිගේ මුණ දැක්කහම.... හප්පේ බලන්න එපෑයැ... සිරියාව.. පුහ්... ඒ වගේ කෙලි පොඩිත්තියො හරි අඩුවෙන් නෙව බැංකුවකට වුණත් එන්නෙ... ඉතින් අපේ එකා දැන් ෆුල් ට්‍රයි එක කෙල්ලට වචනයක් දාන්න.. පොඩි පනාවක් එහෙම දාලා ඇහැවිවා.. “මොකක්ද මිස් තියෙන්නෙ ?” කියල...කෙල්ලත් ඉතින් හිනාවෙල ඩිපොසිට් ස්ලිප් එකකුයි දාහේ නෝට්ටුවකුයි දික් කළා කියමුකෝ.. දෙන දෙයියො ගෙට ගෙනැවිත් දෙනව කියල කියන්නේ ඔන්න ඕකට තමා... ඒ දැරිවි ඇවිත් තියෙන්නෙ මොබයිල් ෆෝන් බිල් එක ගෙවන්න... ඔය තියෙන්නේ ගෙඩිපිටින් ෆෝන් නොම්මරේ... අපේ එකත් පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා වවුචර් එක පෝස්ට් කළා කියමුකො... අර කිව්වත් වගේ මිනිහ නෙමෙයි එක විනාඩියකට හරි ඇස් දෙක අහක් කර ගත්තේ අර දැරිවිගේ මූණෙන්.. මු අනිමිසලෝචන පූජාව කරත්දි අර දැරිවිත් ඇඹරෙනවා... ලැජ්ජාවෙන්ද මන්දා... වැඩේ හරි වගේ... දැරිවිත් ඇස් වලින් මොන මොනවාදෝ කියනවා... අපේ හාදයටත් ෆුල් හැපි..... මෑන් පුරුදු විදිහටම වවුචරය පෝස්ට් කරල ඉවර වෙල.. ඔරිජිනල් කොපිය ගලවල අරගෙන ස්පයික් එකේ ගහල.. දාහේ නෝට්ටුව කෑෂ් ඩ්‍රෝවරේට දාලා.... වවුචර කොපිය අර දැරිවිගේ අතට දුන්නා... නිකන් නෙමේ.. ගලවල ගත්තු හදවතත් එක්කම... වවුචර් කොපිය අතට ගන්නවත් එක්කම අර දැරිවිට "බකස්" ගාල හිනා ගියේ නැතෑ.. අපේ එකා ෆුල් හොල්මන්... මෙච්චර වෙල මුකුළු පපා හිටිය ඒ දැරිවිත් අතින් කට තදකරගෙන ඉක්මන් ගමනින් යන්න ගියේ නැතෑ... අපේ කතානායකයා මුකුත් හිතාගන්න බැරුව වට පිට බලනවා... ඔන්න එතකොට තමා අපේ අයියලත් ටිකක් විපරම් ඇහැ දාලා බැලුවේ... හත්තිලව්වයි....! අර “බකස්” එක බෝවෙන රෝගයක් වෙන්ඩ වැඩි වෙලාවක් ගියේ නෑ... අපේ අයියලට උන් හිටි තැනුත් අමතක වෙන්ඩ ඒ ටිකම ඇති....

මාත් ඉතින් මේ කළබගෑනිය මොකක්ද කියල බලන්ඩ පොඩ්ඩක් ඒ පැත්තට ඔලුව දාලා බැලුවා....
ඇන්න.. නේද තාප්පෙටම කිව්වලු...


මේං බොලේ දාහේ නෝට්ටුවක් අපේ හාදයගේ ස්පයික් එකේ.....

American bank note on a spike


| සේයාරූ PicApp අඩවියෙනි |

29 දෙනෙකුගේ අදහස්....:

asidisi said...

අනේ අහිංසක නෝට්ටුව.දැන් එතකොට කෝ පෝන් නොම්බරේ අමතක උනැයි.:P

අභීත said...

රෙදි බිම... විලි ලැජ්ජාවේ ආඩම්බරේ බැරුව ඇති...

෴ හසියා ෴ said...

හිකි හිකි හිකි.....පට්ට කතාව....
මේ එතකොට අර දැරිවිගේ නොම්බලෙන් වැඩක් වුනේ නැතේයි?

හසී said...

හික්ස් ලොල් :D

හා පැටික්කි (MS) said...

හික්ස්..........

අයියට නෙ‍මෙයිනේ ෂුවර් එකටම ඕක උනේ??????????? ;) ;)

nimanthi said...

මං හිතන්නේ මේක හරියටම නම් 'අපේ හාදයන්ට හා මට'නේ...???? :D

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් "කවුන්ටරයෙන් එහා ලෝකය..." බොහොම රසවත් තැනක් නෙව...

දුමී said...

හහ් හහ් . . .උඹලත් එක්ක ඊරිසියාත් හිතෙනවා මලේ . . . මාර ස්පයික්නෙ උඹලටත් සෙට් වෙන්නෙ . . . ! එල කතාව ඈහ් !

නිර්මල said...

පට්ට කතාව අයියේ..

හසී රන් said...

ඔව් ඔව් අපිත් බැ0කුවලට යන අයනේ හිතා ගන්න පුලුවන් මුණු දැක්කාම කට්ටියගේ හිකිස්.........

Jeew said...

මම නම් අද තමයි මේ පැත්තේ ආවේ... පළවෙනි එකේ ඉඳලා ඔක්කොම ටික කියවලා අන්තිම එකට ඔන්න යන්තම් සටහනක් දැම්මා. මම ඉන්න රටෙත් ඔය බැංකු වැඩ (ලංකාවට සල්ලි දාන්න විතරයි යන්නේ) කරගන්න ලංකාවෙම සහෝදරයෝ දෙතුන්දෙනෙක් ඉන්නවා. කියන්න දෙයක් නෑ.. හරිම හොඳයි. ගෙදරකට ගියහම සලකනවා වගේ තමයි. ‍අපිට නම් ගොඩක් වෙලාවට තේ එකක් එහෙමත් දීලයි එවන්නේ.
මුහුදෙන් එහා එහෙමයි කියලා විශ්වාස කරන්ඩත් අමාරු ඇති මං හිතන්නේ...
අපිත් ඉඳහිට ඇවිත් යන්නම්කෝ මේ පැත්තේ...

charmi said...

මේවා කාට වෙන දේවල්ද මන්දා. මොනවා උනත් විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

sansarasidu said...

@ asidisi,
හිහ්.. එච්චර දෙයක් වුණාට පස්සේ කොහොමද අක්කේ කටක් ඇරල ආයෙමත් කතා කරන්නෙ...

ස්තූතියි ගොඩවැදුනට...

sansarasidu said...

@ අභීත,

රෙදි බිමදත් අහනවා...
ඒ වෙලාවේ අපේ එකාට පොළවේ වළක් හාරගෙන ඒකේ ඔලුව ඔබාගන්න හිතෙන්නැති...

sansarasidu said...

@ ෴ හසියා ෴,
ස්තූති වේවා.. මලයෝ..

මට මතක හැටියට මෑන් ඉන් පස්සෙ ඒ ගැන කතා කළේම නැහැ..
ඇයි අප්පා අර වගේ දෙයක් වුණහම කොහොම මුණ දෙන්නද ආයේ..

sansarasidu said...

@ හසී,
ස්තූතියි සිස්..

sansarasidu said...

@ හා පැටික්කි (MS),
මේ මට....???
න්න්න්නැහ්...න්න්න්නැහ්... පිස්සුද නගේ...
නයි කයිද රෝස් පාන් කිව්වලු... අපි අහුවෙයි ඕවට...

මේ ඒක නෙමෙයි හා නගෝ... අභාගෙත් ඉවර එකේ නගා මොකද සද්දයක් නැත්තේ.. දැන් සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ නැහැනෙ...

ස්තූතියි මේ පැත්තටත් පැන්නට...

sansarasidu said...

@ nimanthi,
සෑහෙන්ඩ බොන්ඩ ඕන ප්‍රශ්නයක් නෙව... හ්ම්ම්ම්...

එක පැත්තකින් ගත්තොත් ඔව්...
අනෙක් පැත්තෙන් ගත්තොත් නැහැ...

ඇත්තම කිව්වොත් අක්කෙ මේ අවුරුදු ගාණටම කවුන්ටරේට ආපු කිසිම දැරිවියක් මගේ හිත ගත්තෙ නැහැ කහ කිරිල්ලි තරම්...
අනෙක මං මගේ ජොබ් එක කළා.. එච්චරයි... ඔය වගේ පස්සෙන් පන්නන්න ගියේ නැහැ කොයිම වෙලාවකවත්..

ස්තූතියි මේ පැත්තෙ ගොඩවැදිල ගියාට..

sansarasidu said...

@ තිස්ස දොඩන්ගොඩ,

ඒක ඇත්ත අයියෙ...
දිය යටින් ගින්දර ගෙනයෑම්, දිය රෙද්දෙන් බෙල්ල කැපිලි කොයිතරම් තිබ්බත් "කවුන්ටරයෙන් මෙහා ලෝකය..." බොහොම රසවත් තැනක්!

sansarasidu said...

@ දුමී,
කියල වැඩක් නෑ අයියා... විවිධාකාරයේ ස්පයික් මුණගැහිල තියෙනවා මේ ටික කාලෙට...

ස්තූතියි අයියෙ මේ ඉසව්වට ඇවිත් ගියාට...

sansarasidu said...

@ නිර්මල,
ගොඩක් ස්තූතියි මල්ලි ඔයාටත්...
ඉඩක් ලැබුනොත් ආයෙමත් ඇවිත් යන්ඩ එන්න....

sansarasidu said...

@ හසී රන්,
හිහ්... කියල වැඩක් නෑ සිස්...
කස්ටමර්ස්ල ඉස්සරහ ඔය වගේ දෙයක් වුණාම නං ඉතින්...
ආයේ වහ කන්ඩ තමා හිතෙන්නෙ...

sansarasidu said...

@ Jeew,
මුලින්ම ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා සියපතට...
ස්තූතියි මුල ඉඳන්ම කියවන්ඩ උත්සුක වුණාට...

ඔබ කියන කතාව ඇත්ත...
ඒත් ටිකක් පරිස්සම් වෙන්න ඔය ඒජන්ට්ස්ල හරහා ලංකාවට සල්ලි එවද්දි...අහන්න දකින්න ලැබුන දේවලින් කියන්නේ... ඔය හොඳ මුණ පෙන්නගෙන ඉන්න හැමෝම හොඳ අය නෙවෙයි.. වෙලාව ආවහම සක්විතිල වෙන අය අද ඕනෑතරම්...

අවසාන වශයෙන්
සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන හැටි බලන්ඩ අයෙමත් එන්න කියල ආරාධනා කරනවා...

sansarasidu said...

@ charmi,
ඕං මට නං නෙවෙයි...
අපි ඕවට නෑ.. හරිය...

විලිලැජ්ජාවෙන් හරි තන්තෝසනං එච්චරයි...

තැන්කූ කිව්වා එහෙනං...

priyantha.ඒබී said...

කාලෙකට කලින් මම මේ පැත්තේ ඇවිත් ගියා මතකයි. ඊට පස්සේ අද තමයි මට මේ පැත්ත අහුඋනේ. එළ කතාවක් නේ. අපිටත් ඕකේ අනික් පැත්ත වෙනවා. අපි හොයන්නේ යන්න හොඳ කවුන්ටර් එක කොකද කියල. ගිහින් අනාගත්ත වෙලාවලුත් තියනවා. පාස් බුක් එක ඉල්ලනකොට අයිඩෙන්ටිය එහෙම දීල......

nish said...

හි හි එල කතාව. කවුන්ටරයට මෙහා ලොකය සුන්දරයි තමයි

sansarasidu said...

@ priyantha.ඒබී,
අයිය කලින් ඇවිත් ගිහින් තිබුණාත් මං පහුගිය ටිකේ නිහඬව හිටි නිසා සියපතට පිළිගන්නවත් බැරිවුණා....
සමාවෙන්න..

ආයෙමත් ගොඩවැදිල සටහනක් තියල ගියාට ස්තූතියි අයියේ...
මට පේන්නේ කවුන්ටරෙන් මෙහා ලෝකය වගේම එහා ලෝකයත් සුන්දරයි වගේ...

sansarasidu said...

@ nish,

කවුන්ටරයෙන් මෙහා ලෝකයේ සුන්දරත්වය විඳින්න ආයෙමත් ඇවිත් යන්න එන්න...
බොහොමත්ම ස්තූතියි ඔබටත්...

Hasitha said...

අයියා කිරිබත්ගොඩ මොන බැංකුවේද හිටියේ? මමත් කිරිබත්ගොඩ තියෙන හුඟක් බැංකුවලට යන කස්ටමර් කෙනෙක් තමා :)

Post a Comment