සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

16 November 2010

ඕවා අපිට කැප නෑ !!!

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !



Image: Francesco Marino / FreeDigitalPhotos.net

මෑත දිනක මගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ කතාබහක යෙදී ඉන්නා නිදහස් මොහොතක හදිසියෙන් මෙන් සිහිපත් වූ යමක් ඔවුන් වෙතින් විමසුවෙමි.

“මචං උඹල ගාව නැද්ද මුද්දර …???”

“මුද්දර...???”
පිළිතුරක් වෙනුවට ලැබුණේ ප්‍රශ්නාර්ථයකි.

“හෑහ්.. උඹ තාම මුද්දර එකතු කරනවාද ? ෂික් ලැජ්ජ නැද්ද බං... පොඩි එකෙක් වගේ මුද්දර එකතු කරන්න...??”
මගේ එක් මිත්‍රයෙක් මදෙස බලා අවඥාසහගතව සිනහසෙයි.

මම මොහොතක් ඔහු දෙස බලා සිටියෙමි. ඔහුගේ නොදැනුවත්කම ගැන සිතා සිනහසෙනවාද නැත්නම් අවඥාව ඉදිරියේ කේන්ති ගන්නවාදැයි මට සිතාගත නොහැකි විය. එහෙත් තවත් එතැන රැඳී සිටින්නට අපහසු බවක් දැනුනෙන් හිඳ හුන් තැනින් නැගී සිටියෙමි. මොකුත්ම නොකියා ඉවතට යන්නට සිත් නොදුන්නෙන් යන්නට ගිය ගමන නවතා මගේ මිතුරා දෙසට හැරී මෙසේ පැවසුවෙමි.

“Machan, Stamp collecting is a hobby of Kings and The King of all hobbies. It's not only for children.”

ඉන් පසු ඔවුන් මොනවා පැවසුවාදැයි මා නොදන්නේ තවත් එතැන නොසිට ඉවතට ගිය බැවිනි. එදා ම'සිතේ හට ගත්තේ සියුම් කලකිරීමකි. පුංචි ලංකාව තුළ ලොව අග්‍රගණ්‍ය විනෝදාංශය වෙත ඇති මෙවැනි ආකල්ප ගැන සිහිවන හැමවිටම මුවඟින් සුසුමක් ගිලිහෙන්නේ නිරායාසයෙනි.

මට හදිසියේම සිහිපත් වූයේ කලකට ඉහත එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ කුමර කුමරියෝ වැඩසටහනකි. ඊට සහභාගී වීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට පවා තරුණ තරුණියන් පැමිණෙන බව පෙනෙන්නට තිබිණ. එම වැඩසටහන අතර තුර නම ගම හැරෙන්නට නිතරම වාගේ විමසන පැනයක් වූයේ “ඔබේ විනෝදාංශ මොනවාද ?” යන්නයි. අසන්නට ලැබුණු පිළිතුරු අතර වැඩිපුරම වාගේ අසන්නට ලැබුණේ “මුද්දර එකතු කිරීම” යන පිළිතුරයි. වෙනකක් තබා පාසල් යන වයසේ දරු දැරියන්ගෙන් වුවත් ඔබේ විනෝදාංශ මොනවාදැයි විමසුවහොත් මුලටම ලැබෙන පිළිතුර මුද්දර එකතු කිරිම යන්නයි. එහෙත් මෙලෙස පිළිතුරු දෙන සැවොම සැබෑ ලෙසම මුද්දර එකතු කරනවාදැයි විමසා බැලීම වටී. කොහෙන් හෝ හොයාගත් කොටු රූල් පොතක් පිරෙන්නට පාප්ප හෝ ගම් ගෑ මුද්දර, බුරුතු පිටින් අලවා එයට මුද්දර පොත යැයි කියන අපි හැබෑවටම මුද්දර එකතු කිරීම ගැන දන්නේ මොනවාද ? මේ සම්බන්ධයෙන් සමාජය ප්‍රමාණවත් පරිදි දැනුවත් ව සිටිනවාද ? මේ පුංචි රටේ සැබෑවටම මුද්දර එකතු කිරීම ගැන උනන්දුවක් දක්වන්නෙකුට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලැබෙනවාද ? මේවා පිළිතුරු නැති ප්‍රශ්න සමූහයක් පමණකි.

පාසැල් වියේදී මුද්දර සමාජ කිහිපයකම සාමාජිකයෙකුව සිට ලත් අත්දැකීම් අනුසාරයෙන් සකසා ගත් හින්ජ(ර්)ස් (Stamp Hingers) මගින් මුද්දර රඳවා තබන වීරෝදාර මුද්දර සුරුකුම් පොතක් තවමත් මා වෙත ඉතිරිව තිබේ. හිතෙන හිතෙන හැටියට වියදම් කර මුද්දර පොත් රැගෙන දෙන්නට මගේ පියාට වත්කමක් නොවුණු ඒ කාලයේ ඒ එකම මුද්දර පොත මට මහානර්ඝ වස්තුවක්ම විය. පසු ගිය දිනෙක පොත් ලාච්චුවක් අවුස්සද්දි ඉතා සුරැකිව තබා තිබුණු ඒ අනර්ඝ වස්තුව නැවතත් මගේ දෑතට පත් විය. කාලයේ වැලි තලාවට යට වී තිබුණු මුද්දරවලට බැඳි ආදරය නැවතත් පණ ලබන්නට විය. තවත් එවැනි මුද්දර සුරැකුම් පොත් කිහිපයක් මිලට ගැනීමේ අදහසින් දින කිහිපයකට පෙර පොත් සාප්පු කිහිපයකම කරක් ගැසුවෙමි. අවාසනාවක මහත. ඒ හැම එකකම මුද්දර සුරැකුම් පොත් (Stamp Albums) කියා විකුණන්නට ඇත්තේ මුද්දර රැඳවුම් පොත් (Stamp Stock Books)ය. පළපුරුදු මුද්දර එකතු කරන්නන්ට අවශ්‍ය කරන අනෙකුත් ආම්පන්න වන මුද්දර අඬු (Stamp Tweezers/Tongs), මුද්දර රඳවන (Hingers), තීරූ රඳවන(Mounts), විශාලක කාච (Magnifiers & Loupes), විදමන් ආමානය (Perforation Gauge), වර්ණ දර්ශකය (Colour Guide), දියසලකුණු දර්ශකය (Watermark Detectors), පාරජම්බුල පහන් (Ultraviolet Lamps) ආදීය සොයාගන්නට ඇති අපහසුව ගැන කියනුම කවරේද? මුද්දර අඬුවක් සොයා ගන්නට බැරිම තැන එය eBay හරහා ගෙන්වා ගන්නට මට සිදු විය. eBay හරහා සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගත හැකි වුවද දරන්නට සිදුවන තැපැල් ගාස්තුව ගැන සිතීමේදි එය එතරම් වටින්නේ නැත. අනෙක් අතට බොහෝ eBay වෙළෙඳුන් මේ පුංචි රටට භාණ්ඩ එවන්නේද නැත. මට අවශ්‍ය මුද්දර සුරැකුම් පොත් ගැන eBay හරහා සෝදිසි කර බැලුවෙමි. මිල සාධාරණ වුවද ගෙවන්නට සිදුවන තැපැල් ගාස්තුව දුටු විට ඊට ඇති ආශාව අත්හැර ගතිමි. තැපැල් ගාස්තුව භාණ්ඩයේ මිල මෙන් තුන් ගුණයකට ආසන්නය. වෙනත් රටවල මුද්දර එකතු කරන්නන්ට නම් වැඩි අපහසුවකින් තොරවම අවශ්‍ය ආම්පන්න මෙන්ම විවිධාකාරයේ මුද්දර සුරැකුම් පොත් වර්ග ද ලබා ගැනීමේ වරම හිමි වී තිබේ. එනයින් ගත් කළ ශ්‍රී ලාංකික මුද්දර එකතු කරන්නන්ගේ තත්වය සැබවින්ම කණගාටුදායක ය.

අහම්බයෙන් වාගේ මට, ශ්‍රී ලංකා තැපැලෙහි (Sri Lanka Post) වෙබ් අඩවියට පිවිසෙන්නට ලැබුණේ මෙසේ මුද්දර සුරැකුම් පොත් ගැන සොයමින් අන්තර්ජාලය තුල සැරිසරමින් ඉන්නා අතරතුර ය. එමඟින් යොමුවුණු සබැඳියකින්, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ (Philatelic Bureau) අඩවියට පිවිසුණෙමි. ඔවුන්ගේ නිෂ්පාදිත ලැයිස්තුවෙහි මුද්දර සුරැකුම් පොත් ගැනද සඳහන් වූ බැවින් කෙසේ හෝ එහි යාමට ඉටා ගත්තෙමි. එහිදි දැන ගත් තවත් දෙයක් නිසා මගේ උද්යෝගය තවත් වැඩි විය. ජාතික තැපැල් කෞතුකාගාරය ද පිහිටා ඇත්තේ ඊට යාබදව ය.

දින 10 යේ වාර්ෂික නිවාඩුව ලබාගෙන මුද්දර කෞතුකාගාරය පැත්තේත් යායුතුයැයි සිතාගෙන සිටියෙමි. අවසානයේ කාර්යබහුල දවස් අහවර වෙන තුරු බලා සිටියේ පොඩි එකෙකු මෙන් ඇඟිලි ගනිමිනි. නිවාඩුව අනුමත විය. අන්තිමේ ගිය සිකුරාදා ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානය වෙත ගියේ කෞතුකාගාරයද නරඹා මුද්දර කාර්යාංශයට ගොස් මුද්දර සුරැකුම් පොතක් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙනි.

නවීන ගෘහ අලංකරණ ආදියෙන් සමන්විත ශ්‍රී ලංකා තැපෑලේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල තට්ටු කිහිපයකින් සමන්විත එකකි. ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටියේ එහි පහත මාලයේය. තැපැල් කාර්යාලය ඇතුළත මුද්දර කාර්යාංශයේ වෙළඳ කවුළුවක් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබුණෙන් පළමුව එහි පිවිසුණෙමි. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ ගති, නවීන මෙවලම් හා උපාංග පරයමින් මෙතැනත් විද්‍යමාන වෙයි. අවාසනාවක මහත. එහිද ඇත්තේ පොත් සාප්පුවල විකුණන්නට ඇති Stock Book එකම ය. එහෙත් අහම්ඹයෙන් මෙන් අගනා වස්තුවක් මනෙත ගැටිණ. ඒ 1948 – 2005 දක්වා ශ්‍රී ලංකාව තුළ නිකුත් කළ මුද්දරවල විස්තර අඩංගු මුද්දර නාමාවලියකි (Stamp Catalog). මුද්දර කාර්යාංශය විසින් ඉතා අගනා ලෙස මුද්‍රණය කර තිබුණු එය, රැපියල් දෙදහසකට මිල කර තිබුණද එහි ඇති වටිනාකම සලකා එයින් එකක් මිලදී ගත්තෙමි.


Image: FreeDigitalPhotos.net

කෞතුකාගාරයට පිවිසෙන දොරටුව ඇත්තේ ප්‍රධාන තැපැල් කාර්යාලයට වම් පසිනි. කෞතුකාගාරයට පිවිසීම සඳහා එම දොරටුවත් ඊට මදක් ඔබ්බෙන් ඇති මුද්දර කාර්යාංශයත් පසු කළ යුතුය. අවසානයේ බලාපොරොත්තු කඩ වූ සිතින් තැපැල් කෞතුකාගාරය නරඹන්නට ගියෙමි. ඇතුල්වීම සඳහා ටිකට් ලබාගැනිමක් අවශ්‍ය නොවුණි. මා කෞතුකාගාරයට ඇතුළුවත්දි එහි පාළුව රජයමින් තිබිණ. මා හැරෙන්නට වෙනත් කිසිදු නරඹන්නෙකු එහි නොවීය. එය එක් අතකින් මට නිදහසේ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර දීමක් විය. පැරණි දින මුද්‍රා වල සිට ශ්‍රි ලංකා තැපෑල හා සම්බන්ධ සෑම සියලු දෙයක් ම පාගේ එහි තැන්පත් කර තිබිණ. එහි ඉහත මාලය මුද්දර ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කර තිබේ. එහිදී හමු වූ අකිල මහතා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ආයතන පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ සිට කිහිපදෙනෙකුගෙන්ම විමසා වත් දැන ගන්නට නොහැකි වු කරුණු රැසක් මට ඔහුගෙන් දැන ගත හැකි විය. තවමත් වැඩි දෙනෙකුගේ නෙත ගැටී නැති ජාතික තැපැල් කෞතුකාගාරය කුඩා දරු දැරියන්ට මෙන්ම මුද්දර වලට ආදරය කරන කොයි කාටත් ඉතා වැදගත් වන බව නම් නිසැකය.

ජාතික තැපැල් කෞතුකාගාරයේ හා මුද්දර ප්‍රදර්ශනාගාරයේ ඡායරූප එකතුවක් පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.

ජාතික තැපැල් කෞතුකාගාරය – සේයාරූ එකතුව


එසේම අවසාන වශයෙන් ඉතා වැදගත් පණිවුඩයක් ඔබ අතට පත් කරන්නට කැමැත්තෙමි.

උපුටා ගැනීම - ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් පළ කළ දැන්වීමකිනි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ මුද්දර සල්පිළක් මෙම නොවැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ, ඩී ආර් විජේවර්ධන මාවතේ, නො 310 හි පිහිටි ශ්‍රි ලංකා තැපැල් මූලස්ථානයේදි පැවැත්වේ. සයිබර් අවකාශයේ සැරිසරන මුද්දර ලෝලී ශ්‍රී ලාංකික ඔබ සැමට මෙය අගනා අවස්ථාවක් වනවාට නොඅනුමානය෴


මෙම ලිපි පෙළ සඳහා e Philatelist නමින් අළුත් අඩවියක් ඇරඹීමට අදහස් කර ඇති අතර මුද්දර එකතු කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පහත සබැඳිය ඔස්සේ එය හා එක් විය හැකියි.



>>> Coming Up Next >>>
මුද්දර එකතු කිරීම ගැන (දන්නා තරමින්) ගෙන එන ලිපි පෙළ...
විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව...
බැංකු දිවියේ සංවේදී සටහන්පෙළ...
බැංකු දිවියේ රස කතා පෙළ...