සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

01 January 2011

ලොක්කන්ගෙත් ලොක්කෝ....

Image: AKARAKINGDOMS / FreeDigitalPhotos.net


ඉතින් කාලෙකට පස්සෙ නව වසරෙ පටන් ගැන්මට හැම දෙනාටම සුබ පතන අතරේ පුංචි රස කතාවක් එකතු කරන්න හිතුවා.

අපේ ශාඛාවෙ ආරක්ෂක අංශයත් රස කතා මවන තිඹිරි ගෙයක් කියල මං ඔයාලට කලිනුත් කියල තියෙනවනෙ. ඒ ගැන මම ලියපු “වැඩට නොඑන හේතුව...”, “සංවේදී පියසිරියා” වගේම “ගුඩ් මෝනින්ග් සර් !” එහෙම ඔයාලට මතක ඇතිනේ. අද කතාවත් ඇහෙන්නේ ඒ පැත්තෙන් තමා.

ටිකක් මෑතකදි අපේ ආරක්ෂක අංශයට එකතු වුණා අළුත් OIC කෙනෙක්. ඒ කිව්වේ “ඔෆිසර් ඉන් චාර්ජ්” කෙනෙක්. හොඳ උස මහත හැඩි දැඩි හාදයෙක්. හරි ම හොඳ මනුස්සයා. කාටවත් කරදරයක් නැහැ. තමන්ගෙ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න කෙනෙක්. හැබැයි මෑන් ටිකක් විතර ටියුබ් ලයිට්. සමහර දේවල් ක්ලික් වෙන්න ටිකක් වෙලා යනවා. මේ කියන අලකලංචියට මුහුණ පාන්න වුණේ මේ කියන ඕ. අයි. සී. මහත්තයටයි.

සාමානයයෙන් ගනුදෙනු සඳහා බැංකුව විවෘතව තබන වේලාව පස්වරු 3.00 ට අවසන් වෙනවා. ඉන් පස්සෙ කිසිම කෙනෙක් බැංකු පරිශ්‍රයට ඇතුළු කර ගැනීම පොතේ හැටියට නම් තහනම් වැඩක් ! ඒත් බැංකු කළමනාකරුගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ අභිමතය පරිදි ඒ වෙලාවෙන් පස්සෙ වුණත් ගනුදෙනුකරුවන් බැංකු පරිශ්‍රයට ඇතුල් කර ගන්නා විශේෂ අවස්ථා නැතුවාමත් නෙමෙයි. ඉතින් මෙහෙම වේලාවක් වෙන් කර ගත් ගනුදෙනුකරුවන් හවස 3 න් පස්සේ ශාඛාවේ දොරවල් කඩන්න හදන අවස්ථා එමටයි. ඉතින් එහෙම කෙනෙක් ඇවිත් දොරට තඩි බාද්දි මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ අපේ ආරක්ෂක අංශයේ අය. ආවේ කවුද කියල හොයල බලල, මැනේජර්ට හරි ඔෆිසර් කෙනෙකුට හරි ඒ බව දන්වල අවසර ලැබුණොත් තමා අර පුද්ගලයව ඇතුළට ගන්නෙ. ඒ අතින් නම් අපේ ආරක්ෂක අංශයේ වැඩ ගැන කියල වැඩක් නැහැ. අකුරට සහ තිතට වැඩ.

ඉතින් ඔහොම දවසට ඕ. අයි. සී. මහත්තයා නිතරම මැනේජර් ගාව. නිකන් නෙමේ අර ආපු පුද්ගලයගේ උප්පැන්නෙ තියෙන නමත් එක්ක....

“සර්.. එම්. පී. කුමාර කියල මහත්තයෙක් ඇවිත් ඉන්නවා. ඇතුළට ගන්න ද ?”

“සර්...ආර්. ඒ. අප්පුහාමි කියල මහත්තයෙක් ඇවිත්....”

“සර්.. ඒ. ජී. සී. කුරේ කියල මිස් කෙනෙක් ඇවිත්....”
ඔන්න ඔය වගේ නම් ගම් වල ඉවරයක් නෑ....

දැන් ඉතින් ඔය අපේ ලොක්ක ඉන්නවනෙ.. ඒ කිව්වේ මැනේජර්... එයා අපේ ලොක්කා වුණා වගේ එයාටත් ඉහළින් ඉන්නවනේ එයාගේ ලොක්කා... ඒ කියන්නේ ආර්. එම්. (Regional Manager) ආර්. එම්. ට උඩින් ඉන්නේ ලොක්කන්ගෙත් ලොක්කොනෙ... ඒ කියන්නේ ඒ. ජී. එම්. (Assistant General Manager), ඩී. ජී. එම්. (Deputy General Manager) සහ එම්. ඩී. (Managing Director) වගේ කට්ටියනෙ....

ඉතින් ඔන්න දවසක අපේ මැනේජර් වැඩ ඇරිල ගියා විතරයි... මේ කියන ඕ අයි සී මහත්තයා දුවගෙන දුවගෙන ආවා අපේ ඇසිස්ටන්ට් මැනේජරස් ගාවට....
මැඩම් ඔලුව උස්සල බලන්නෙත් නැතුව තමන්ගේ වැඩක....

“මැඩම් ! මැඩම්....!”
ඔන්න ඒ පාර නම් මැඩම් පොඩ්ඩක් ඔලුව උස්සල බැලුව...

“ඒ. ජී. එම්. නිමල් පෙරේරා කියල මහත්තයෙක් ඇවිත් ඉන්නව ඇතුළට ගන්න ද ?”
මැඩම් පුටුවෙන් නැගිට්ටෙ ඉද්ද ගැහුවා වගේ. ඇත්තම කිව්වොත් මැඩම් නැගිට්ටා නෙමෙයි මැඩම්ට නැගිට්ටුණා...

“ඇයි මනුස්සයෝ ඒ මහත්තයව ඇතුළට ගත්තේ නැත්තේ..”

“නෑ මැඩම්... මං ඉතින් කිව්වා පොඩ්ඩක් ඉන්න සර් මං මැඩම්ගෙන් අහල එන්නං කියල....”

ඊළඟ මොහොතේ මැඩම් දොර ළඟය. එහෙත් ඒ වන විටත් ඒ. ජී. එම්. තම රථයට නැගිලාය... මැඩම් එළියට යත් දී රථය වේගයෙන් ඉගිල්ලිණ....

ආපසු ආ මැඩම්ගේ මුහුණ රතු වෙලාය...
“ඕ. අයි. සී..... මොකක් ද වුණෙ ඇත්තට...”

“මැඩම් මේ.. මං මැනේජර් මහත්තයව පිටත් කරන්න එළියට ගියානේ...”

“ඔව් ඉතින්...”

“ඉතින් මැනේජර් මහත්තයා කාර් එකේ ගියත් එක්කම වගේ පෙජරෝ එකක් ඇවිත් නැවැත්තුවනෙ... මාත් ඉතින් පොඩ්ඩක් බැලුව... හොඳට ඇඳ පැළඳ ගත්ත ජෙන්ටල්මන් කෙනෙක් බැහැල ආවා... මාත් ඉතින් ගුඩ් ආෆ්ටර්නූන් සර් එහෙම කියල පොඩි ග්‍රීටින් එකක් එහෙම දැම්මා.. ඒ මහත්තයත් හිනාවෙල ඇහුවා මැනේජර් මහත්තයා ඉන්නවද කියල.. මං ඉතින් කිව්වා අයියෝ සර් මේ දැන්නෙ ගියෙ කියල... ඒ පාර ඇහුවා කවුද වෙන ඇතුලේ ඉන්නෙ කියල...” ඕ අයි සී දිගටම කියවයි..

“ඉතින්..”

“මං කිව්වා අපේ මැඩම් ඉන්නවා කියල... ඒ පාර ඇහැව්වා මැඩම් කියන්නේ කවුද කියල.. මං කිව්වා ඇසිස්ටන්ට් මැනේජර් කියල... ඒ පාර ඒ මහත්තයා ඇතුලට එන්න ආවා.. මං ටක් ගාල දොර මුවා කරගෙන ඇහැව්වා සර් කවුද කියල.. ඒ පාර කියාපි මම ඒ ජී එම් නිමල් පෙරේරා කියල....”

“ඕ. අයි. සී. දන්නවද ඒ කවුද කියල... ඒ මහත්තයා ගියේ හොඳටම තරහ ගිහිල්ලා...”

“නෑනේ මැඩම්.. ඒකනේ මං මැඩම්ගෙන් අහන්න ආවේ... ඒ මහත්තයා නම නං කිව්වේ ඒ. ජී. එම්. නිමල් පෙරේරා කියලනෙ...”

“ඒ. ජී. එම්. කියන්නේ කවුද කියලවත් දන්නේ නැද්ද ආ..???”


“ෂිහ්... මට ඒක අහගන්න බැරිවුණානේ මැඩම්... ඒ මහත්තයා නම කිව්වෙ ඉනීෂියල් එක්ක විතරනේ....”

32 දෙනෙකුගේ අදහස්....:

හා පැටික්කි (MS) said...

සියළු පැතුම් බලාපොරොත්තු ඉටුවන සතුට උතුරන සුභම සුභ නව වසරක් වේවා අයියා.....!!!!!!

මම ඒම් එස් හාවි..... හික්ස්.....:P

෴ හසියා ෴ said...

සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

Thameera said...

වෙලාවක බැංකුවකට 3ට පස්සෙ ගිහින් තට්ටුවක් දාල බලන්ඩෝන xD

අභීත said...

මමනම් මේ සේවාව නිතරම ලබන කෙනෙක්..... ඉනීශියල් ගැන කතාවක් මතක් උනා.... ඒත් ඒක 18+ වගේ....... :D

සුභ නව වසරක් වේවා සහෝ....

හුටපටයා said...

මාර ටියුබ් ලයිට් කතාවක්නේ මේක . . .

Anonymous said...

සුභ නව වසරක් සහෝ............
මීට ,
http://nadeesh22.blogspot.com/2010/12/blog-post_31.html

..ChAnDiKa.. said...

සන්සරසිදු අයියා ඉතින් කොහොමද? දැන් මාව මතකද දන්නෙත් නෑ.
සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!!!

Ravi said...

සුබ නව වසරක්, සන්සරසිදු

ගල්මල්-Coral said...

සුභ නව වසරක් වේවා!

බොහෝම ස්තුතියි රස කතාවට.

sansarasidu said...

@ හා පැටික්කි (MS),
හා නගාටත් ලැබුවා වු නව වසර අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන, සියලු පැතුම් ඉටු වන සුබම සුබ නව වසරක් වේවා ! කියල පතනවා.

මයික්‍රො සොෆ්ට් හාවි.... ඈ.. හිහ් හිහ් හී...

sansarasidu said...

@ ෴ හසියා ෴,
හසියා මලයටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා මලේ...
මේ පැත්තට ගොඩවෙලා සුබ පතලා ගියාට ගොඩාක් ස්තූතියි...

මලයට කියන්න තවත් කාරණාවක් තියේ...

පසුගිය දවසක මං මගේ බ්ලොග් අඩවියේ මුද්දර විනෝදාංශය ගැන ලිපියක් පළකළා නෙව...
මං හිතාගෙන හිටියෙ ඒ ගැන දිගටම මගේ බ්ලොගයෙ ලියන්න. ඒත් මට තේරුණ දෙයක් තමයි තාමත් මුද්දර එකතු කරන
අය ඉන්නේ හරිම අතළොස්සක් කියන එක. ඒ හන්දා මගේ බ්ලොගය කියවන මුද්දර එකතු නොකරන අයට අවහිරයක් නොවන්න
මේ ගැන මා ලියන ලිපි සඳහා වෙනම අඩවියක් පටන් ගන්න මා අදහස් කළා. අද තමා ඒක ක්‍රියාවට නැගුවෙ...

අළුත් අඩවියේ නම

e - Philatelist
මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන...

http://sansarasidu-philatelist.blogspot.com/
කියන ලිපිනය ඔස්සේ මේ අඩවියට ගොඩවිය හැකියි.

sansarasidu said...

@ Thameera,
බොහොම සාදරයෙන් මගේ අඩවියට පිළිගන්නවා...

ගොඩවැදිල ගියාට ස්තූතියි සහෝ...

sansarasidu said...

@ අභීත ,
එහෙනම් අයිය ඒ බැංකු ශාඛාවේ හොඳ ගනුදෙනුකරුවෙක් වගේ...

අයියටත් සුබම සුබ නව වසරක් වේවා...

sansarasidu said...

@ හුටපටයා,
මල්ලි අපි අතරේ මේ වගේ මිනිස්සු ඉන්නවද කියල මේ කතාව කියවනකොට ඔයාට හිතෙන්න පුළුවන්... ඒත් මේක සත්‍ය සිදුවීමක්..
අපි අතරේ මේ වගේ ඕ අයි සී ලා වගේම පියසිරිලත් ඉන්නවා...

සුබ නව වසරක් සහෝ....

sansarasidu said...

@ Anonymous,
ඇනෝ විදිහට ආවත් නම ගම සටහන් කරල ගියාට ස්තූතියි සහෝ..

ඔබටත් සුබම සුබ නව වසරකට මගෙන් ආසිරි...
ඒ වගේ ම මේ නව වසරේ ඔබේ අඩවිය තව තවත් සාර්ථක වේවා කියල පතන්නම්..

sansarasidu said...

@ ..ChAnDiKa.. ,
මලේ..
ඔයාගේ අන්තිම කොමෙන්ටුවට මං දාපු උත්තරේ මලයට මගහැරිල වගේ...

ඒකෙදි කිව්ව වගේ මේ සයිබර් අවකාශයේ බැඳීම් ඒ තරම් ලේසියෙන් අමතක වෙන්නෙ නැහැ මලේ...
අනෙක ආදරය විරහව කදුල කොහොම අමතක කරන්න ද ???

මලයටත් සාමය සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා!

sansarasidu said...

@ Ravi,
ඔබටත් එසේම වේවා !!!
මං හිතන්නේ මේ අපේ පළමු හමුවයි...
සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට...

RanDil අක්කවත් ආදරයෙන් මතක් කළ බවත් ඇයටත් පවුලේ සැමටත් සුබ සුබ නව වසරකට ආසිරි පැතූ බවත් කියන්න...

ස්තූතියි ඔබට...

sansarasidu said...

@ ගල්මල්-Coral,
ස්තූතියි අයියෙ...

ඒ වගේ ම මේ අවුරුද්ද අයියටත් කරන කියන දේ සාර්ථක වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියල මුළු හිතින්ම පතනවා...

priyantha.ඒබී said...

අද තමා මල්ලි මම මේ බ්ලොග් පොස්ට් කියවන්න ගත්තේ මේ අවුරුද්දට. මල්ලිටත් සුභ නව වසරකට ආසිරි පතනවා. අළුත් වැඩේටත් සුභ පැතුම්....

෴ හසියා ෴ said...

අහ් වැඩේ නම් නියමයි අයියා...දිගටම ලියන්න...සින්ඩි වලටත් දාන්න....අපෙන් සුභ පැතුම් වගේම උදව්වක් ඉල්ලුවොත් දෙන්නම් ඕනිම වෙලාවක....

පිස්සා පලාමල්ල said...

හික් හික්...

සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්..

sansarasidu said...

@ priyantha.ඒබී,
ගොඩාක් ස්තූතියි අයියා සුබ පැතුම් වලට... ඒ වගේම මේ පැත්තේ ඇවිත් ගියාට...

sansarasidu said...

@ ෴ හසියා ෴,
හසියටත් ගොඩක් ස්තූතියි !
SBU වගේම ලාංකීය සිතුවිලි වලටත් දැම්මා මල්ලි...
ඒවායින් ලාංකීය සිතුවිලි වලට නම් දැනටමත් ඇතුලත් කරගෙනයි තියෙන්නෙ...

මට අනිවාර්යයෙන්ම මල්ලිලගේ උදව් ඕන වෙනව මේ වැඩේ කරගෙන යන්න...

ස්තූතියි ඔබේ මේ දිරිමත් කිරීමට...

sansarasidu said...

@ පිස්සා පලාමල්ල,
ඔබටත් ලැබුවා වූ මේ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියල පතනවා...

ගොඩවෙල ගියාට ස්තූතියි මචෝ...

Kathandara said...

Once there was a Member of Parliament named P.C. Imbulana.

he retired without getting a promotion!!!

prasanna86k said...

අළුත් අවුරුද්දේ මැක්සා කතාව.

sansarasidu said...

@ Kathandara,

HikzZZ....
Nice one bro...
Thankz for sharing...

sansarasidu said...

@ prasanna86k,

ස්තූතියි මේ පැත්තේ හක්කලං ගැහැව්වට...

Anonymous said...

man ada tamai blog eka patte awe.. oya Vidusara pattare fiction liyapu Sansarasidu da?

sansarasidu said...

@ Anonymous,

ස්තූතියි මේ අඩවියට ගොඩවුණාට. ඔව් ඒ මම තමයි.

Anonymous said...

fiction tika nam elaz... congratz..

sansarasidu said...

@ Anonymous,
ඔබට බොහොම ස්තූතියි !
ඉස්සර විදුසර විද්‍යා සඟරාවට ලියපු ප්‍රබන්ධ ටික ඉස්සරහට මේ අඩවියේ නැවත පළ වේවි. දැනටමත් එකක් පළ කරලයි තියෙන්නේ...
ඒ වගේම අළුතෙන් ලියන්න හිතාගෙන ඉන්න ප්‍රබන්ධ කිහිපයකුත් ඉදිරියේදි මෙහි පළ වේවි..

මා දිරිමත් කළ ඔබට නැවත වාරයක් ස්තූතියි !

Post a Comment