සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

27 July 2011

ඩිං ඩොං බෙල්....

Image: cjansuebsri / FreeDigitalPhotos.net

ඔයාලට මතක ද මං අර කාලෙකට කලින් මට වෙච්චි අලකලංචියක් ගැන ලියපු "සනා කොලුවගේ අසා ලිවීම" ගැන කතාව... ඕං ඒ කතාව නොකියවපු කෙනෙක් ඉන්නවනම් ඒකත් කියවලම ආවානං... මේකත් මේ සනා කොලුවට වෙච්චි ඒ වගේම තවත් අලකලංචියක්... එකම වෙනස මේක සිද්ධ වුණේ සනා කොලුව අළුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ... ඒ කිව්වේ අර අපොස සාපෙ වැදිල කොළඹ ඉස්කෝලේ ඉන්න කාලේ.. ඉතින් ඒ කාලේ සනාලගේ කැලෑසියට ගණන් ඉගැන්නුවේ සරත් කියල සෑර් කෙනෙක්... ගණන් වලට දක්ෂ නැතත් ගණන් දාන්න ගොඩක් දක්ෂ කොල්ලෝ සෙට් එකක් තමා සනාලගේ කැලෑසියේ හිටියේ.... ඒ කොයි හැටි වෙතත් පොල් ගහක් වගේ උස උණත් පරඬැලක් වගේ හීන්දෑරී සිරුරක් තිබිච්ච සරත් සෑර්ට කොල්ලො ඔක්කොම පණ බයයි... මොකද සරත් සෑර් තමා ඉස්කෝලේ විෂය බාහිර කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පති... ඇඟ පත නම් පරඬැලක් වගේ වුණත් සරත් සෑර්ට තිබුණේ හරිම මිහිරි උච්ච සංඛයාත ස්වරයක්... අපේ කට්ටිය සෑර්ගේ වොයිස් එකටත් වඩා කැමති අර සෑර්ගේ කටහඬින්ම කීස් කීස් ගගා, ඇඟේ කොටසක් වගේ නිතරම සෑර්ගේ අතේ රැදුණු පත වේවැලට තමා....

ඉතින් ඔන්න දවසක් සරත් සෑර් අපේ කැලෑසියට ගණන් උගන්නනවා.... ඒක ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකක්, හරි ය... හැබැයි ඉතින් ආයේ කතා දෙකක් නෑ... සරත් සෑර්ට ආමාශයටම වදින්න උගන්නතෑකි... ආයේ කාලේ ගෙවෙනවා තේරෙන්නෙත් නෑ... ඉතින් දැන් සෑර් අපිට ගණන් වගයක් හදන්න දීලා අර ගුරු පුටුවට වෙලා හරි බරි ගැහිල පොඩ්ඩක් විතර කිරනවා...මනිනවා.... ඕං ටිකකින් නින්දෙන් ඇහැරිල වගේ කලබලෙන් වටපිට බලනවා... ඊට පස්සේ ඔරලෝසුව හොඳට හොළවලා ඇහැට ළං කොරගෙන වේලාවත් බැලුවා... දැන් ඉතින් සෑර් පුටුවේ අඩමානෙට ඉඳගෙන කල්පනා කොරනවා... කොහොමහරි එදා ඒ පැත්තට කරන්ට් එක නැති දවසක්.. හරි ය‍... සෑර් දැන් මොනාද මන්දා මුමුණනවා...

සනාට නම් වැඩේ තේරුණා... වෙනදාට පීරියඩ් එක ඉවර වෙන්නත් කලියෙන් ටිලිං ටිලිං ගාලා ඇහෙන බෙල් සද්දෙ අද පීරියඩ් එක ඉවර වෙලත් තාම නැහැ නෙව... හිටි හැටියේ පුටුවෙන් නැගිට්ට සෑර් මුළු කැලෑසිය සිසාරා පොඩි බැල්මක් දැම්මා... සෙට් එකම දැන් තක්බීර්.... සනාත් ඉන්නවා ඇස් දෙක උඩ ඉන්දගෙන...

මේං හිටි අඩියේ සෑර් වේවැල දික් කොළා සනා දිහාවට....
“ඔය ළමයා...”

සනා ඉතින් පුටුවෙන් නැගිට්ටා... ඇත්තම කිව්වොත් නැගිට්ටා නෙමෙයි නැගිට්ටුණා.....

“මෙහේ එනවා....”
සනා කොලුවත් දැන් බයෙන් බයෙන් සෑර් ගාවට ළං වුණා... මොන හෙණගෙඩියක් පාත් වෙන්ඩ යනවද කියල කවුදෑ දන්නෙ...

“දරුවෝ අද මේ කරන්ට් එක නැති හන්දා ඔටෝමැටික් බෙල් එක වැඩ නෑ... ඔෆිස් එකේ හාදයා බෙල් එක ගහන පාටකුත් නෑ වගේ.... ඔය ළමයා දන්නවා නේද අර ඔෆිස් එක ඉස්සරහ තියෙන ඝන්ඨාරේ... ”
සනාත් ඉතින් ඔව් කියන්න ඉහළට පහළට ඔලුව වැනුවා...

“දුවල ගිහිල්ලා ගහලා එනවා ඒක....”

සෑර්ගේ අණ ලැබුණා විතරයි ඉතින් සනා මීටර් සීය දුවන්නැහේ දිව්වෙ නැතෑ බෙල් එක ළඟට... සොරි සොරි ඝන්ඨාරේ ගාවට...
ඕං ඉතින් සනා අර ඝන්ඨාරේට ගැට ගහල තියෙන ලණු පොට ගත්තයි කියමුකෝ අතට.... දැන් ඉතින් අත වගේ ම සනාගේ හිතත් ගැහෙනව... කවද කාපු ටකරං ද කිව්වලු... දැන් ඉතින් මේක ගහන රිදම් එක ගැන සනාට ලොකු ප්‍රශ්නයක් ! පන්සලේදි මිසක ඉස්කෝලෙදි කවදාවත් කොරල තියෙන වැඩක් යෑ.... ඕන වෙඩින් එකක් කියල සනාත් ඉතින් ගැහුවැයි කියමුකෝ ඝන්ඨාරේ....

හැබැයි ඉතින් සනා ඝන්ඨාරේ ගහද්දි අහළ පහළ කොල්ලො කුරුට්ටො වගේ ම එතනින් එහාට මෙහාට ගිය ටීචර්ස්ලත් නිකන් පොඩ් අමුතු ලුක් එකක් දාන්න ගත්තා... සනාත් ඉතින් ඕක දැක්කට මිනිහට ඕවයේ ගානක් නැහැ... රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි කියනවනේ... එහෙව් එකේ භාරදීපු රාජකාරිය ඉෂ්ඨ කොරල ඉන්න එපෑයැ... නැද්ද ?

ඕං සනා ඝන්ඨාරේ ගහල ඉවර වෙද්දි සරත් සෑරුත් ආවා ඔෆීසිය පැත්තට... අර පතරංග වේවැලත් වන වන.... සෑර් එන්නේ නං හොඳකට නෙමෙයි කියල තේරුණ හන්දම සනා දැන් තක්බීර්.. සෑරුත් ආවැයි කියමුකෝ සනා ගාවටම...

“අනේ අනේ...ඈ.... තමුසේ හිතුව ද මේක පන්සලක් කියල... ඈ..” සෑර් ඉනට අත් දෙක ගහගෙන සනාගෙන් අහනවා... හත්තිලව්වෙදි ගහපු කලාබර ආසියා කිව්වලු... ඕං එතකොට තමා සනාටත් හොඳ සිහිය එන්නෙ.. ඒ වෙලාවේ එච්චර මීටර් නොවුනට සනා ඝන්ඨාරේ ගහල තියෙන්නෙ අර හවහට පන්සලේ කඨීන පින්කම්වලට ගියා ම ඝන්ඨාරේ ගහන රිදම් එකට.....



ටාං)))............. ටාං))).............. ටාං)))..............