සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

27 July 2011

ඩිං ඩොං බෙල්....

Image: cjansuebsri / FreeDigitalPhotos.net

ඔයාලට මතක ද මං අර කාලෙකට කලින් මට වෙච්චි අලකලංචියක් ගැන ලියපු "සනා කොලුවගේ අසා ලිවීම" ගැන කතාව... ඕං ඒ කතාව නොකියවපු කෙනෙක් ඉන්නවනම් ඒකත් කියවලම ආවානං... මේකත් මේ සනා කොලුවට වෙච්චි ඒ වගේම තවත් අලකලංචියක්... එකම වෙනස මේක සිද්ධ වුණේ සනා කොලුව අළුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ... ඒ කිව්වේ අර අපොස සාපෙ වැදිල කොළඹ ඉස්කෝලේ ඉන්න කාලේ.. ඉතින් ඒ කාලේ සනාලගේ කැලෑසියට ගණන් ඉගැන්නුවේ සරත් කියල සෑර් කෙනෙක්... ගණන් වලට දක්ෂ නැතත් ගණන් දාන්න ගොඩක් දක්ෂ කොල්ලෝ සෙට් එකක් තමා සනාලගේ කැලෑසියේ හිටියේ.... ඒ කොයි හැටි වෙතත් පොල් ගහක් වගේ උස උණත් පරඬැලක් වගේ හීන්දෑරී සිරුරක් තිබිච්ච සරත් සෑර්ට කොල්ලො ඔක්කොම පණ බයයි... මොකද සරත් සෑර් තමා ඉස්කෝලේ විෂය බාහිර කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පති... ඇඟ පත නම් පරඬැලක් වගේ වුණත් සරත් සෑර්ට තිබුණේ හරිම මිහිරි උච්ච සංඛයාත ස්වරයක්... අපේ කට්ටිය සෑර්ගේ වොයිස් එකටත් වඩා කැමති අර සෑර්ගේ කටහඬින්ම කීස් කීස් ගගා, ඇඟේ කොටසක් වගේ නිතරම සෑර්ගේ අතේ රැදුණු පත වේවැලට තමා....

ඉතින් ඔන්න දවසක් සරත් සෑර් අපේ කැලෑසියට ගණන් උගන්නනවා.... ඒක ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකක්, හරි ය... හැබැයි ඉතින් ආයේ කතා දෙකක් නෑ... සරත් සෑර්ට ආමාශයටම වදින්න උගන්නතෑකි... ආයේ කාලේ ගෙවෙනවා තේරෙන්නෙත් නෑ... ඉතින් දැන් සෑර් අපිට ගණන් වගයක් හදන්න දීලා අර ගුරු පුටුවට වෙලා හරි බරි ගැහිල පොඩ්ඩක් විතර කිරනවා...මනිනවා.... ඕං ටිකකින් නින්දෙන් ඇහැරිල වගේ කලබලෙන් වටපිට බලනවා... ඊට පස්සේ ඔරලෝසුව හොඳට හොළවලා ඇහැට ළං කොරගෙන වේලාවත් බැලුවා... දැන් ඉතින් සෑර් පුටුවේ අඩමානෙට ඉඳගෙන කල්පනා කොරනවා... කොහොමහරි එදා ඒ පැත්තට කරන්ට් එක නැති දවසක්.. හරි ය‍... සෑර් දැන් මොනාද මන්දා මුමුණනවා...

සනාට නම් වැඩේ තේරුණා... වෙනදාට පීරියඩ් එක ඉවර වෙන්නත් කලියෙන් ටිලිං ටිලිං ගාලා ඇහෙන බෙල් සද්දෙ අද පීරියඩ් එක ඉවර වෙලත් තාම නැහැ නෙව... හිටි හැටියේ පුටුවෙන් නැගිට්ට සෑර් මුළු කැලෑසිය සිසාරා පොඩි බැල්මක් දැම්මා... සෙට් එකම දැන් තක්බීර්.... සනාත් ඉන්නවා ඇස් දෙක උඩ ඉන්දගෙන...

මේං හිටි අඩියේ සෑර් වේවැල දික් කොළා සනා දිහාවට....
“ඔය ළමයා...”

සනා ඉතින් පුටුවෙන් නැගිට්ටා... ඇත්තම කිව්වොත් නැගිට්ටා නෙමෙයි නැගිට්ටුණා.....

“මෙහේ එනවා....”
සනා කොලුවත් දැන් බයෙන් බයෙන් සෑර් ගාවට ළං වුණා... මොන හෙණගෙඩියක් පාත් වෙන්ඩ යනවද කියල කවුදෑ දන්නෙ...

“දරුවෝ අද මේ කරන්ට් එක නැති හන්දා ඔටෝමැටික් බෙල් එක වැඩ නෑ... ඔෆිස් එකේ හාදයා බෙල් එක ගහන පාටකුත් නෑ වගේ.... ඔය ළමයා දන්නවා නේද අර ඔෆිස් එක ඉස්සරහ තියෙන ඝන්ඨාරේ... ”
සනාත් ඉතින් ඔව් කියන්න ඉහළට පහළට ඔලුව වැනුවා...

“දුවල ගිහිල්ලා ගහලා එනවා ඒක....”

සෑර්ගේ අණ ලැබුණා විතරයි ඉතින් සනා මීටර් සීය දුවන්නැහේ දිව්වෙ නැතෑ බෙල් එක ළඟට... සොරි සොරි ඝන්ඨාරේ ගාවට...
ඕං ඉතින් සනා අර ඝන්ඨාරේට ගැට ගහල තියෙන ලණු පොට ගත්තයි කියමුකෝ අතට.... දැන් ඉතින් අත වගේ ම සනාගේ හිතත් ගැහෙනව... කවද කාපු ටකරං ද කිව්වලු... දැන් ඉතින් මේක ගහන රිදම් එක ගැන සනාට ලොකු ප්‍රශ්නයක් ! පන්සලේදි මිසක ඉස්කෝලෙදි කවදාවත් කොරල තියෙන වැඩක් යෑ.... ඕන වෙඩින් එකක් කියල සනාත් ඉතින් ගැහුවැයි කියමුකෝ ඝන්ඨාරේ....

හැබැයි ඉතින් සනා ඝන්ඨාරේ ගහද්දි අහළ පහළ කොල්ලො කුරුට්ටො වගේ ම එතනින් එහාට මෙහාට ගිය ටීචර්ස්ලත් නිකන් පොඩ් අමුතු ලුක් එකක් දාන්න ගත්තා... සනාත් ඉතින් ඕක දැක්කට මිනිහට ඕවයේ ගානක් නැහැ... රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි කියනවනේ... එහෙව් එකේ භාරදීපු රාජකාරිය ඉෂ්ඨ කොරල ඉන්න එපෑයැ... නැද්ද ?

ඕං සනා ඝන්ඨාරේ ගහල ඉවර වෙද්දි සරත් සෑරුත් ආවා ඔෆීසිය පැත්තට... අර පතරංග වේවැලත් වන වන.... සෑර් එන්නේ නං හොඳකට නෙමෙයි කියල තේරුණ හන්දම සනා දැන් තක්බීර්.. සෑරුත් ආවැයි කියමුකෝ සනා ගාවටම...

“අනේ අනේ...ඈ.... තමුසේ හිතුව ද මේක පන්සලක් කියල... ඈ..” සෑර් ඉනට අත් දෙක ගහගෙන සනාගෙන් අහනවා... හත්තිලව්වෙදි ගහපු කලාබර ආසියා කිව්වලු... ඕං එතකොට තමා සනාටත් හොඳ සිහිය එන්නෙ.. ඒ වෙලාවේ එච්චර මීටර් නොවුනට සනා ඝන්ඨාරේ ගහල තියෙන්නෙ අර හවහට පන්සලේ කඨීන පින්කම්වලට ගියා ම ඝන්ඨාරේ ගහන රිදම් එකට.....



ටාං)))............. ටාං))).............. ටාං)))..............

25 July 2011

බංකු බංකු - බැංකු කතාවක් !

කාලෙකට පස්සේ මේ ලැහැස්ති වෙන්නේ බැංකු ජීවිතේ තවත් රසවත් සිදුවීමක් බෙදාහදාගන්නයි... ඇත්ත ම කිව්වොත් මීට ඉස්සර කවදාවත් මගේ බ්ලොග් එක කියවල නැති මගේ බැංකු යාලුවෝ ටිකක් දැන් නිතර ම මගේ බ්ලොග් අඩවිය කියවනවා... ඒ ධනිකටත් SETTdeco විජේට්ටුවටත් පින් සිද්ධවෙන්ඩ... ඉස්සර තමන්ගේ කම්පියුටරේ යුනිකෝඩ් සහය පිහිටුවගන්න එක පැත්තක තියෙද්දි, මූණු පොතේ ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් එක බලලා මොනවද මචං නිකන් කොටු කොටු විතරයිනේ පේන්නේ කියල කියාපු අය ම අද කරදරයක් නැතිව මගේ බ්ලොග් එක කියවන්නේ ඒ හින්දයි... එහෙම කියවපු අය තමන් දන්න බැංකු ජීවිතේ රස කතා මට ලියල එවන්නත් පුරුදු වෙලා... ඒ අතරෙම ආයෙම බැංකු කතාවක් ලියන්නේ කවදද කියල අහන අයත් ඕන තරම්.... ඉතින් මේ කතාව ලියැවෙන්නේ ඒ අය වෙනුවෙන්.. අර මං හැමදාම කියනව වගෙ මේ කතාවත් බැංකුකරුවන්ට නම් පැල් බැඳගෙන හිනා යන කතාවක් වුණත් අනෙක් අයට නම් ඒ තරම් හිනායන කතාවක් නම් නෙමෙයි..


මුලින්ම කියන්න ඕනෑ... මේ සිද්ධිය මං අත්දැකපු එකක් නම් නෙවෙයි.. ඒ හන්දා මේ කතාව ලියැවෙන්නෙ "ලූ" ප්‍රත්‍යයෙන්... කතාව නම් මට කිව්වේ මගේ ගුරා... ගුරා කිව්වේ බැංකුවෙදි මට වැඩ උගන්නපු ගුරා... ඇත්තට ම ගුරා නෙවෙයි හරිනං කියන්න ඕන ගුරී කියල තමා... මොකද මට වැඩ කියල දුන්නෙ, මට වඩා සීනියර් මගේ වයසේම කෙල්ලෙක්... හැබැයි කවදත් වගේ මගේ හොඳම යාළුවන්ගෙන් කෙනෙක්... අදටත් මං එයාට කතා කරන්නේ මචං කියල... අද වෙනකොටනම් එයා ඔෆිසර් නෝනා කෙනෙක්... ඒත් අර යාලු ෆිට් එක නම් තාම එහෙමමයි..

ඉතින් කතාවට එමුකො... ඒ මගේ පළවෙනි බ්‍රාන්ච් එක.... මට වැඩ කියල දෙන්න පැවරුණේ මගේ ඉමීඩියට් සීනියර් වෙච්චි මගේ ගුරී යාළුවට... මේ සිද්ධිය වෙලා තියෙන්නෙ මං ඒ බ්‍රාන්ච් එකේ වැඩට එන්න ටික කාලෙකට කලින්...

ඔන්න ඉතින් කාලෙකට කලින් ඒ බ්‍රාන්ච් එකට අළුතෙන් ආවලු කොල්ලෙක්, බෑන්කිං ට්‍රෙනී විදිහට... මේකා ටිකක් එක විදිහක හාදයෙක්ලු... කොයිදේත් කරල ඉවර වෙලා අහන ජාතියේ එකෙක්ලු... ඉතින් දවසක් ස්ටාෆ් එකේ කට්ටිය අඩු දවසක මේ හාදයට ෆ්රන්ට් කවුන්ටර්ස්වල වැඩ කරන්න සිද්ධ වුණාලු... ඔය අළුතෙන් එකවුන්ට් අරින වැඩ වගේම පේ ඕඩර් , ෆොරීන් ඩ්‍රාෆ්ට් (අර බැංකු අණකර කියල ඉංගිරිස්වලින් කියන්නේ ආං ඒවට තමා..) එහෙමත් දෙන්නේ ඔතැනින් තමා.. ඉතින් එදා ලන්ච් වෙලාවේ කවුන්ටරේ ඉඳල තියෙන්නෙ මේ හාදය විතරයි... ආපු අලුතම නිසා මේ හාදයට වැඩ ගැන ඒ හැටි දැනුමක් නැහැ... ඒ හන්දාම මිනිහත් ඉඳල තියෙන්නෙ දණිස් පොල්කටු දෙක ටිකක් ඈත් කරගෙන... මොකද ඕක වදින්න ගත්තොත් හෙම‍.... ඔන්න ටික වෙලාවක් යත්දී මේ කවුන්ටරේට ආවලු පොඩි කොල්ලෙක්.... පොඩ් ය කිව්වට පොඩිමත් නෑලු... මේ A/L කරල ඉවර වෙච්චි ගමන් වගේ හාදයෙක්... මිනිහා ඇවිත් තියෙන්නේ ඩ්‍රාෆ්ට් එකක් ගන්න... CIMA UK නමට..

Image: Pixomar / FreeDigitalPhotos.net


හැබැයි කස්ටමර් කොලු ගැටයත් ඒ තරම් බැංකුවලට ගිහින් පුරුද්දක් නැති හාදයෙක් වගේලු පෙනුනෙ... අපේ හාදයත් වැඩිය නැතුවට පොඩ්ඩක් විතර ගැස්සිලලු හිටියේ.. මොකද මිනිහා ඩ්‍රාෆ්ට් එකක් තියා පේ ඕඩර් එකක් වත් මීට කලින් තනියෙම දීලා තිබුණේ නෑලු....හැබැයි අනික් අය මේක කරන හැටිනම් මේ හාදය දැකල තිබ්බලු.... හැබැයි ඉතින් මේකා නොදන්න බව පෙන්නන්න කැමති එකෙකුත් නෙමෙයිලු.... ඉතින් අපේ හාදය අර කොල්ලට මේ ෆෝම් එකයි, අර ෆෝම් එකයි ඔක්කොම දීලා පුරවගන්න තියෙන සේරම පුරවගත්තලු... පස්සේ පවුම් ගාණට හරියන්න ලංකාවේ ගාණ දාපු ඩිපොසිට් ස්ලිප් එකකුත් දීලා කිව්වලු කෑෂ් කවුන්ටරේට ගෙවල එන්න කියල... කස්ටමර් කොලුවත් ඉතින් කෑෂ් කවුන්ටරේට සල්ලි ගෙවල ආවෑයි කියමුකො... මේ කොල්ල එනකොට අපේ හාදය ෆොරීන් ඩ්‍රාෆ්ට් එක ලියුම් කවරෙකත් දාලා ලෑස්ති කරලලු තිබ්බෙ... ඉතින් කස්ටමර් කොලුවා, අපේ හාදයට මුව නොසෑහෙන්න ස්තූති කරල අර ලියුම් කවරෙත් අරගෙන ගෙදර ගියාලු...

ඔහොම මාස දෙක තුනක් ගෙවිලා ගියාලු....

ඔන්න අර කියපු කස්ටමර් කොල්ලා එක දවසක් බොහොම කලබලයෙන් දුවගෙන ආවලු බ්‍රාන්ච් එකට, මූණත් බෙරි කරගෙන.... බැලින්නං අර දීපු ඩ්‍රාෆ්ට් එක රිටර්න් වෙලා... කස්ටමර් කොල්ලා මූණ බෙරි කොරගෙන ආව මදෑ... වෙන කෙනෙකුට වුණා නං දීපු එකාගේ මුණත් තහඩුව සමතලා කරන්න තරං කේන්තියකින් නෙව එන්නෙ... ඉතින් එදා එතන හිටිය සීනියර් කෙනෙක් සීන් එක මැද්දට පැනල අර ගත්තලු බලන්න අර ඩ්‍රාෆ්ට් එක.... මේක අතට ගත්ත ගමන් අර සීනියර්ට හොඳට ම කේන්තිලු... මෑන් බැක් ඔෆිස් එක දිහාට හැරිල බොහොම තදින් ඇහැව්වලු කවුද මේක ඉෂූ කළේ කියල... ඉතින් අපේ හාදයත් පූස් පැටියා වගේ ගුලි වෙලා බොහොම බයෙන් බයෙන් කිව්වලු එයා තමයි කියල.... අර සීනියර් මෑන් කටින් පනින්න ආපු හිනාව තද කරගෙන කට්ටියටම පෙන්නුවලු අර රිටර්න් වෙච්චි ඩ්‍රාෆ්ට් එක.... ඒක දැකපු අනිත් සීනියර්ස්ලටනම් හිනාව නවත්තගන්නම බැරිවුණාලු.... අළුත් හාදයට නම් මේක ප්‍රහේළිකාවක් වගේලු... පස්සේ විස්තරේ දැනගත්තහම නම් මිනිහ පොළවේ වලක් හෙව්වලු, ඔලුව ඔබා ගන්න.....

මොකද දන්නවද වෙලා තියෙන්නෙ...

අපේ හාදය පණ්ඩිතකමට අර කස්ටමර් කොල්ලට දීලා තියෙන්නේ කෙලින්ම ඩ්‍රාෆ්ට් පොතෙන් කඩා ගත්තු හිස් කොළයක්ලු !