
මගේ කලින් ලිපියට හේමලයා තබා ගිය මේ සටහන දැක්කහම ඇත්තටම මට සිනහව නවත්ව ගන්න බැරිවුණා. වෙන හේතූවක් නිසා නොවෙයි. මේ සටහන, මං මීට කලකට ඉහත නරඹපු බටහිර වෙළඳ දැන්වීමක ප්රචාරක පටයක් සිහිගැන්වූ නිසා...
"Shadow/හේමලයා said...
මේක අද හැම තැනම වෙන දෙයක් නේ....බස් එකේදි ඇඟේ හැප්පුනත් අහන්නේ....
"උඹ දන්නවද මම කවුද කියලා ?"
(ඉතින් මම කොහොමද දෙයියනේ දන්නේ........:)”
බලන්න ඔයාලත් මේ දසුන් පෙළ නරඹල තියෙනවද කියල....
“Do you know who I am ?”
ඒත් ඒ එක්කම මට සිහිපත් වුණේ ඒ පසුපස තියෙන සමාජ යථාර්තය...
"උඹ දන්නවද මම කවුද කියලා ?"
මුදල්-හදල්, යාන-වාහන, ගෙවල්-දොරවල් වගේම දැනුම, බලය, නම්බුනාම, තනතුරු එහෙම අතට ලැබෙන කොට මිනිස්සු මේ තරම් පිම්බෙන්නෙ ඇයි කියල මං මගෙන්ම අහගත්තා...
හිණිමගේ ඉහළට, ඉහළට යත්දි ඵල බර ගහක් වගේ තව තවත් බිමට නැමෙන්නට තරම් නිහතමානී වෙනව වෙනුවට මෙච්චර මාන්නයක් මිනිස්සුන්ගේ හිත් කුහර ඇතුලට රිංග ගන්නේ ඇයි ?
අනෙක් අයට වඩා තමන් උසස් කොට සලකන්නටත්.... අනෙක් වුන් පයට පෑගෙන දුහුවිලි කැටයක් තරමටවත් ගණන් නොගන්නට පෙළඹෙන්නෙ ඇයි ?
ඒ ගැන තව තවත් හිතත්දි මට මතක් වුණේ කාලෙකට කලින් කියවපු සෙන් බෞද්ධ කෙටි කතාවක්! මතක හැටියට නම් ඒක තිබුණේ වැල්ලවත්තේ ආනන්ද ස්ථවීරයන් විසින් රචනා කරන ලද “සෙන් බෞද්ධ කෙටි කතා” කියන පොතේ... කතාවේ එන නම් ගම් එහෙම මට හරියටම මතක නැති වුණත් සැකෙවින් කතාව මෙහෙමයි...
ඒ කාලේ කියෝතෝවේ හිටියා දක්ෂ සෙන් ආචාර්යවරයෙක්. දවසක් එතුමව මුණ ගැහෙන්න කියෝතෝවේ ආණ්ඩුකාරයා පැමිණියා. විහාරයේ දොරකඩට පැමිණි ආණ්ඩුකාරයා තමන්ගේ නමත් තනතුරත් සඳහන් හැඳිනීම් පතක් සේවකයෙක් අතේ සෙන් ආචාර්යවරයා වෙත යැව්වා. එහි සඳහන් වුණේ “කියෝතෝවේ ආණ්ඩුකාරයා වන කිතාගික්” කියලා. පත්රිකාව අතට ගත් සෙන් ආචාර්යවරයා බොහොම නොසතුටට පත්වෙල මෙහෙම කිව්වා. “මේ වගේ පුද්ගලයන් එක්ක මගේ ගනුදෙනුවක් නැහැ. කරුණාකරල එතුමාට කියන්න ආපහු යන්න කියලා..”
සේවකයා විසින් ගෙන එන ලද පිළිතුර ඇසූ ආණ්ඩුකාරවරයා පුදුමයට පත් වුණා. ඒත් හැඳීනීම් පත අතට ගත් ආණ්ඩුකාරයාට වරද තේරුම් ගියා. ඔහු වහාම එහි සඳහන් සිය තනතුර පැන්සල් ඉරකින් කපා දැමුවා.. ඉන්පස්සේ අර පත්රිකාව නැවතත් ආචාර්යවරයා වෙත යැව්වා...
සේවකයා නැවත වරක් අර හැඳිනීම් පත ආචාර්යවරයාට පිළිගැන්නුවා... පත්රිකාව කියවූ ආචාර්යවරයා අමන්දානන්දයට පත් වූණා... “ඕ... මේ මගේ මිත්රයා කිතාගික් නේද... යන්න යන්න... ඉක්මනින් ගිහින් ඔහුට මෙහෙ එන්න කියන්න..” සෙන් ආචාර්යවරයා සිය සේවකයාට අණ කළා...
පුංචි කතාවක් වුණත් ඒ කතාව ඇතුළේ අපට හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙල තියෙනවැයි කියන එකයි මගේ නම් හැඟීම.. ඉහළට යන්න යන්න ගුණ දහම් අමතක කරන අපේ ජීවිතත් හරියට හිස් පොතක් වගේ නේද ?
ප/ලි
මේ ලිපිය ලිවිමට හේතු වු Shadow/හේමලයා ඔබට බොහොමත්ම ස්තුතියි!