සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

12 February 2012

හිතට ආවට... ලියා තැබුවෙමි....


Image: Francesco Marino / FreeDigitalPhotos.net



යතුරු පුවරුව පුරා අතැඟිලි මෙහෙයවද්දි මට දැනුණේ ආගන්තුක නුහුරු නුපුරුදු බවක්.... ඒත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් තිබුණේ නැහැ.... මං ආයෙම ලිපියක් අකුරු කරන්නේ ගිය අවුරුද්දේ ජුලි මාසෙන් පස්සෙ.... මාස හයකටත් වඩා ගෙවිල ගිහින්.... මට ම පුදුමයි... ආපහු හැරිල බලත්දි.... ජීවිතේදි වගේම බ්ලොග් අවකාශයේදිත් මට ගොඩක් දේවල් ඒ කාලය තුළ මගහැරිල තියෙන පාටයි.... ආයේ ලියන්න හිත හදාගන්න පුළුවන් කමක් තිබුණ නම් මං නොලිය ඉන්නෙත් නැහැ... ඒත් මට ම නොදැනෙන විදිහට මට මාවම අමතක වෙලා.... එක නිමේෂයකදි අපේ ජීවිත කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද ? ඒ ගැන කියන්න මගේ කතා අවශ්‍ය නැහැ... මේ ළඟකදි මං අත්දැකපු හරිම සංවේදී කතාවක් මං පස්සේ දවසක "තවත් දවසක" තුළින් අරගෙන එන්නම්... ඇත්තටම වෙනදට මං යතුරු පුවරුව හරහා අතැඟිලි මෙහෙයවන්නේ බොහොම නිරායාසයෙන්.... ඒත් අද.... අද මං මේ වචන ටික යතුරු කරන්නෙත් බොහොම ආයාසයෙන්..... ඉස්සර ඉංග්‍රීසි යතුරු පුවරුව වගේම සිංහල විජේසේකර යතුරු පුවරුවත් මගේ ඇතැඟිලි වලට හොඳට හුරුපුරුදුයි.... ඒ පුරුද්ද මට ලැබුණේ මං මුලින්ම පත්තර රස්සාවට යන්න කලින් ඩෙස්ක්ටොප් පබ්ලිෂින් ඉගෙන ගන්න කාලේ.... ඔව් ඒ මීට අවුරුදු හය හතකට ඉස්සර.... පත්තර රස්සාව කිව්වට මං කළේ ටයිප් සෙටින්.... හොඳකට හෝ නරකට මට ඒක කරන්න ලැබුණේ මාස තුනක් වගේ කෙටි කාලයක් විතරයි.... ඉන් පස්සේ මං හීනෙන්වත් නොහිතපු විදිහට මට මේ රස්සාවට එන්න ලැබුණා.... ඔච්චර සුදුසුකම් තියාගෙනත් පුතා ඔය වගේ පැත්තක් තෝරගත්තේ ඇයි කිය කියා වැඩිහිටියෝ හැමොම වගේ අහත්දි මං ඇත්තටම ඒ පත්තර රස්සාවට ආස කළා.... සතියකට දෙතුන් දවසක් රූ නිදිමරාගෙන වැඩ කරල එතනම පුටු ටිකක් එකතු කරලා පැය හකරක් පහක් ඇහැ පියාගෙන ඉඳල ආයේම ඊළඟ දවසේ ඩේ එක කරල ගෙදර යන එක මට ඒ හැටි දෙයක් නොවුණත් මං ඒ තරම් මහන්සිවෙනවා දකින්න අපේ අම්මා කැමති වුණේ නැහැ... අම්මගේ ඒ අකමැත්ත නොවෙන්න මට පත්තර රස්සාව අතෑරලා මේකට එන්න හිත හදාගන්න බැරිවෙන්න තිබුණා කවදාවත් ම....

ම්ම්.... මං මේ මොනව ලියනව ද කියල මටම තේරෙන්නෙ නැහැ..... ඇත්තම කිව්වොත් පීසි එක ඉස්සරහ ඉඳ ගනිද්දිවත් ලියන්න ඕන දේ ගැන මට අදහසක් තිබ්බේ නැහැ... ඔහේ හිතට ආපු අදහස් ටිකකට නිදහසේ අකුරු වෙන්න ඉඩ දුන්නා විතරයි.... ආයෙමත් ඉස්සර වගේ ලියන්න ආසයි... ඒත් ඒක කරගන්න පුළුවන් වෙයිද කියල හිතට විශ්වාසයක් නැහැ... මං ආයේ ලිව්වත්.... මේ වගේ කිසි කමකට නැති වල් පල් ටිකක් ලියවෙන්න තියෙන ඉඩ වැඩියි....

ජී වි ත ය ….. අකුරු හතරක් විතරක් වුණාට වෙලාවකට ඒ අකුරු හතර මහමෙරක් වගේ කියල හිතෙන වාර අනන්තයි..... අතේ ඇඟිළි පහ එක වගේ නෙවෙයිනෙ.... ඒ වගේ මේ ලොකේ ඉන්න විවිධාකාර මිනිස්සුන්ට තියෙන්නේ විවිධාකාර ප්‍රශ්න..... ඒත් ඒ හැමෝගෙම ප්‍රශ්න මැද්දෙන්..... ඒ කිසිකෙනෙකුට නොදැනී ජී.. වි... ත.. ය.... ඉස්සරහට ගලාගෙන යනවා..... සමහරු හැල්මේ දුවනවා.... තවත් සමහරු නැවතිල බලන් ඉන්නවා.... සමහරු අඬනවා... වැළපෙනවා..... තවත් සමහරු හිනාවෙනවා.... ඔල්වරසන් දෙනවා.... ඒත් ජීවිතය ඒ කිසි දෙයක් ගැන හැලහොල්මනක් නැතුව ඔහේ ගලාගෙන යනවා....

මාත් දන්න කියන කාලේ ඉඳලම මගේ ජීවිතය හෙව්වා... මං හැමදාම හිතුවේ ඒක තියෙන්නෙ.... මගේ හීන කුමාරි ගාව කියල.... අවුරුදු දෙකකට කලියෙන් ඇය මුණගැහුණ මොහොතෙ මං හිතුවේ මට ජීවිතය හම්බවුණා කියල.... ඒත් එක නිමේෂයකින් මගේ ජීවිතය මගෙන් ගිලිහේවි කියල මං කවදාවත් හිතුවේ නැහැ... ජීවිතය ගංඟාවක් නම් අද ඇය ඒ ගංඟාවේ එක ඉවුරක.... මං අනෙක් ඉවුරේ..... අපිට වෙන් වෙන්න වෙලා තියෙන්නේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නිසා නෙවෙයි.... ඒ හින්දා... හිතින් වැළපී වැළපී අපි දෙන්නම..... නැවතිල බලන් ඉන්නවා.... ඒ තමයි ජීවිතේ හැටි.... සමහර සිද්ධිවලදි අපි ජීවිතයත් එක්ක ඉස්සරහට යන එක නතර කරනවා.... ඒත් ජීවිතය ඉස්සරහට ඇදෙන එක නතර කරන්නෙ නැහැ.....

ඒ තමයි ජීවිතය....

ඇත්තටම මායාවක් වගෙයි....

27 July 2011

ඩිං ඩොං බෙල්....

Image: cjansuebsri / FreeDigitalPhotos.net

ඔයාලට මතක ද මං අර කාලෙකට කලින් මට වෙච්චි අලකලංචියක් ගැන ලියපු "සනා කොලුවගේ අසා ලිවීම" ගැන කතාව... ඕං ඒ කතාව නොකියවපු කෙනෙක් ඉන්නවනම් ඒකත් කියවලම ආවානං... මේකත් මේ සනා කොලුවට වෙච්චි ඒ වගේම තවත් අලකලංචියක්... එකම වෙනස මේක සිද්ධ වුණේ සනා කොලුව අළුත් ඉස්කෝලෙට ගියාට පස්සෙ... ඒ කිව්වේ අර අපොස සාපෙ වැදිල කොළඹ ඉස්කෝලේ ඉන්න කාලේ.. ඉතින් ඒ කාලේ සනාලගේ කැලෑසියට ගණන් ඉගැන්නුවේ සරත් කියල සෑර් කෙනෙක්... ගණන් වලට දක්ෂ නැතත් ගණන් දාන්න ගොඩක් දක්ෂ කොල්ලෝ සෙට් එකක් තමා සනාලගේ කැලෑසියේ හිටියේ.... ඒ කොයි හැටි වෙතත් පොල් ගහක් වගේ උස උණත් පරඬැලක් වගේ හීන්දෑරී සිරුරක් තිබිච්ච සරත් සෑර්ට කොල්ලො ඔක්කොම පණ බයයි... මොකද සරත් සෑර් තමා ඉස්කෝලේ විෂය බාහිර කටයුතු භාර නියෝජ්‍ය විදුහල්පති... ඇඟ පත නම් පරඬැලක් වගේ වුණත් සරත් සෑර්ට තිබුණේ හරිම මිහිරි උච්ච සංඛයාත ස්වරයක්... අපේ කට්ටිය සෑර්ගේ වොයිස් එකටත් වඩා කැමති අර සෑර්ගේ කටහඬින්ම කීස් කීස් ගගා, ඇඟේ කොටසක් වගේ නිතරම සෑර්ගේ අතේ රැදුණු පත වේවැලට තමා....

ඉතින් ඔන්න දවසක් සරත් සෑර් අපේ කැලෑසියට ගණන් උගන්නනවා.... ඒක ඉන්ටවල් එකට කලින් පීරියඩ් එකක්, හරි ය... හැබැයි ඉතින් ආයේ කතා දෙකක් නෑ... සරත් සෑර්ට ආමාශයටම වදින්න උගන්නතෑකි... ආයේ කාලේ ගෙවෙනවා තේරෙන්නෙත් නෑ... ඉතින් දැන් සෑර් අපිට ගණන් වගයක් හදන්න දීලා අර ගුරු පුටුවට වෙලා හරි බරි ගැහිල පොඩ්ඩක් විතර කිරනවා...මනිනවා.... ඕං ටිකකින් නින්දෙන් ඇහැරිල වගේ කලබලෙන් වටපිට බලනවා... ඊට පස්සේ ඔරලෝසුව හොඳට හොළවලා ඇහැට ළං කොරගෙන වේලාවත් බැලුවා... දැන් ඉතින් සෑර් පුටුවේ අඩමානෙට ඉඳගෙන කල්පනා කොරනවා... කොහොමහරි එදා ඒ පැත්තට කරන්ට් එක නැති දවසක්.. හරි ය‍... සෑර් දැන් මොනාද මන්දා මුමුණනවා...

සනාට නම් වැඩේ තේරුණා... වෙනදාට පීරියඩ් එක ඉවර වෙන්නත් කලියෙන් ටිලිං ටිලිං ගාලා ඇහෙන බෙල් සද්දෙ අද පීරියඩ් එක ඉවර වෙලත් තාම නැහැ නෙව... හිටි හැටියේ පුටුවෙන් නැගිට්ට සෑර් මුළු කැලෑසිය සිසාරා පොඩි බැල්මක් දැම්මා... සෙට් එකම දැන් තක්බීර්.... සනාත් ඉන්නවා ඇස් දෙක උඩ ඉන්දගෙන...

මේං හිටි අඩියේ සෑර් වේවැල දික් කොළා සනා දිහාවට....
“ඔය ළමයා...”

සනා ඉතින් පුටුවෙන් නැගිට්ටා... ඇත්තම කිව්වොත් නැගිට්ටා නෙමෙයි නැගිට්ටුණා.....

“මෙහේ එනවා....”
සනා කොලුවත් දැන් බයෙන් බයෙන් සෑර් ගාවට ළං වුණා... මොන හෙණගෙඩියක් පාත් වෙන්ඩ යනවද කියල කවුදෑ දන්නෙ...

“දරුවෝ අද මේ කරන්ට් එක නැති හන්දා ඔටෝමැටික් බෙල් එක වැඩ නෑ... ඔෆිස් එකේ හාදයා බෙල් එක ගහන පාටකුත් නෑ වගේ.... ඔය ළමයා දන්නවා නේද අර ඔෆිස් එක ඉස්සරහ තියෙන ඝන්ඨාරේ... ”
සනාත් ඉතින් ඔව් කියන්න ඉහළට පහළට ඔලුව වැනුවා...

“දුවල ගිහිල්ලා ගහලා එනවා ඒක....”

සෑර්ගේ අණ ලැබුණා විතරයි ඉතින් සනා මීටර් සීය දුවන්නැහේ දිව්වෙ නැතෑ බෙල් එක ළඟට... සොරි සොරි ඝන්ඨාරේ ගාවට...
ඕං ඉතින් සනා අර ඝන්ඨාරේට ගැට ගහල තියෙන ලණු පොට ගත්තයි කියමුකෝ අතට.... දැන් ඉතින් අත වගේ ම සනාගේ හිතත් ගැහෙනව... කවද කාපු ටකරං ද කිව්වලු... දැන් ඉතින් මේක ගහන රිදම් එක ගැන සනාට ලොකු ප්‍රශ්නයක් ! පන්සලේදි මිසක ඉස්කෝලෙදි කවදාවත් කොරල තියෙන වැඩක් යෑ.... ඕන වෙඩින් එකක් කියල සනාත් ඉතින් ගැහුවැයි කියමුකෝ ඝන්ඨාරේ....

හැබැයි ඉතින් සනා ඝන්ඨාරේ ගහද්දි අහළ පහළ කොල්ලො කුරුට්ටො වගේ ම එතනින් එහාට මෙහාට ගිය ටීචර්ස්ලත් නිකන් පොඩ් අමුතු ලුක් එකක් දාන්න ගත්තා... සනාත් ඉතින් ඕක දැක්කට මිනිහට ඕවයේ ගානක් නැහැ... රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුයි කියනවනේ... එහෙව් එකේ භාරදීපු රාජකාරිය ඉෂ්ඨ කොරල ඉන්න එපෑයැ... නැද්ද ?

ඕං සනා ඝන්ඨාරේ ගහල ඉවර වෙද්දි සරත් සෑරුත් ආවා ඔෆීසිය පැත්තට... අර පතරංග වේවැලත් වන වන.... සෑර් එන්නේ නං හොඳකට නෙමෙයි කියල තේරුණ හන්දම සනා දැන් තක්බීර්.. සෑරුත් ආවැයි කියමුකෝ සනා ගාවටම...

“අනේ අනේ...ඈ.... තමුසේ හිතුව ද මේක පන්සලක් කියල... ඈ..” සෑර් ඉනට අත් දෙක ගහගෙන සනාගෙන් අහනවා... හත්තිලව්වෙදි ගහපු කලාබර ආසියා කිව්වලු... ඕං එතකොට තමා සනාටත් හොඳ සිහිය එන්නෙ.. ඒ වෙලාවේ එච්චර මීටර් නොවුනට සනා ඝන්ඨාරේ ගහල තියෙන්නෙ අර හවහට පන්සලේ කඨීන පින්කම්වලට ගියා ම ඝන්ඨාරේ ගහන රිදම් එකට.....



ටාං)))............. ටාං))).............. ටාං)))..............