
මම කොට්ටයට ත්, ඇඳවිට්ටමට ත් වාරු දී ජනෙල් පියන් පත් අතරින් දිස්වන ඈත ආකාශය දෙස බලා හිඳිමි... මට ත් නොදැනීම කඳුළු බිඳු එක දෙක දෙකොපුල් තල තෙමාගෙන රූරා වැටෙයි.. හඬන්නට තවත් කඳුළු ඉතිරි වි නැති බව දන්නා මසිතට ඒ ගැන වගක් නැත... සිහිනයකදි ඇසුණු හඬක් මෙන් ජංගම දුරකතනය ඔස්සේ ගලා ආ ඇගේ අවසන් වදන් කිහිපය නැවත නැවතත් මසිතේ හොල්මන් කරයි..
අපි මේක නවත්තමු !
අපි මේක නවත්තමු !!
අපි මේක නවත්තමු !!!
ඈ නොනවත්වාම ඉකිබිඳියි...
මඳ නිහැඬියාවකට පසුව නැවතත් ඇගේ හඬ අවදි වෙයි...
“අපි මේක නවත්වමු !”
මම ගල් ගැසී ගියෙම්.. මට දැනුණේ මගේ තොලකට වියළි යන බවකි.. මා එය සිහිනෙකිනිදු අපේක්ෂා නොකළ දෙයකි.. විශේෂයෙන්ම ඇගෙන්... ඇගෙන් නම් කිසිදා අපේක්ෂා නොකළ දෙයකි...
ඇගේ තිර හඬ, මගේ හදවත පතුළටම කිඳා බසින බවක් දැනේ... එහෙත් ඈ නොනවත්වා හඬයි... පොඩි එකියක මෙන් හුස්ම අල්ලන්නේවත් නැතිව හඬන ඇගේ හඬ මගේ සිත තලා පෙලා දමන සෙයකි..
අසීරුවෙන් වචන දෙක තුනක් ගලපා ගනිමි..
“සුදු ! ඔහොම අඬන්න එපා... මට බය හිතෙනවා.. ”
නැවතත් නිහැඬියාවකි...
කෙමෙන් කෙමෙන් ඉකි බිඳුම් හඬ අඩු වෙයි... ඈ ආයාසයෙන් වචන ගලපන්නට උත්සාහ කරන බව මට දැනේ...
“මං ඔයාට ඇත්තටම ආදරෙයි... ඒත් මං මොනව කරන්න ද ? මං දන්නවා මට කවදාවත්ම ඔයා තරම් හොඳ කෙනෙක් ලැබෙන්නෙ නෑ කියල.. ඒත් මේ පවිකාරිට ඔයාව ලබන්න තරම් පිනක් නැද්ද කොහෙද... මං මේ තීරණය ගත්තෙ ඔයා මට තීරණයක් ගන්න බල කරපු නිසා.. මං කැමතියි මේක නවත්වපු බව ගෙදරට අඟවල ටික කාලයක් සද්ද නැතුව ඉන්න.. එතකොටවත් හැමදේම හරියයි කියල හිතෙන නිසා... ඒත් ඔයා ඒකට කැමති නෑනේ... ඔයා කියන්නේ මට ඔයාව බඳින්න කියල... අනේ මං ඒකට කැමති නැතුව නෙමෙයි... ඒත් මට බයයි අම්මලගෙ තාත්තලගෙ හිත් රිදෙව්වොත්, අපිටත් කවද හරි විඳවන්න වෙයි කියල... ඒ ඔක්කෝටමත් වඩා මට බයයි අපේ තාත්තා ඔයා ට මොනව හරි කරයි කියල..”
“උඹ මේක නවත්තන්නම ඕන... නැත්තං මං ඌට ඇසිඩ් ගහනවා...!!!”
මගේ වෙන්ඩ (සිටි) මාමා කියා තිබිණි... උගත් මිනිසෙකුට කවදාවත් සිතීමට හෝ හැකි දෙයක් ද ? මේ සම්බන්ධය නැවැත්විය යුත්තේ ඇයි ? ඔහු ඉදිරිපත් කරන හේතූ සියල්ලම මනස්ගාත පමණි.. සැබෑ හේතුව වෙනකකි.. ඔහු මට කැමති නැත... මොකක්දෝ අහේතුවකට ඔහු මා නොරුස්සයි..
“ඒ හන්දා අපි මේක නවත්තමු ! අපි දෙන්න වෙන් වෙන්නෙ තරහකින් නෙමෙයිනේ.. ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරය හැමදාටම එහෙමම තියේවි.. ” ඈ මහ හඬින් හඬයි...
මට ද හැඬිණ.. මහ හඬින් ඉකි බිඳිණ...
“අනේ රත්තරන් ඔයා අඬනවද ? ඔයා අඬන්න එපා... මට පවු පිරෙයි ..
මේ දරාගන්න බැරි ආදරය හිතේ තියාගෙනම අපි වෙන් වෙමු...”
“ අනේ මට කියන්න... මාව පාරෙදි එහෙම හම්බවුනොත් ඔයා ආයේම මා එක්ක කතා කරනව නේද ? කියන්නකෝ...”
මට දැනුණේ මගේ හුස්ම හිරවන බවකි..
“උඹ ඌව බැන්දොත් අවුරුදු දෙකක් යන්න කළින් උඹ මැරෙනවලු.... ඇයි විහින් නැහෙන්න හදන්නෙ.. උඹට ඌව අතාරින්න බැරි දෙයක්වත් වුණාද ?”
ඇගේ පාර්ශවයෙන් අප දෙදෙනාගේ හඳහන් පරික්ෂා කරවා තිබේ.. එක් අයෙක් කියා තිබුණේ බැන්දත් එය මාස ගණනකට පමණක් සීමා වන විවාහයක් වනු ඇති බවයි.. තවෙකෙක් කියා තිබුණේ මේ විවාහය සිදු වුවොත් මා මිය යන බවයි... විවාහය සිදුවුවහොත් අනිවාර්යයෙන්ම කහ කිරිල්ලිය මිය යන බව අනෙකා කියා තිබුණි...
මා හඳහන් විශ්වාස කරන්නෙක් නොවෙමි.. මට ලැබී ඇත්තේ අපේ අම්මාගේ ආභාශයයි.. ඈ ආගම දහමට ලැදී විවෘතව සිතන කෙනෙකි.. කිසිදා හඳහන් විශ්වාස නොකරයි.. අපේ අම්මා කවදත් මගේ සතුට ගැන පමණක් සිතයි... ඈ කවදාවත් මගේ දේවලට විරුද්ධ නොවේ... එහෙත් මගේ පියාත් නැන්දලාත් උග්‍ර හඳහන්වාදීයෝය.. ඔවුන්ගෙ කැමැත්ත ලැබෙන්නෙ හඳහන් අනුව බව දැන සිටි හෙයින්, අප අතර සම්බන්ධය ඇතිවූ වකවානූවේම ඇගේ හඳහන් කොපිය අපේ තාත්තාටම දී පරික්ෂා කෙරෙව්වෙමි... ඒද අපේම සීයා කෙනෙකු ලවාය.. ගමටම සිටින ප්‍රසිද්ධම හඳහන් බලන්නා ඔහුය... ඔහු කියා තිබුණේ හඳහන් දෙක මධ්‍යස්ථ බවයි... විසි පොරොන්දමෙන් 15 ක් ගැලපෙන බවකුත් පැවසිණ.. සම්බන්ධයට අපේ තාත්තාගේද ආශිර්වාදය ලැබිණි.. අපේ පැත්තෙන් මට පනින්නට තිබුණු ලොකුම කඩුල්ල එයයි..
මා සැමවිටම ඇයට කීවේ මා ගැන ඉක්මනින්ම ගෙදරට කියන ලෙසයි... එහෙත් ඈ ඊට බිය විය...
"ඔයා දන්නැහැ... අපේ තාත්තා හරි වසයි... හරියට කුල මල හොයනවා... ඔයාල මිශ්‍ර කුල කියල දැනගත්තොත් කවදාවත් මේකට කැමති වෙන්නෙ නැහැ.. අපි ටිකක් ඉවසල බලමු.."
මම නිහඬව ඇයට ඉඩ දුන්නෙමි...
කාලයත් සමඟම ගලා ගිය අපේ සම්බන්ධය ඇගේ දෙමව්පියනටද රහසක් නොවන්නට වැඩිකල් ගියේ නැත... වහාම පැමිණ ඔහු හමුවන ලෙස, මගෙ වෙන්ඩ (සිටි) මාමාගෙන් නියෝග ලැබිණ... මාත් මගේ පියාත් ඇගේ නිවසට ගොස් ඔහු හමුවන්නට අදහස් කළෙමු.. එහෙත් ඔහු ඊට දැඩි ලෙස විරුද්ධ විය..
මගේ පියාටත් කේන්ති ගොස් තිබිණි...
"මනුස්ස කමට ගෙදරට ගිහිල්ල හම්බවෙන්න හැදුවහමත් එපා කියනව නම්.. ඕක අල්ලල දාල නිකං ඉන්න එකයි ඇත්තෙ.. ඔච්චරයිද කෙල්ලො ඉන්නෙ මේ රටේ..."
එහෙත් අවසානයේ මා සමඟ ඔහු වැඩ කරන තැනට යාමට තාත්තාද ආවේය...
එය සුහද හමුවක් නොවන බව දැන සිටියත්... උසාවියක් වේ යැයි මම නොසිතුවෙමි... බඳින වයසේ සිටින කෙල්ලෙක් හා කොල්ලෙක් අතර සම්බන්ධයක් ඇති වීම ලොව භයානකම අපරාධය යැයි ඔහු විශ්වාස කරනු ඇතැයි නොසිතුවෙමි.. එහෙත් මා නොසිතූ දේම සිදුවිය.. ඔහුට අනුව මා අපරාධකරුවෙකු විය.. ම පියා සමඟ වදනක් හෝ නොදෙඩීමට තරම් නිහතමානී වූ ඔහු, තමා මේකට කිසිසේත්ම කැමති නොවන බව මගේ මුහුණටම කියන්නට තරම් නිර්ලෝභී විය.. හේතුව ඔහු කොළඹ මිනිසුන් අප්‍රිය කිරීමය... මා ගැන හෝ මගේ ගතිගුණ ගැන කිසිවක් ම නොදැනම හේ මා අප්‍රිය කළේය... එය ඔහුගේ අවසන් තීරණය විය... ඉදිරිපත් කරන ලද ඇපෑලද නිශ්ප්‍රභ කෙරිණි... සම්බන්ධය නවත්වන්නට නියෝග ලැබිණ...
එහෙත් මට මෙන්ම ඇයටත් එය කළ නොහැකි විය...
පසුවට කල් දැමීම් මධ්‍යයේ අපේ සම්බන්ධයද ගලා ගියේය...
එහෙත් යමහල නැවත විදාරණය වුයේ පසුගිය සතියේය...
අප දෙදෙනා අල්ලාප සල්ලාපයේ යෙදෙණු දුටු කවුරුන් හෝ එය ඇගේ පියාගේ කණේ තබා තිබුණි...
එතෙක් පැවති නියෝග - තර්ජන බවටත්, තර්ජන - ගර්ජන බවටත් පරිවර්තනය වන්නට විය...
ඇගේ නිවසින් අපට කිසිදා ආශිර්වාදය නොලැබෙන බව අප දෙදෙනාටම සක් සුදක් සේ පැහැදිලි විය..
ඇය තීරණයක් ගත යුතු ම විය..
අවසානයේ ඈ තීරණයකට පැමිණ තිබේ... !
|සේයාරුව PicApp අඩවියෙනි|