සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

28 April 2010

ඇරඹුමම කඳුලක් වෙලා....


Close-up of a rose and envelopes on a couch


මම කොට්ටයට ත්, ඇඳවිට්ටමට ත් වාරු දී ජනෙල් පියන් පත් අතරින් දිස්වන ඈත ආකාශය දෙස බලා හිඳිමි... මට ත් නොදැනීම කඳුළු බිඳු එක දෙක දෙකොපුල් තල තෙමාගෙන රූරා වැටෙයි.. හඬන්නට තවත් කඳුළු ඉතිරි වි නැති බව දන්නා මසිතට ඒ ගැන වගක් නැත... සිහිනයකදි ඇසුණු හඬක් මෙන් ජංගම දුරකතනය ඔස්සේ ගලා ආ ඇගේ අවසන් වදන් කිහිපය නැවත නැවතත් මසිතේ හොල්මන් කරයි..

අපි මේක නවත්තමු !
අපි මේක නවත්තමු !!
අපි මේක නවත්තමු !!!

* * * * * * * * * * * * * * *


ඈ නොනවත්වාම ඉකිබිඳියි...
මඳ නිහැඬියාවකට පසුව නැවතත් ඇගේ හඬ අවදි වෙයි...

“අපි මේක නවත්වමු !”

මම ගල් ගැසී ගියෙම්.. මට දැනුණේ මගේ තොලකට වියළි යන බවකි.. මා එය සිහිනෙකිනිදු අපේක්ෂා නොකළ දෙයකි.. විශේෂයෙන්ම ඇගෙන්... ඇගෙන් නම් කිසිදා අපේක්ෂා නොකළ දෙයකි...

ඇගේ තිර හඬ, මගේ හදවත පතුළටම කිඳා බසින බවක් දැනේ... එහෙත් ඈ නොනවත්වා හඬයි... පොඩි එකියක මෙන් හුස්ම අල්ලන්නේවත් නැතිව හඬන ඇගේ හඬ මගේ සිත තලා පෙලා දමන සෙයකි..

අසීරුවෙන් වචන දෙක තුනක් ගලපා ගනිමි..

“සුදු ! ඔහොම අඬන්න එපා... මට බය හිතෙනවා.. ”

නැවතත් නිහැඬියාවකි...

කෙමෙන් කෙමෙන් ඉකි බිඳුම් හඬ අඩු වෙයි... ඈ ආයාසයෙන් වචන ගලපන්නට උත්සාහ කරන බව මට දැනේ...

“මං ඔයාට ඇත්තටම ආදරෙයි... ඒත් මං මොනව කරන්න ද ? මං දන්නවා මට කවදාවත්ම ඔයා තරම් හොඳ කෙනෙක් ලැබෙන්නෙ නෑ කියල.. ඒත් මේ පවිකාරිට ඔයාව ලබන්න තරම් පිනක් නැද්ද කොහෙද... මං මේ තීරණය ගත්තෙ ඔයා මට තීරණයක් ගන්න බල කරපු නිසා.. මං කැමතියි මේක නවත්වපු බව ගෙදරට අඟවල ටික කාලයක් සද්ද නැතුව ඉන්න.. එතකොටවත් හැමදේම හරියයි කියල හිතෙන නිසා... ඒත් ඔයා ඒකට කැමති නෑනේ... ඔයා කියන්නේ මට ඔයාව බඳින්න කියල... අනේ මං ඒකට කැමති නැතුව නෙමෙයි... ඒත් මට බයයි අම්මලගෙ තාත්තලගෙ හිත් රිදෙව්වොත්, අපිටත් කවද හරි විඳවන්න වෙයි කියල... ඒ ඔක්කෝටමත් වඩා මට බයයි අපේ තාත්තා ඔයා ට මොනව හරි කරයි කියල..”

“උඹ මේක නවත්තන්නම ඕන... නැත්තං මං ඌට ඇසිඩ් ගහනවා...!!!”
මගේ වෙන්ඩ (සිටි) මාමා කියා තිබිණි... උගත් මිනිසෙකුට කවදාවත් සිතීමට හෝ හැකි දෙයක් ද ? මේ සම්බන්ධය නැවැත්විය යුත්තේ ඇයි ? ඔහු ඉදිරිපත් කරන හේතූ සියල්ලම මනස්ගාත පමණි.. සැබෑ හේතුව වෙනකකි.. ඔහු මට කැමති නැත... මොකක්දෝ අහේතුවකට ඔහු මා නොරුස්සයි..

“ඒ හන්දා අපි මේක නවත්තමු ! අපි දෙන්න වෙන් වෙන්නෙ තරහකින් නෙමෙයිනේ.. ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරය හැමදාටම එහෙමම තියේවි.. ” ඈ මහ හඬින් හඬයි...

මට ද හැඬිණ.. මහ හඬින් ඉකි බිඳිණ...

“අනේ රත්තරන් ඔයා අඬනවද ? ඔයා අඬන්න එපා... මට පවු පිරෙයි ..
මේ දරාගන්න බැරි ආදරය හිතේ තියාගෙනම අපි වෙන් වෙමු...”

“ අනේ මට කියන්න... මාව පාරෙදි එහෙම හම්බවුනොත් ඔයා ආයේම මා එක්ක කතා කරනව නේද ? කියන්නකෝ...”

මට දැනුණේ මගේ හුස්ම හිරවන බවකි..

* * * * * * * * * * * * * * *


“උඹ ඌව බැන්දොත් අවුරුදු දෙකක් යන්න කළින් උඹ මැරෙනවලු.... ඇයි විහින් නැහෙන්න හදන්නෙ.. උඹට ඌව අතාරින්න බැරි දෙයක්වත් වුණාද ?”

ඇගේ පාර්ශවයෙන් අප දෙදෙනාගේ හඳහන් පරික්ෂා කරවා තිබේ.. එක් අයෙක් කියා තිබුණේ බැන්දත් එය මාස ගණනකට පමණක් සීමා වන විවාහයක් වනු ඇති බවයි.. තවෙකෙක් කියා තිබුණේ මේ විවාහය සිදු වුවොත් මා මිය යන බවයි... විවාහය සිදුවුවහොත් අනිවාර්යයෙන්ම කහ කිරිල්ලිය මිය යන බව අනෙකා කියා තිබුණි...

මා හඳහන් විශ්වාස කරන්නෙක් නොවෙමි.. මට ලැබී ඇත්තේ අපේ අම්මාගේ ආභාශයයි.. ඈ ආගම දහමට ලැදී විවෘතව සිතන කෙනෙකි.. කිසිදා හඳහන් විශ්වාස නොකරයි.. අපේ අම්මා කවදත් මගේ සතුට ගැන පමණක් සිතයි... ඈ කවදාවත් මගේ දේවලට විරුද්ධ නොවේ... එහෙත් මගේ පියාත් නැන්දලාත් උග්‍ර හඳහන්වාදීයෝය.. ඔවුන්ගෙ කැමැත්ත ලැබෙන්නෙ හඳහන් අනුව බව දැන සිටි හෙයින්, අප අතර සම්බන්ධය ඇතිවූ වකවානූවේම ඇගේ හඳහන් කොපිය අපේ තාත්තාටම දී පරික්ෂා කෙරෙව්වෙමි... ඒද අපේම සීයා කෙනෙකු ලවාය.. ගමටම සිටින ප්‍රසිද්ධම හඳහන් බලන්නා ඔහුය... ඔහු කියා තිබුණේ හඳහන් දෙක මධ්‍යස්ථ බවයි... විසි පොරොන්දමෙන් 15 ක් ගැලපෙන බවකුත් පැවසිණ.. සම්බන්ධයට අපේ තාත්තාගේද ආශිර්වාදය ලැබිණි.. අපේ පැත්තෙන් මට පනින්නට තිබුණු ලොකුම කඩුල්ල එයයි..

මා සැමවිටම ඇයට කීවේ මා ගැන ඉක්මනින්ම ගෙදරට කියන ලෙසයි... එහෙත් ඈ ඊට බිය විය...
"ඔයා දන්නැහැ... අපේ තාත්තා හරි වසයි... හරියට කුල මල හොයනවා... ඔයාල මිශ්‍ර කුල කියල දැනගත්තොත් කවදාවත් මේකට කැමති වෙන්නෙ නැහැ.. අපි ටිකක් ඉවසල බලමු.."
මම නිහඬව ඇයට ඉඩ දුන්නෙමි...

කාලයත් සමඟම ගලා ගිය අපේ සම්බන්ධය ඇගේ දෙමව්පියනටද රහසක් නොවන්නට වැඩිකල් ගියේ නැත... වහාම පැමිණ ඔහු හමුවන ලෙස, මගෙ වෙන්ඩ (සිටි) මාමාගෙන් නියෝග ලැබිණ... මාත් මගේ පියාත් ඇගේ නිවසට ගොස් ඔහු හමුවන්නට අදහස් කළෙමු.. එහෙත් ඔහු ඊට දැඩි ලෙස විරුද්ධ විය..

මගේ පියාටත් කේන්ති ගොස් තිබිණි...
"මනුස්ස කමට ගෙදරට ගිහිල්ල හම්බවෙන්න හැදුවහමත් එපා කියනව නම්.. ඕක අල්ලල දාල නිකං ඉන්න එකයි ඇත්තෙ.. ඔච්චරයිද කෙල්ලො ඉන්නෙ මේ රටේ..."
එහෙත් අවසානයේ මා සමඟ ඔහු වැඩ කරන තැනට යාමට තාත්තාද ආවේය...

එය සුහද හමුවක් නොවන බව දැන සිටියත්... උසාවියක් වේ යැයි මම නොසිතුවෙමි... බඳින වයසේ සිටින කෙල්ලෙක් හා කොල්ලෙක් අතර සම්බන්ධයක් ඇති වීම ලොව භයානකම අපරාධය යැයි ඔහු විශ්වාස කරනු ඇතැයි නොසිතුවෙමි.. එහෙත් මා නොසිතූ දේම සිදුවිය.. ඔහුට අනුව මා අපරාධකරුවෙකු විය.. ම පියා සමඟ වදනක් හෝ නොදෙඩීමට තරම් නිහතමානී වූ ඔහු, තමා මේකට කිසිසේත්ම කැමති නොවන බව මගේ මුහුණටම කියන්නට තරම් නිර්ලෝභී විය.. හේතුව ඔහු කොළඹ මිනිසුන් අප්‍රිය කිරීමය... මා ගැන හෝ මගේ ගතිගුණ ගැන කිසිවක් ම නොදැනම හේ මා අප්‍රිය කළේය... එය ඔහුගේ අවසන් තීරණය විය... ඉදිරිපත් කරන ලද ඇපෑලද නිශ්ප්‍රභ කෙරිණි... සම්බන්ධය නවත්වන්නට නියෝග ලැබිණ...

එහෙත් මට මෙන්ම ඇයටත් එය කළ නොහැකි විය...
පසුවට කල් දැමීම් මධ්‍යයේ අපේ සම්බන්ධයද ගලා ගියේය...
එහෙත් යමහල නැවත විදාරණය වුයේ පසුගිය සතියේය...
අප දෙදෙනා අල්ලාප සල්ලාපයේ යෙදෙණු දුටු කවුරුන් හෝ එය ඇගේ පියාගේ කණේ තබා තිබුණි...

එතෙක් පැවති නියෝග - තර්ජන බවටත්, තර්ජන - ගර්ජන බවටත් පරිවර්තනය වන්නට විය...
ඇගේ නිවසින් අපට කිසිදා ආශිර්වාදය නොලැබෙන බව අප දෙදෙනාටම සක් සුදක් සේ පැහැදිලි විය..
ඇය තීරණයක් ගත යුතු ම විය..

අවසානයේ ඈ තීරණයකට පැමිණ තිබේ... !


|සේයාරුව PicApp අඩවියෙනි|

55 දෙනෙකුගේ අදහස්....:

sansarasidu said...

නිමන්ති අක්කා, සුලා අයියා, විශ්මි නංගි, දිල්...
මං ගැන හොයල බලපු හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි...

මං තවත් මුකුත් කියන්න යන්නෙ නෑ...

බ්ලොග් පෝස්ට් එකක් ලියන්න තරම් හොඳ මානසිකත්වයක් මට තිබුණේ නෑ..
සමහර විටෙක මං ලියන අන්තිම පෝස්ට් එකත් මේක වෙන්න පුළුවන්...

දිල් said...

මම මේ පෝස්ට් එක දහපාරක් විතර කියෙව්වා....මට හැමදෙයක්ම දැනගන්න ඕනා.plz....

මාව contact කරන්න මල්ලී.

වැප් said...

මේ මොකද මේ ............

විශ්මි said...

මොනවද මේ කියන්නේ.. පිස්සුද අයියේ....රස්සාවක් තියෙන එකේ අයියලගෙ ගෙදරිනුත් ප්‍රශ්නයක් නැත්නම් දෙන්නා කසාද බඳින්න....... ආදරේ ඔහොම පැත්තකට දාන්නෙ කොහොමද......... මල ඉලව් කේන්දරේයි කුල මලයි උපදිනකොට කරේ බැඳන් එන්නෙ නෑනෙ......... හණමිටි අදහස් නිසා දරුවොන්ගේ ජීවිත නාස්ති කරන්න දෙමවුපියන්ට ඔය කියන විදිහේ අයිතියක් නෑ හැදුව වැදුව පලියට......

Raven said...

තීරණයකට පැමිණීම සහ තීරණ ක්‍රියාත්මක කිරීම අතර ලොකු ඉඩක් තියෙන්න පුලුවන් මචන්.
මිනිස්සු ගැන විචාර දෙන්න මට බැහැ මම මිනිස්සුන්ව හරිහැටි දන්නෙ නැති නිසා. යම් පමණකට හෝ දන්නෙ උඹ ගැන විතරයි.
දැන් පුලුවන්නම් ගිහින් නිදාගනින්. හෙට අලුතින් මේ දේවල් ගැන කල්පනා කරල බලපන්.
මම සටන් කරන එක විශ්වාස කරන මනුස්සයෙක්. අඩුම ත‍රමේ ජීවිතේ වටින දේවල් වෙනුවෙන්. මම සහ මගේ කතා මෙතැන කියල වැඩක් නැති නිසා කියන්නෙ නැහැ. ඒත් පුලුවන්නම් විශ්වාස කරපන්.

හා පැටික්කි (MS) said...

අනේ මගේ අයියේ...... ඔයා සද්දයක් නැතුව හිටියෙ ඔය නිසාද......... අනේ.........

මට ඔය ගැන මුකුත් කියන්න හිතක් නැහ මගේ අයියේ. මට සමාවෙන්න....

freedom said...

මට කියන්න දෙයක් හිතට එන්නෑ සහෝදරයා. මම ගල් ගැහිලා. රවේන් කියනව වගේ හෙට උදේට ඇවිත් බලන්න ඔයා වටේ ඉන්න අය දිහා. ඒ අයගෙ ශක්තිය ඔයාට අත්වැලක් වේවි

චතුරංග රූපසිංහ said...

මම උඹ නම් ඔක මට වුනානම් හෙටම මම.........

තිස්ස දොඩන්ගොඩ said...

යකෝ... පිස්සු විතරක් කෙලින්ඩ එපා...
උඹ ආදරේද ඇත්තටම...?
ඒ දරුවත් ආදරේ බව උඹට ෂුවර්ද...?
එතනින් එහාට එන ඕනැම දෙයක් උඹල දෙන්නට (මරණය වුනත්) දරාගන්න ශක්තිය තියනවද...
වැඩේ කරමු...!
මොකද කියන්නේ... ?

තිස්ස දොඩන්ගොඩ said...

එහෙම කොහොමද බං ඇසිඩ් ගහන්නේ....!
ඉස්සෙලා කෑන් එකට දාගන්න කියපංකෝ...
තමන්ගේ ළමයා වෙනුවෙන් තවත් දරුවෙකුට ඇසිඩ් ගහන්න....! මාර බුවාලා නේ...

හෙළයා said...

මම ඔබට මේල් එකක් එවන්නම්, සහෝදරයා

මම said...

මචන් කෙල්ල උඹට ඇත්තටම කැමති නම් උඹටත් කෙල්ලව අත හරින්න බැරි නම් ජොබ් එකකුත් උඹට තියෙන නිසා කෙල්ලව ගෙදර අරන් වරෙන්......

nimanthi said...

මල්ලී මට නම් හිතාගන්නත් බැහැ.. හදිසිවෙන්න එපා. දිල් කියන විදියට එයාව contact කරන්න plzzzz..!!
මට හිතෙන විදියට එයා තමා දුර එක්ක බැලුවොත් ඔයාට ළගින්ම ඉන්නේ.මම එයා එක්ක කථා කරන්නම්..

@දිල්
ඔයාගේ Mail එක check කරන්න
@තිස්ස අයියේ
ඒත් අනතුරු ඇඟවීම ගැන පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි කියලා අපි කියමු මම හිතනවා එහෙම..
අපි වගෙ හිතන අය හැම තැනම නැති බව අපි අමතක කරන්න හොඳ නැහැ..

RanDil said...

මල්ලී මල්ලී මල්ලී

මට කියන්න වචන නැහැ මල්ලී. මට අපේ අතීතය අවස්ථා සම්බන්ධයේ පොඩි වෙනසක් එක්ක මගේ ඇස් දෙකෙන් කියෙව්වා වගේ දැනෙනවා මල්ලී. මේ සිද්ධිය තව එක බ්ලොග් එකක් නෙමෙයි මල්ලී මට. මේ අපේම ජීවිත කථාවේ එක පරිච්ඡේදයක්. අපි දෙන්නත් ඔය වගේම අපේ ආදර කථාව නවත්වන්න හැදුවා වතාවක්. ඒත් නිසංසලේ ගලාගෙන යන ගඟක් නවත්වන්න එහෙම බැරි බව අපට වැටහුනා. සිද්ධි සේරම එක වගේයි. මට දුකයි මල්ලී. පුළුවන්නම් මම ඇවිල්ලා නංගිගේ ගෙදර අයට කියන්නම් ‍එයාලාගේ මෝඩ කම් ගැන. පහදලා දෙන්නම්. දෙයියනේ මට ඇත්තටම ඇ‍ෙඬනවා මල්ලි. අපි වින්ද වේදනාව මට දැන් ආයෙත් දැනෙනවා.

මිස්සක said...

එහෙම අතාරින්න එපා මචං. ජීවිතේ ප්‍රශ්ණ ඉස්සරහා හිටගන්න ඕනෙ මිසක් දණින් වැටෙන්න හොඳ නෑ. එතකොට එළුවත් රැවුල පාන්න එනවා

nimanthi said...

oyaage mail eka balanna .plzz reply me ..ok!!!

Naya said...

යාළුවා..හිත ශක්තිමත් කරගෙන ඉදිරි කටයුතු කරන්න

දුකා said...

මල්ලියා . . උඹේ වෙන්න සිටි මාමා ට වෛර කරන්න එපා . . ඒ ඒ මනුස්සයගේ උගත්කමේ තරම. ඉස්සර ඉඳන් අපේ රටේ බොහොමයක් අය මේ වගේ අන්තවාදීන් විශේෂයෙන් කුළය, උඩරට පහතරට වගේ දේවල ගැන. ඒත් උප්පැන්න සහතිකේ නම් ලොකුවෙන් ලියලා ඇති ආගම : බුද්ධාගම කියලා . . . බුද්ධාගමේ මූලික දෙයක් වන සමානාත්මතාව වත් නොදන්න බෞද්ධයන්ගේ තරම තමයි ඔය . ..

කහ කිරිල්ලිට ත් කියල දීපන් උඹේ රැකියාව දියණියව නඩත්තු කරන්න හැකියාවක් තිබේද නැද්ද යන්න උඹේ පවුලේ විස්තර වත් අහනන් තරම් උවමනාවක් නැති කලින්ම මා ඉන්නේ කලින් ම ගත්තු තීරණයක බව.

උඹලා දෙන්නා හිතලා බලලා කොඳට කතාබහ කරලා පවුලක උඅමක් හිතන්න පුලුවන් දුරදිග බලන වඩිහිටියෙක් ගෙ අහලා බලලා (උඹේ තාත්තගෙන් සමහර විට)උඹලාගේ අනාගතය අඳුරු කරගෙන දෙන්නා දෙපැත්තට වෙලා කඳුලු බොන්න වෙන්නේ නැති පසුතැවෙන්න වෙන්නේ නැති විදිහේ හ්ටීරයණයක් ගනින් . ..

wath said...

අපෝ මල්ලියෝ......... හැමදේම වෙන්නෙ හොඳටයි... අම්මල තාත්තට අකීකරා වෙන්නත් එපා. මක් කරන්නද ... හැමදෙයක්ම වෙන්නෙ හොදටයි මල්ලියෝ

Ansh Lucky Sri Jay said...

අනේ මල්ලි, මේ මොකෝ? මොනවා කියන්නද මං දන්නේ නැහැ. පසුවට පසුතැවිලි නොවන ආකාරයේ තීරණයක් ගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ.

මිස්සක said...

මට නම් හිතෙන්නේ තව කෙනෙක්ගෙන් උදව්වක් ගන්න එක හොඳයි. විශේෂයෙන් බුද්ධිමත් ( උගත් නෙවෙයි ) කෙනෙක්. පිලිගැනීමක් ඇති කෙනෙක්. මොකද මේක විහිළුවක් නෙවෙයිනේ.

Anonymous said...

ඒයි කොල්ලෝ....මම ඉන්නේ කිලෝමීටර හාරදාහක් ඈතනේ බo....නැත්නම් මම් එනවා උඹව හොයාගෙන .....මල්ලියෝ...කලබල වෙන්න එපා...කහකිරිල්ලිටත් කියපo සද්ද නැතිව ටික දවසක් ඉන්න කියලා....සමහර නෙමෙයි ගොඩක් ප්‍රශ්ණ වලට කාලය උත්තර දෙනවා......හදිසි තීරණ ගන්න එපා...බලපන් මේ යාළුවෝ උඹ ගාව දැවටෙන හැටි...හිමිහිට හිමිහිට ඕවට උත්තර හොයමු.....බැරිම උනොත් ......ඒත් බලමු..!


සුලා අයියා..

විහඟිගෙ සිතුවිලි said...

අයියී හදිස්සි වෙලා තීරණ ගන්න එපා. ඔය දෙන්න වෙන් වෙන්නත් එපා. ටික දවසක් සද්ද නැතුව ඉඳල බලන්න. මම දෙමවුපියන්ට අකීකරු වෙන්න අනුබල දෙන කෙනෙක් නෙවේයි. ඒත් එයාල අකමැති වෙන්නෙ අසාධාරණ හේතුවලට නම් විරුධ වෙන්න එපා කියන්නෙ නෑ.

විහඟිගෙ සිතුවිලි said...

අයිය හදිස්සි වෙලා තීරණ ගන්න එපා. ටික දවසක් ඉවසල බලන්න. ඔය දෙන්න වෙන් වෙන්නත් එපා. මම දෙමවුපියන්ට අකීකරු වෙන්න කියල කියන කෙනෙක් නම් නෙවෙයි. ඒත් එයාල අකමැති වෙන්නෙ අසාධාරණ හේතු නිසා නම් වෙන විකල්පෙකුත් නෑ ඔය දෙන්නට එයාලට විරුද්ධ වෙලා බඳිනවා ඇරෙන්න.

තිස්ස දොඩන්ගොඩ said...

මල්ලියේ අපට වචනයක් කියපං මොකක් හරි...
අර නිමන්ති නංගී හොඳටම දුක් වෙනවා... හෙලයා මල්ලිත් උඹට මේල් කරලා... රන්දිල් නංගි ඇවිල්ලා කථා කරන්නත් ලෑස්ති (ඒක නම් එලම විසඳුම... කහකිරිල්ලි නෙවෙයි එයාගේ නංගිවත් දෙන තරමට කතා කරයි එයා...ෂුවර්...) මම push කරනවා නෙමෙයි... උඹට ඉන්න තැනක් ඕනෑනම් අපි සෙට් කරමු... ගෙදරකට කී මනී ඕනේ නම් එව්වත් කරන්නම්... නවත්තනම් එපා රජෝ... ගනින් උඹට challenge එකක් කවුරු හරි කරා කියලා...
අපිට මොනවා හරි progress එකක් දාපං පුලුවං නං...

ඇයි මාමණ්ඩියත් බ්ලොග් කියවනවද...? කියවනවනං කියපන් දුකාට තියනවා experience ටොන් දෙකක් විතර ඔය වගේ කේස් ගැන... මාමණ්ඩියට මැරෙනකල්ම කියව කියවා ඉන්න...

SRI MANJULA said...

සහෝදරයා
මාත් ඔවැනි අත් දැකීමක් ලැබුවා.

තීරණයක් ගත්තා!
හැබැයි මම හෝ එයා නෙවෙයි

අපි!

අපි ගත්ත තීරණය ඉතා නිවැරදි වුණා
අද හැමෝම සතුටින්

තීරණයක් ගන්න.

SRI MANJULA said...

පසුවට කළ හැකිය ‍ඔය අප්පා මෙල්ල
පස්සට නොයා ප්‍රශ්නෙට දාපං බෙල්ල
අප්පට බයේ ගැහෙනා ඔය පොඩි කෙල්ල
උස්සාගෙන වරෙන්! විත්, දාපං තැල්ල

මාරයාගේ හෝරාව said...

ඇත්තටම කිවුවොත් අදයි මම දැක්කේ...
මම තාම කල්පනා කරනවා ප්‍රායෝගික විසදුමක් දෙන්නේ කොහොමද කියලා.
ඔක්කෝටම කලින් උඹ අපේ කස්ටියට කතා කරලා ඉදින්...
ඊට පස්සේ මම කතා කරන්නම්.
උඹෙ වෙන්න මාමා කොහේද ඉන්නේ..?

මිගාර said...

මෙන්න මල්ලී මගේ අත් දැකීමේ කොටසකුත්!. මට වෙච්ච ප්‍රශ්නෙත් ඕතමයි. ඒත් මම අත් ඇරියෙ නෑ! බැන්දා කොහොම හරි!

අනුරාධ said...

මට කියන්න තියෙන්නෙ මේකයි මචන්. කලබලේට කිසිම තීරණයක් ගන්න එපා. කලබලේ ගන්න තීරණ වරදින්න තියෙන හැකියාව වැඩියි. ගන්න තීරණයක් හොඳට හිතල මතලා දුර දිග කලපනා කරලා ගනින්. ඔය ප්‍රශ්ණෙ එක එක පැත්තෙන් බැලුවම එක එක විදියට පේනවා. ඒක නිසා විවිද අය තමුන්ට පේන පැත්ත දිහා බලාගෙන අදහස් ඉදිරිපත් කරන්න පුලුවන්. නමුත් ප්‍රශ්ණෙට මැදි වෙලා ඉන්නෙ ඔය දෙන්නා. අපිට පුලු පුලුවන් අන්දමින් උදව් කරන්න පුලුවන්. ඒ උනාට උඹලට ජිවිතේ ගත කරන්න වෙන්නෙ තනියම. තිස්ස අය්යා කියන විදියේ ඕනම උදව්වක් කරන්න අපිට නොපැකිලීව ඉදිරිපත් වෙන්න පුලුවන්. ඒත් ඊට පස්සේ..... අනිත් අයට හැමදාම උඹලගෙ පස්සෙන් ඉන්න බෑ. උඹලගේ ජීවිතේ. උඹලගේ අනාගතේ. එක උඹලා දෙන්නට තනියෙන් උස්සන් යන්න වෙනවා කැමති උනත් අකමැතු උනත්. අනිත් දේ තමයි උඹලගේ ලෝකෙ ඇතුලේ දෙමව්පියන්ට කිසිම ඉඩක් නොදෙන්න තරම් උඹලගේ හිත් දරුණු වෙන එකක් නෑ කියලා මන් හිතනවා. උඹලා එහෙම කරන්න හිතන් ඉන්නවනම් ප්‍රශ්ණයක් නෑ. කෙල්ලව බැන්දා. රටිනම තොලොන්චි වෙලා ගියා සේරම අත ඇරලා දාල. ඒත් එහෙම කරන්න පුලුවන්ද. මොනව උනත් ඒ උඹලගේ දෙමව්පියන්. උඹලව අවුරුදු විසි ගානක් තිස්සෙ රැකගත්තු, පෝශණය කරපු දෙවිවරු. දෙමාපියන්ට ගරු නොකරන කෙනෙක් කවදාවත් නියම මනුස්සයෙක් වෙන්නෙ නෑ. ඇත්ත. මේ වගේ කාරණාවලදි ගොඩක් දෙමව්පියන් කටයුතු කරන විදිය බොහොම අසාදාරණයි. මන්දා ඒ ඇයි කියලා. ඒ දෙමව්පියන් තරුණ කාලේ අදරේ කලේ නැද්ද මන්දා. අපි උනත් දැන් මේ බණ කිව්වට අම්මලා තාත්තලා උන දවසක ඒ විදියටම වැඩ කරයිද කියලා දෙය්යෝ තමයි දන්නේ.
මෙතනදි මන් උඹට කියන්නෙ කිසිම පැත්තක් ගනන් නෙවෙයි. පුලුවන් තරම් දෙපැත්තම ශේප් කරගන්න බලපන්. අදරෙ හින්දා දෙමව්පියන්වවත්, දෙමව්පියන් නිසා ආදරේවත් අත ඇරගන්න එක......... අනේ මන්දා. කොහොම උනත් මාත් විස්වාස කරන දෙයක් තමයි අර වත් අක්ක කිව්ව වගේ හැම දෙයක්ම වෙන්නෙ හොඳටයි කියන එක. ඒ සිතුවිල්ල නිසා තමයි මාත් ජීවිතේ ගොඩක් දේවල් දරාගෙන ඉන්නෙ. ආදරේ එක පැත්තක. දෙමව්පියෝ තව පැත්තක. උඹ කරන්න දෙයක් හිතාගන්න බැරුව ඒ දෙක මැද අතරමං වෙලා. මට උඹේ හැඟීම තේරෙනවා. මොකද මාත් උඹ ඔය විඳින වේදනාවම විඳිමින් ඉන්න නිසා. ආදරයත් දෙමව්පියනුත් ඒ විතරක් නෙවෙයි ආගම් දෙකක් අතරත් හිර වෙලා ඉන්න නිසා.
අර විශ්මි කියන්න වගේ ජීවිතේ මහ උගුලක් මචන්. අපි ඒ උගුලේ පැටලිල ඉවරයි. බලමු මචන්. ගොඩක් වෙලාවට හුඟක් ප්‍රශ්න කාලයා විසින්ම විසඳනවා. මන් විස්වාස කරන දෙයක් තියෙනවා. අදරේ සත්‍යයක්නම් ඒ ආදරේ කවදාවත්ම පරාද වෙනෙන් නෑ. මන් අද ජීවත් වෙන්නෙත් අන්න ඒ විස්වාසෙ මත.

රවා said...

මචන් හදිස්සියෙන් උනත්.. කමක් නැහැ මම උබට සිංහලෙන්ම ලියනවා. හිතන්න ක්‍රම දෙක තුනක් තියනවා..
1. කඩාගෙන ඉස්සරහට යැම.
2. ආපස්සට හැරිම
3. නතර වී බලන් සිටිම

කඩාගෙන ඉස්සරහට යැම
මම දැකලා තියනවා. කිපදෙනෙක්ම ජිවත් වෙනවා. නමුත් දෙමව්පියන්ගෙ අශිර්වාදය නැහැ. මෙක ටිකක් බරපතලයි. දෙමව්පියන් හරිම පුදුම මිනිස්සු.. මොන දෙ වුනත් මතක තියාගනින් දවසක උබත් එ තැනට එනවා කියලා.. උන්ගෙ මොලවලිනුත් කල්පනා කරපන්.

ආපස්සට හැරිම
මෙක නම් කරන්න එපා කියලා කියන්නෙ.. අන්තිම හුස්ම දක්වා ම සටන් කරපන්.. අදහස් වෙනස් කරගන්න එපා..ඔන දෙයක් වෙනස් කරගනින්.. සමහර විට අන්තය යහපත් වුන හැකියි මෙහෙම ගියොත් , නමුත් සතුටක් නැහැ, ගෙමක් නැහැ.. එහෙම බැහැ දුශ්ඨයො නැති ව වැඩක් නැහැ.. අත නම් හරින්න එපා.. අල්ලන් හිටපන්.. උඹ මෙක අතහරිනවා කියන්නෙ උඹ ඉස්සරහටත් අතහරින්න පුරුදු වෙන්නෙ.. ජොබ් එකක් නම් කමක් නැහැ...යකො මෙක ලේවල දුවන දෙයක්නෙ ආදරෙ කියන්නෙ.. එහෙම අතහැරලා බැහැ.. අල්ලන් හිටපන්

නතරවී බලන් ඉදිම..
මෙක තමයි මම දැනට කරන්නෙ..වෙදනාව අන්තිමට ඉතුරු වෙන්න පුළුවන්, අවදානම්ක් තියනවා.. කෙල්ලව විස්වාසනම් කරන්න වැඩක්. දෙමව්පියන්ගෙ හිතුත් වෙනස් වෙනවා කාලෙත් එක්ක. ග්‍රහයින්ව විස්වාස කරන්න බැහැ. එත් මිනිස්සුන්ව ඉට වැඩිය විස්වාස කරන්න බැහැ..හරිම අමාරු දෙයක්

මගෙ හිතනම් කියන්නෙ මොන බයිලයක් වත් ඔනා නැහැ කෙල්ලව අරන් වරෙන් කියලා. ජොබ් එකකුත් තියනවානෙ.. තව මොනවද..හිමිට හිමිට පොඩි පැලක් කොහෙන් හරි අටව ගත්ත හැකි.. හැබැයි කෙල්ලව සුවර් කරන්න පුළුවන් වෙන්න ඔනා.. දැන් තියන තත්වය අනුව එක හරිම අමාරුයි නෙද.. වෙව්ල වෙව්ල තිරණ ගන්න බැහැ... ඇසිඩ් පාරක් කාලා හරි කමක් නැහැ තමුන්ගෙ ආදරෙ අරමුණ කරා යන්න.. උඹ ඔහොම හැකරැල්ලා වගෙ ඇඹරි ඇඹරි ඉදලා හරියන්නෙ නැහැ .. උඹ අම්මටයි තාත්තටයි තෙල් ගහන්න උඹට පුළුවන් නෙ... ටිකක් බරට ඇහැට කනට පෙන යහලුවෙක්ව දැන් නිතරම ආස්සරය කරපන්.. දෙමව්පියන්ගෙ ආශිර්වාද්ය වැදගත් කිව්වට.. කෙල්ලගෙ තාත්තාගෙ ආශිර්වාදය වැදගත් නැහැ... කෙල්ලගෙ අම්මත් එහෙම කෙනෙක් නම් උන්ගෙ අම්මගෙ අශිර්වාදයත් වැදගත් නැහැ. කන්න ඔනා වෙනකොට කඹරගොයාත් තලගොයෙක් වෙනවා.. එකෙ වැරැද්දක් නැහැ.. හරි වැරදි කියලා දෙයක් නැහැ.. උස්සන් වරෙන් මොන බොලයක් හරිකමක් නැහැ.. උඹ කරන දෙයක් කරපන්...

හැබැයි දවසක උඹ කල්පනා කරද්දි " අනේ එදා මම මෙහෙම කරා නම්.... " කියන දෙ හිතට කවදාවත් නොදැනෙන්න තියන්න ඔනා.. එක හරිම විඳවන්න අමාරු දෙයක්.. මම එක විඳවන ගමන් ඉන්න එකෙක්.. එක හරිම අමාරුයි..උඹට එහෙම නොවෙවායි මම පතනවා..
ලියපන් බන්... ලියන එක නතර කරන්න එපා මොනවා වුනත්...

හෙළයා said...

සන්සරසිඳු සහෝ. මම මේල් එකක් තිබ්බා. බැලුවද ?

නිලන්ත පියසිරි said...

මල්ලී, ඕක අපි බොහෝ දෙනෙකු ගේ කතාව, උත්සහය කරපන් උපරිම. හැබැයි, අපට ජීවිතේ වෙන්න ඕනෙම දේ තමයි වෙන්නේ. උපරිම උත්සහ කළාට පස්සේ පැරදුනත් කමක් නැහැ, එතකොට කවදාවත් දුකක් නැහැ, මොකද? කරන්න පුලුවන් හැම දෙයක්ම කළා කියලා දන්න නිසා.

Anonymous said...

Oya wage sulu deyakata acid gahanna katha karana pawulakata sambanda wenawata wada hondai wen wena eka. Nathanam ubatama issarahata acid gahaganna wenne.

මින්දද said...

දෙයක් කියන්න මම හොදටම පරක්කුයි.. ඒත් නොකියා බැහැ.

අද දවස ගෙවිලා යාවී. නමුත් තව කාලෙකට පස්සෙ අද දවසේ අපි කරන කියන දේවල් ගැන අපි අපෙන්ම ප්‍රශ්න කරන දවසක් එනවා. ඒක හින්දා සහෝ ඔයයි දන්නෙ ඔයා ඉන්න තත්ත්වය. ඔයාට පුළුවන්නම් ඔයාගෙම හිතත් එක්ක කතා කරලා තීරණයකට එන්න. එතකොට කවදහරි දවසක ඔයා ඔයාගෙ හිතින්ම අහන "ඈයි මම එදා එහෙම දෙයක් කලේ..." කියන ප්‍රශ්නයට උත්තරයක් තියේවී.

ඒ හින්දා මචන්... උඹ උඹෙන් අහපන් " මම මොකද්ද කරන්න ඕනේ.." කියන එක. හිත කියන දෙය කරපන්. උඹට කවදාවත් වරදින්නෙ නැහැ.

මම said...

තිස්ස අයියේ...
අනේ හපොයි ඔයාගේ කතා කියවලා මට නම් මැරෙන්න හිනා.අනේ මංදා අයියේ හරි සතුටු හිතෙනවා ඔයාලව කියවපුවම.මං මේ sansarasidu අයියා කව්ද බලන්න අවේ ඔයාගේ ලිපිය කියවලා.

මම said...

sansarasidu අයියේ...
මට නම් ඔයාට උපදෙස් දෙන්න තරම් අත්දැකීමක් නෑ.ඒත් ඔන්න ඔයාව බලලා යන්න මං ආවා.මේ හැමෝම අයියලා අක්කලා ඔයාට උපදෙස් දෙන්නේ.ඒ අතරිනුත් ඔයාට හොදයි , පසුතැවීමක් කවදාවත් නැහැයි කියලා හිතෙන තීරණය ක්‍රියාවට නගන්න.
මොනා උනත් බයවෙන්න දෙයක් නෑ බලන්න අයියත් එක්ක කී දෙනෙක් නම් ඉන්නවද?

මම said...

තිස්ස අයියේ.....

හප්පොච්චියේ මැරෙනකම් හිනා උනැකී ඔයාගේ මේ කතාවලට අයියේ.අනේ මංදා හරි පුදුමයි ඔයාලා වගේ මිනිස්සුත් ඉන්නවා නේද කියලා හිතෙද්දී..මං ඔයාගේ පිටුවට ගියපු වේලාවේ ඒක කියවපුවාම හිතුනා sansarasidu අයියා කව්ද කියලා බලන්න එන්න.කොහොම උනත් ඔයාලා ලියන ඒවා කියවන්න ලැබීම උනත් පිනක් කියලයි මම නම් දකින්නේ...

- නිල් අහස - said...

උඹ කරදරේ වැටුන වෙලාවේ, හොයලා බැලුවේ නෑ කියලා..මා එක්ක තරහා වෙන්න එපා.
අදයි මම මේ post එක දැක්කේ.
මාත් පහුගිය දවස්වල වගේම තාමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක.

දුකයි..මචං..උඹල දෙන්න ගැනම..හුඟක්.
ඇයි හොඳ මිනිස්සුන්ටම මෙහෙම වෙන්නේ.

කොහොම උනත් ඉක්මන් වෙන්න එපා.
දැන්ම කිසිම තිරණයක් ගන්නත් එපා.
කහ කිරිල්ලිගේ ආදරේ විශ්වාස නම්..කලබල නොවි කාලයට ටිකක් ඉඩ දීලා බලන්න.

හමු නොවුනට, කතා නොකලට හිතින් ආදරය කරන්න.
සැබෑ ආදරය ජය ගන්නවාමයි.
සමහර විට ටිකක් කල් යාවි.
ආදරේ නාමයෙන්..ඒ කාලය ඉවසන්න.

උඹට කහ කිරිල්ලි..ලැබෙනවාමයි...!!!!!!!!!!!!!

කල්පනාවෙන් වැඩ කරන්න...මල්ලී.

තනෝජා රාජපක්‍ෂ said...

තිස්ස මහත්මයාගේ බ්ලොගයෙන් තමා මමත් ආවේ.....

හැබැයි ඔය ආවේගශීලී වචනවලට නම් මම කැමතිම නැහැ... අනුරාධ එක්ක 100% ක් එකඟයි... එදා මම .....

තාත්ත එයාලගෙ ගෙදර ගියා... ආවෙ අඩි පොළොවෙ හප්පගෙන... “උඹටනම් පුතේ එහෙ ඉන්න බැහැ“ මම ඇඩුවා පුළුවන්තරම්... තාත්ත දත්මිටි කනවා.. කේන්තිය වැඩි කමට එයාට වචන පිටවෙන්නෙත් නැහැ... “තාත්ත අකමැති දෙයක් මම කරන්නෙ නැහැ තාත්තෙ“ අකුරෙන් අකුර කියවුනා... තාත්ත නිහඩවන්න ඒ වචන ටික බලපෑවා.

එයා මට තීරණයක් ගන්න කිව්වා... “මට තාත්තත් ඕන.. තාත්ත මේකට කැමති වෙන්න ඕනි, එයාවත් ඕන.. එයා මේක නවත්තන්න ඕනි.. නැත්නම් දෙන්නටම නැතිවෙන්න යනව යන්න කොහේ හරි“ ගත්ත අවසන් තීරණය අම්ම බයවුනා.. කථා කළා තාත්තට.. ඒකිගෙ උසට ගැලපෙන්න එකෙක් අපි කොහොම හොයන්නද? තාත්ත කල්පනා කළා.. කැමැත්ත දුන්නා... බන්දල දුන්නා... හැබැයි පිටත්වෙලා යනකොට කළා හොඳ ප්‍රකාශයක්...
“කවදාවත් රණ්ඩුවෙලා නම් මේ ගෙදරට එන්න බැහැ“

අනේ මල්ලියෝ(පුතේ) මම දැන් කෙල්ලොම දෙන්නෙක්ගෙ අම්මෙක්... අපි රණ්ඩු වෙනවා... සමහර දේවලට... ඒත් තාත්තගෙ අවසන් වාක්‍යය මතක් වෙනවා.. හඳහන්වල තියෙන්නේ අපි වෙන් වෙන්නළු..තාම එහෙම වෙලා නැත්තෙ පෙර පිනකටළු.. පෙර පින මොකක්ද කියලා වැටහෙනවා ඇතැයි හිතනවා...

කවදාවත් අම්මෙකුට, තාත්තෙකුට දුකක් දෙන්න එපා.. ඒක පලදෙනවා දෙනවාමයි... කවදහරි... එයාල හරි වුනත් වැරදි වුනත්... කලබල වෙලා ඉක්මන් තීරණ ගන්න එපා.. ඇඩුවට කමක් නැහැ.. මම දැන් අම්මෙක් පුතා.. ඒකයි මෙහෙම කියන්නේ.. කසාදයකට රස්සාවයි ආදරයයි විතරක් තිබිල මදි... මම මගේ තාත්තගෙ දුවක් වීම පිළිබඳව පුදුම ආඩම්බරයක් තියෙන්නෙ.. මට මෙතන ලියන හැමෝම බනීවි... සද්ද නැතිව යන්න බැරි නිසයි මේ ටික කිව්වෙ..

කහකිරිල්ලිට කියන්න ෂේප් එකේ අම්මව නම්මගන්න... ඕනම ගැහැණු කෙනෙකුට පුළුවන් ඔය සද්දන්ත වැඩ, වචන වෙනස් කරන්න... තේරුනානේද? හදවතින්ම දෙමාපිය ආශිර්වාද මැද ඔයාලට එකතුවෙන්න ලැබෙන්නයි පතනවා!!!!

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

මල්ලියා... ජීවිතේ පන්නරය ලබන්නේ බාධා වලින්ම තමයි. කෙනෙක් ලබා ගන්න ඔය තරම් දුක් විඳින්නද අවශ්‍ය ද..? කියලා දෙපාරක් හිතන්න. මගෙත් එක්ක කේන්ති ගන්න නම් එපා... ජීවිතය විඳින්න.. විඳවන්න එපා...

කිසි වරදක් නොකරපු දෙදෙනෙක් ගේ ආදරය දෙදරා යන එක දුකයි තමයි... ඒත් සාලිය-අශෝක මාලා, ලයිලා-මජ්නු වගේ වෙන්න කියලා නම් මං කියන්නේ නෑ...

ඉක්මනින්ම යථා තත්වයට පත්වෙන්න ඔබට අවශ්‍ය දිරිය ලැබේවා කියලා මං පතනවා....

ස‍රා said...

අඩෝ අද තමා තිස්ස අයියගෙ පිටුවෙ දැක්කේ සීන් එක.. හිතට ශක්තිය ගනින් මල්ලි.. කොන්ද කෙලින් තියන් තීරණයක් ගනින්.. එච්ච‍රායී.

sansarasidu said...

වැප්, විශ්මි නංගියා, Raven, හා පැටික්කි (MS), freedom, චතුරංග රූපසිංහ, මම, මිස්සක, Naya, wath, Ansh Lucky Sri Jay, විහඟිගේ සිතිවිලි, හෙළයා, මාරයියා, මිගාර, අනුරාධ, රවා, නිලන්ත පියසිරි, Anonymous, මින්දද, නිල් අහස, තනෝජා අක්කා, චතුර විජේකෝන් වගේම සරා...

අන්තයටම හිත බිඳිල හිටපු වේලාවක මගේ හිත ළඟ තනි රැක්ක හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි..

අම්ම කෙනෙක් වගේ මං ගැන හොයා බලපු nimanthi අක්කත්, මගේම සහොදරියෝ වගේ මට උපදෙස් දුන්නු දිල් අක්කා, චේජනා අක්කා වගේම RanDil අක්කවත් බොහොමත්ම ආදරයෙන් සිහිපත් කරනවා...

තිසා අයියා, සුලා අයියා වගේම දුකා අයියාටත් බොහොමත්ම පින්...
SRI MANJULA අයියව කොහොම අමතක කරන්නද ?
අයියගෙ කවිපද ටික මට කට පාඩම් …

“පසුවට කළ හැකිය ‍ඔය අප්පා මෙල්ල
පස්සට නොයා ප්‍රශ්නෙට දාපං බෙල්ල
අප්පට බයේ ගැහෙනා ඔය පොඩි කෙල්ල
උස්සාගෙන වරෙන්! විත්, දාපං තැල්ල ”

අයියටත් ගොඩාක් ස්තූතියි !
දෙමාපියන්ගෙ හිත් රිදවල එක් වෙන්න අපේ කැමැත්තක් නැති හින්දයි වෙන් වෙන්න තීරණය කළේ. මොනව වුණත් මං සටන අතහැරල නෑ... Raven කිව්ව වගේ අන්තිම මොහොත වෙනකම්ම සටන අතහරින්න මගේ අදහසක් නෑ... Time is the healer කිව්වලුනෙ... ඉතින් කාලයට ඉඩ දීල මං බලාන ඉන්න තීරණය කළා...

@ හෙළයා,
අයියේ ඔයාගේ mail එක නම් මට ලැබුණෙ නැහැ.. මොනව වුණත් මගේ දුක බෙදාගන්න වගේම මගේ හිත හදන්න උත්සහ කරපු ඔබටත් බොහෝම ස්තූතියි !

අවසාන වශයෙන් ඔබට සැමදෙනාමට පිළිතුරු දෙන්න මෙච්චර කාලයක් ගත්ත එකට මට සමාවෙන්න..
තවත් ඒ ගැන ගොඩක් කතා කරන්න අකමැති හින්දම හැමෝටම ස්තූතියි කියන ආත්මාර්ථකාමි වචනයෙන් විතරක් සංග්‍රහ කරන්නම්...

Anonymous said...

ubata ubee adaree viswasana 1ka kiyana de ahapan

ගයාන් තාරක said...

සන්සරසිඳු මම මේක කලින් දැක්කෙ නැහැ. කට්ටියම කලින් උපදෙස් දීල නෙව. මෙහෙම බුදු ෆීට් සෙට් එකක් දැක්කමද කොහේ. අන්තර්ජාලයෙන් හමුවෙලා එකිනෙකා නොදැක මෙච්චර ලඟින් ඇසුරක් පැවැත්වීම හරිම පුදුම දෙයක් නේද? ඊළඟ හමුවෙදි අනිවාර්යයෙන් කට්ටියම හම්බෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මම මෙතනට ආවේ මෙන්න මේකෙන්. http://www.google.com/search?q=%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%94%E0%B6%B8%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F මේක මිස් උනේ නෙට් නැතිව මාසයක් විතර හිටපු නිසා වෙන්න ඇති.

indik said...

@sansarasidu :
මචන් මම අදයි මේක දැක්කෙ. මම උඹට එක දෙයක් කියන්නම්. උඹ ඕක නැවැත්තුවොත් ඒක ගැන උඹ හැමදාටම පසුතැවෙයි. උඹට ආයෙ ආදරයක් ගැන හිතන්නවත් බැරිවෙයි.
මම මෙහෙම කියන්නෙ මගෙම අත්දැකීම් වලින්. මම මේ ඉන්න තත්වෙට තවත් කෙනෙක් පත්වෙනවට මගෙ කිසිම කැමැත්තක් නැහැ. උඹ හිතනවනම් උඹට එයාත් එක්ක ඉන්න පුලුවන් කියල වෙන දේවල් ගැන වදවෙන්න එපා. අනිත් හැමදෙයක්ම කාලයත් එක්ක විසඳෙයි...

indik said...

@sansarasidu :
මචන් මම අදයි මේක දැක්කෙ. මම උඹට එක දෙයක් කියන්නම්. උඹ ඕක නැවැත්තුවොත් ඒක ගැන උඹ හැමදාටම පසුතැවෙයි. උඹට ආයෙ ආදරයක් ගැන හිතන්නවත් බැරිවෙයි.
මම මෙහෙම කියන්නෙ මගෙම අත්දැකීම් වලින්. මම මේ ඉන්න තත්වෙට තවත් කෙනෙක් පත්වෙනවට මගෙ කිසිම කැමැත්තක් නැහැ. උඹ හිතනවනම් උඹට එයාත් එක්ක ඉන්න පුලුවන් කියල වෙන දේවල් ගැන වදවෙන්න එපා. අනිත් හැමදෙයක්ම කාලයත් එක්ක විසඳෙයි...
ජයම වේවා!!!

Anonymous said...

kisima dawasaka kisima demapiyekuta ridawa labala satuta tamanta parawallak wanu atha!!!!.. kalayata ida di semin nuwanin dahamin kala uthu de karamin idiriyata yanna... eka sithin , kisida novaradivi.......

෴ හසියා ෴ said...

අනේ හෆෝයි......මුකුත් හිතාගන්න බෑ.....ඇත්ත නේන්න්ම කියවලා තියෙන්නේ මුල් කොටසනේ....මේ බවක් ඉස්සෙල්ලා දැනගත්තනම් මම ලියපු කතාව කොහොමටවත් දාන්නේ නෑ....අනේ හෆෝයි...ම‍ට උඹ ගැන දුකයි බං අයියේ..... අම්මපා ඇඩුනා අයියේ.....

sansarasidu said...

පිස්සුද මල්ලී.. උඹේ කතාව කියෙව්වහම මට ආයේම හැමදේම මතක් වුණා... ඒකයි මං කිව්වේ උඹ මාව මගේ අනාගතයට ගෙනිහින් අතීතය හරහා වර්තමානයට ගෙනාවා කියල....

මටත් මොනව කරන්නද කියල හිතාගන්න බැහැ මල්ලි...
මං තාමත් කාලයට ඉඩ දීල බලාගෙන ඉන්නවා...

ස්තුතියි මේ පැත්තෙ ගොඩවැදිල ගියාට

ජබොස් said...

මේ පොස්ට් එක දැක්කෙ දැන්... ඒත් කතාව මට ගොඩාක් අදාල නිසා කමෙන්ට් නොකරත් බෑ පරක්කුයි කියලා...

අපි දෙන්න යාලු වෙලා අවුරුදු 4ක්... එහෙම යාලු වෙන්නත් ගොඩ කාලෙකට කලින් ඉඳන් අපි දෙන්නා ආදරේ කලා ඒක කියා ගන්න බැරුව... මොකද.. ඒ තිබුන බැඳීම නැතිකරගන්න අවදානමක් ගන්න බැරි වුනු නිසා... ගෙවල් වලින් මේ ගැන දැනගෙන ටිකක් කල් දැන්.. ඒත් එයාලා හරියටම මේ ගැන කතා කරල නැහැ තවම... කේන්දර කියන එක ටිකක් බලන නිසා අපි වේලාසනම ගියා ඒකත් බලාගන්න... ඒත් කිව්වෙ අපි නොහිතපු දෙයක්... කේන්දර දෙක බලලා ඒ මනුස්සය කිව්ව මේක කොහොමටවත් කරන්න එපා කියලා.. කලොත් මාව විවාහයෙන් අවුරුදු කීපයකට පස්සෙ අනිවාර්යයෙන් මරෙනව කිව්ව... කොහෙත්ම ගැලපෙන්නෙ නැති කේන්දර දෙකක් කිව්වා... විවාහයකදි අනිවාර්යයෙන්ම ගැලපිය යුතු පොරොන්දම ලඟින්වත් ගැලපෙන්නෙ නෑ කිව්වා... තැන් දෙකකින්ම බැලුවත් කිව්වෙ ඔය කතාවම තමා...

අපි මේ ගැන විවෘතව කතා කලා... මොකද ගෙවල් වලින් කෙන්දර බලනකොට එන ප්‍රශ්න වලට මූණ දෙන්න දෙන්නගෙම එකම අරමුනක් තියෙන්න ඕනෙ නිසා... අන්තිමට අපි තීරණය කලා මොන දේ වුනත් ආපහු හැරෙන්නෙ නෑ කියලා... එදා ඉඳන් අපි දෙන්නම ගෙදර අයට නිතර ඔලුවට දානව වඩා වැදගත් වෙන්නෙ කේන්දර නෙවෙයි, දෙන්නගෙ අවබෝධය සහ ආදරය කියන එක... ඒක හුඟාක් සාර්ථක වුනා.. දැන් අම්මලා තාත්තලා අනිත් අයටත් උපදෙස් දෙනවා, කේන්දර නොගැලපුනත් දෙන්නට දෙන්න හුඟාක් ආදරේ නම් ඒකට ඉඩ දෙන එක තමා නුවණක්කාරම තීරණය කියලා... ඒ තත්ත්වෙට එයාලව ගේන්න මම ගොඩක් මහන්සි වුනා.. හුඟාක් දෙවල්, උදාහරණ පෙන්නුවා.. කවදහරි දවසක, අපේ කෙන්දර බලපුවහම අම්මලා ටිකක් දුක් වෙයි.. ඒත් හදවතින්ම ආශිර්වාද කරයි... කාලයත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙනවා අයියා... බලාපොරොත්තු නැති කරගන්න එපා... ඒත් එහෙම වෙන්න නම් දෙන්නම වෙනස් නොවෙන එක අරමුණක ඉන්න ඕනෙ...

කේන්දරෙ මැච් කරලා යාලු වෙන්නනම් ඉතින් යන යන තැන කේන්දරේ බෙල්ලෙ එල්ලගෙන යන්න වෙනවා... අනික මෙච්චර කේන්දර නොගැලපෙන දෙන්නෙක් මෙච්චර ආදරෙන් ඉන්නෙ කොහොමද කියන එක ප්‍රශ්නයක්.. කේන්දර කියන්නෙ ජීවිතේට ගයිඩ් ලයින් එකක් විතරයි අයියා... ඒක ජීවිතේ නෙවෙයි.. කොහොම වුනත් එදා කේන්දරේ බලලා මගෙ අතීතය, වර්තමානය ගැන කියපු අනිත් දෙවල් 100% ක් නිවැරදියි... එහෙම බැලුවම බොහොම ඉක්මනට තරුණ වයසෙදි මාත් මේ හැම දෙයක්ම දාල යයි... ඒත්... දුකින් මුළු ජීවිතේම ගත කරනවට වඩා, සතුටින් එක දවසක් ජීවත් වෙලා මැරුණත් සැපයි නේද.....?

sansarasidu said...

@ ජබොස්,

මාත් වේලාසනම කේන්දර දෙක බැලෙව්ව නංගි...
වෙන කවුරුවත් නෙමෙයි අපේ තාත්තමයි ගිහින් කේන්දර දෙක බලවගෙන ආවේ... බැලුවෙත් අපේ සීය කෙනෙක්... එයා කියල තිබුණ මධ්‍යස්ථයි කියල... මැරෙන කතා මුකුත් කියල තිබ්බේ නැහැ..

මාත් පුදුම වුණා එයාලගෙ පැත්තෙන් බලලා ඒ වගේ කතාවක් කිව්වහම...
මට හිතාගන්න බැරිවුණා මොනව කරන්නද කියල...
තාමත් එහෙමමයි... මං නම් හිතන්නේ නැහැ කවදාවත් ඒ තාත්තල අපේ සම්බන්ධෙට කැමැත්ත දෙයි කියල... මොකද එයාල ඒ හඳහන්කාරයෝ කියපු දේවල් දේව වාක්‍ය විදිහට අරගෙන තියෙන්නේ... ඔයා කරපු දේ කරන්න මං පරක්කු වැඩියි මයේ හිතේ...

"දුකින් මුළු ජීවිතේම ගත කරනවට වඩා, සතුටින් එක දවසක් ජීවත් වෙලා මැරුණත් සැපයි නේද.....? "

මට ඔයා ගැන ආඩම්බරයි නංගි...
ඔය වගේ තීරණයක් ගන්න ගොඩක් ශක්තිමත් හිතක් තියෙන්ඩ ඕන....
"කේන්දර කියන්නෙ ජීවිතේට ගයිඩ් ලයින් එකක් විතරයි අයියා... ඒක ජීවිතේ නෙවෙයි.. "
මාත් හිතන්නේ ඔයා හිතන විදිහටම තමා...

පරක්කුවෙල තියෙද්දිත් සටහනක් තියල යන්න තරම් සංවේදි වුණු ඔයාට බොහොමත්ම ස්තූතියි නංගියෝ....

ඒ වගේම ඔයාලගේ අනාගතයට මං මගේ මුළු හදවතින්ම සුබ පතනවා...

..ChAnDiKa.. said...

මම අදයි මේ කතාව කියෙවුවෙ.. මට මොනවත් කියාගන්න තේරෙන්නනෙ නෑ අයියා.. මට ඔයාගෙ මේල් එක එවන්න. gehanchandika@gmail.com

sansarasidu said...

@ ..ChAnDiKa.. ,
මල්ලී මං ඔයාට මේල් එකක් එව්වා..
දැන් නම් මගේ හිත ගොඩක් දුරට හැදිල...
ඒත්....

ඒත් බලාපොරොත්තුව කියන පහන් සිල නම් තාම නිවිල නැහැ...

sansarasidu said...

@ indik,
මට උඹේ කමෙන්ට් එක කොහොම මගහැරුණද මන්දා...
සමාවෙයන් ඒකට...

ගොඩක් ස්තූතියි සහෝ දිරිගැන්වීමට...

Post a Comment