සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

02 October 2010

දෙවියන්ගේ මිටි පහර | Hammer of the Gods

Image: Francesco Marino / FreeDigitalPhotos.net


රාත්‍රිය නිසලය. මහාචාර්ය ෆර්මන් ස්පෙන්සර්, ඔරායන් පසුපස දුවන මහබල්ලා දෙස සිය කාර්යාල කාමරයේ වීදුරු බිත්ති තුළින් බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරව ය. හදිසියේ ම ඔහුගේ සිහියට නැගුණේ තමන් මේ දකිමින් සිටින්නේ සමස්ත විශ්වීය ඉතිහාසය ම නොවේ ද යන්න ය. ඔහු සිය දෑත දිගු කර සීරියස් වෙතින් නික්මෙන නිල් පැහැ ආලෝකය දෑතට මිරිකා ගන්නට උත්සාහ කළේ නොදරුවෙකු මෙනි. ඉන්පසු, හිස බිමට නැඹුරු කර ගත් හේ දෑත් පිටුපසට කරගෙන කාර්යාල කාමරය පුරා එහාටත් මෙහාටත් සක්මන් කරන්නට වුයේ සිතිවිලි සයුරක කිමිදෙමිනි. සන්සුන් කර ගැනීමට කෙතරම් උත්සහ කළ ද ඔහුගේ සිත බෙහෙවින් නොසන්සුන් වී ඇත. ඔහුට දැනුණේ කාලය ගත වන වේගය වැඩි වී ඇති බවකි. පරිගණක වාර්තාව විශ්ලේෂණයට යවා පැය ගණනාවක් ගත වි ඇති බවක් දැනුණත්, සිය ඔරලෝසුව දෙස බැලු ෆර්මන්ට පෙනුණේ, තවමත් ගත වී ඇත්තේ අඩ හෝරාවකටත් අඩු කාලයක් බව ය. ඔහු ජීවිතයේ කිසිදාක මෙතරම් නොසන්සුන් වී නැත. තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘතියක් සම්බන්ධ වාර්තාවක්, මාසයක් දෙකක් ප්‍රමාද වුව ද ඔහු මේ තරම් කළබල නොවනු ඇත.

අවසානයේ සක්මන නවතා දැමූ හේ රූපවාහිනී දුරකථනය වෙත පිය නැගී ය. රිසිවරය අතට ගන්නා අතර ම කාර්යාල කාමරයේ ස්වයංක්‍රීය දොර විවර වන හඬ ඇසුණෙන් හැරී බැලු ඔහු දුටුවේ වාර්තාවත් අතැති ව කාමරයට පිවිසුණු ආචාර්ය කැඩිලැක් ස්වර්ණසිංහ ය. සිය සහයකයාගේ මුහුණේ නිතර රැඳෙන සිහින් සිනහව අතුරුදන් වී, ඒ වෙනුවට එහි බැරෑරුම් දුක්මුසු පෙනුමක් රැඳී ඇති බව දුටු මහාචාර්යවරයාට සිතුණේ, තමා දැන් අසන්නට යන්නේ, සිය ජීවිත කාලය තුළ අසන්නට ලැබෙන අමිහිරිම පුවත බව ය.

“එහෙනම් ඒක ඇත්තක් !”
ෆර්මන්ගේ වෙව්ලන හඬ කාමරය පුරා දෝංකාර දෙන්නට විය.

“ඔ..ඔව්... අපි හිතුව විදිහට පරිගණකවලට වැරදිලා නැහැ. මං වාර්තාව ස්වාධීන පද්ධති හතරකින්ම විශ්ලේෂණය කළා... ඇත්තටම මට කණගාටුයි ෆර්මන්.. දැන් ඒක එන්නෙ මෙහාටමයි”

මහාචාර්ය ෆර්මන්ට කිසිවක් කියාගත නොහැකි විය. හෙතෙම අසළ වූ අසුනකට බර වුයේ දිගු සුසුමක් හෙළමිනි.

* * * * * * *


ඔවුන් ගොඩාර්ඩ් පාලන මැදිරිය තුළට පිවිසෙන විට ද එහි බොහෝ පිරිසක් රැඳී සිටිය හ. පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීන් මෙන්ම පාලන මැදිරියේ කටයුතු බාර නිලධාරීන් ද ඒ අතර විය.

“සේරම හරි ද... ?” ෆර්මන්, පාලන මැදිරි ප්‍රධානියා විමසී ය.

“හරී සර්.. නිකුත් කිරීමට තව මිනිත්තු තුනයි..”
පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘති ප්‍රධානියා මොහොතක් සිය ඔරලෝසුව දෙස බලා සිටියේ ය. දැන් නම් කාලය ගත වන්නෙ ඉතා සෙමින් යැයි ඔහුට සිතේ.

“පද්ධති පරීක්ෂාව සම්පූර්ණයි... ටයිටන් V නිකුත් වීමට සියල්ල සුදානම්.” ඒ පවර් 3000 කෘතිම බුද්ධිය මගින් මෙහෙයවන ස්වයංක්‍රීය පරිගණකයයි.

තවත් මොහොතක් සිය ඔරලෝසුව දෙස බලා සිටි මහාචාර්යවරයා අවසන් විධානය ලබා දුන්නේ ය.
“පසු ගණනය අරඹන්න...”

“පසු ගණනය අරඹනවා... දහය... නවය... අට.... හත... …. … තුන.... දෙක... එක..... එන්ජින් ක්‍රියාත්මකයි... ටයිටන් V නිකුත් වුණා...”
ස්වයංක්‍රීය පරිගණකයේ හඬ, මහාචාර්ය ෆර්මන්ට දැනුණේ සිහිනයක දී ඇසුණු හඬක් ලෙස ය. ඈත දුම්රොටු අතරින් ඉහළ නගින න්‍යෂ්ටික අවිය වාහක රොකට්ටුව දෙස, දෙනෙතිය තුළින් ඔහුගේ දෑස් යොමුවී තිබිණ. ඔහුට හැඟුණේ ඒ ඉහළ නගින්නේ න්‍යෂ්ටික අවියක් නොව සමස්ත මානව වර්ගයාගේම එකම බලාපොරොත්තුව බව ය.

“නිකුත් වීම සාර්ථකයි... අවසන් මග සැකසුමට තව මිනිත්තු 17 යි...”
පරිගණකයේ යාන්ත්‍රික හඬ නැවතත් ඇසෙයි... ෆර්මන් දෙනෙතියෙන් සිය දෙනෙත් මෑත් කර ගත්තේ ය. ඔහුගේ දෙනෙත් කැඩිලැක්ගේ දෙනෙත් හා ගැටුණේ ඒ අවස්ථාවේ දී ය. සිය සහායකයාගේ දෙනෙත් තුළ නලියන වේදනාව පසක් කර ගන්නට මහාචාර්යවරයාට එම බැල්ම ම ප්‍රමාණවත් විය. ඔහුට මෙන් ලතවෙන්නට තමන්ට ද පවුලක් නොසිටීම ගැන සිතා සතුටු විය හැකි දැයි ෆර්මන් තමන්ගෙන් ම අසා ගත්තේ ය.

බොහෝ කල් පසු වී හඳුනාගත් AE 19201, ඒ වන විට ද පැවතියේ බ්‍රහස්පතීගේ කක්ෂය පසු කරමිනි. පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘති නිලධාරීනට සැනසුම් සුසුමක් හෙළන්නට හැකි වුයේ AE 19201 හි ගමන් මග අනාවරණය කර ගත් පසුව ය. එය නොසැලකිය යුතු තරම් දුරකින් පෘථිවිය පසු කර යන බව දැන ගත් නිසා අනතුරක් ගැන සිත් යෙදවීමට හේතුවක් ඔවුනට පෙනුණේ නැත. AE 19201 යනු තවත් අපූරු ගවේෂණ වස්තුවක් පමණක් විය. බැලූ බැල්මට පෙනෙන්නට තිබුණේ සියල්ල හොඳින් සිදු වන බවකි. එහෙත් සියල්ල කණපිට හැරුණේ ඊළඟ මොහෝතේ දී ය. කිසිවකුත් අපේක්ෂා නොකළ අවස්ථාවක අයාලේ යන ග්‍රහකයක්, AE 19201 හා ගැටුණි. දැවැන්තයා කැබලිවලට කඩා දැමීමට තරම් එම ගැටුම ප්‍රමාණවත් නොවූ නමුදු සිදු විය හැකි නරකම දේ සිදු වෙමින් පැවතිණි. දැවැන්තයාගේ නව ඉලක්කය වූයේ ග්‍රහ මඬලේ තෙවැන්නා ය. උණුසුම හා සීතල අතර ඉතා පටු තීරයේ ඉතා සුරක්ෂිතව කැරකෙමින් තිබු මිහි මඬලට, වසර මිලියන 65 කට පසුව නැවතත් අහසින් එන තර්ජනයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ. ගිය වර එය සිදු වන විට මිහිමත රජකළේ දැවැන්තයින් වුව ද මෙවර ඊට මුහුණ දෙන්නේ.....
ෆර්මන්ගේ සිතිවිලි දැහැන බිඳී ගියේ නැවත අවදි වු පරිගණකයේ හඬිනි.

“අවසන් මග සැකසුමට තව මිනිත්තු 02 යි...”
තත්පර කිහිපයක් ගත වන්නටත් මත්තෙන් නැවතත් පරිගණකයේ හඩ අවදි විය. එහෙත් මෙවර එහි වූයේ හදිසි තත්වයක් හඟවන ස්වරයකි.

“අපට පොඩි ප්‍රශ්නයක් තියෙන බව පේනවා.... ඩෙල්ටා B2 පද්ධතියේ දෝෂයක් පෙන්නුම් කරනවා...”

“ඩෙල්ටා B2....? දෙයියනේ ඩෙල්ටා B2.... මග සකසනය..?”
පාලන මැදිරියෙ දර්ශක දෙස නෙත් හෙලූ මහාචාර්යවරයාට එයම කියැවිණි... එකිනෙකා අතර කසුකුසුවක් පැතිර යත්දි පාලන මැදිරි ප්‍රධානියා වහාම ක්‍රියාත්මක විය.

“පවර් 3000... වහාම වාර්තා කරන්න... ඔබ දෝෂය සොයා ගත්තාද...?”
පරිගණකයේ හඬ අවදි වන්නට ගත වූ තත්පර ගණනාවේ ප්‍රමාදය ඔවුනට දැනුණේ පැය ගණනාවක් ලෙසිනි.

“ආචාර්ය ඕ නීල්... ඩෙල්ටා B2 පද්ධතිය ක්‍රියා විරහිත වෙලා... මට එය නැවත පණ ගන්වන්න බැහැ..”

මුළු පාලන මැදිරිය පුරාවටම පැතිර ගියේ, ඇට මිදුළු තුළට කාවදින තරමේ නිහැඬියාවකි....

ඒ නිහැඬියාව පුපුරාගියේ පාලන මැදිරි ප්‍රධානියාගේ බිඳුණු හඬිනි.
“පවර් 3000, මේක ඇත්තක් වෙන්න පුළුවන් ද ? අපිට පුළුවන් නේද තව පාරක් උත්සාහ කරන්න...”

“මට කණගාටුයි.... එය කළ නොහැකියි...”

ඇති වුණු කම්පනය දරාගත නොහැකිව ආචාර්ය කැඩිලැක් සිය නළලෙහි දෑත ගසා ගත්තේ ය. පාලන මැදිරියේ නිලධාරිහූ එකිනෙකා වැළඳගෙන කඳුළු සලන්නට වූහ. අපේක්ෂාභංගත්වය, වේදනාව සමඟ මුසු වී පාලන මැදිරිය, ඉකිබිඳුම් හඬින් පුරවාලී ය.

Image: jscreationzs / FreeDigitalPhotos.net

පරිගණකයේ හඬ වෙනුවට මෙවර පාලන මැදිරියේ දර්ශන තිර මත සටහන් වූයේ, ග්‍රහකයේ නොගැටී ඉන් ඉවතට ඇදී යන න්‍යෂ්ටික අවියේ පරිගණක ආකෘතියකි. මහාචාර්යවරයා දර්ශන තිරය දෙස බලා සිටියේ සෙල්රුවක් මෙන් නිසලව ය. ඔහුට දැනුණේ අවසානය එළඹ ඇති බව ය.

* * * * * * *


ගණනය කිරීම්වලට අනුව නම් AE 19201 පෘථිවි පෘෂඨය හා ගැටෙනු ඇත්තේ බුෂ් චතුරස්‍රය අසළ දී ය. දෛවයේ සරදමකට මෙන් පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යාලයත්, බුෂ් චතුරස්‍රයත් පිහිටියේ එකිනෙක පෙනෙන තරම් දුරිනි. අවසානය එළඹෙත් දී සිය කාර්යාල කාමරයට ම වී සිටින්නට ෆර්මන් කල්තියාම තීරණය කොට තිබිණ. සෑම දෙයටම තමා වගකිව යුතු යැයි යන වරදකාරී හැඟීම ඔහුගේ සිත පෙළමින් වද දෙන්නට විය. සියලු ප්‍රධානීන් ඉවත් කර ගැනීමට එවා තිබූ අවසන් හෙලිකොප්ටරයට පවා ගොඩවීම, ෆර්මන් ප්‍රතික්ෂේප කළේ එහෙයිනි... ආරක්ෂාකාරී යැයි හැඟෙන ස්ථානයකට යන්නට ඕනෑතරම් අවකාශ තිබියදීත් ආචාර්ය කැඩිලැක් සිය ප්‍රධානියා හා එකම මිතුරා අතහැර දමන්නට අකමැති වූයේ ය. වියෝ දුක කෙතරම් දැඩි වුවද අවසානයේ තමන්ගේ අවස්ථාව, සිය ආදරණීය බිරිඳටත්, සිඟිති දියණියටත් ලබා දෙන්නැයි ඔහු දැඩිව ඉල්ලා තිබිණ. එහෙත් මේ මිහි මත එවන් තැනක් ඇත්දැයි ඔහු පවා දැන සිටියේ නැත.

සිය සහායකයා ද සමඟ කාර්යාල කාමරයේ වීදුරු බිත්ති අසළ හිඳගෙන කෙමෙන් ළං වන මරණය අපේක්ෂාවෙන් දෑස් දල්වාගෙන සිටි ෆර්මන්, ඈතින් පෙනෙන බුෂ් චතුරස්‍රය දෙස නෙත් හෙළුවේ තමා මේ හැම දෙයක් ම දකින්නේ අවසන් වරට නොවේදැයි සිතමිනි. මේ වන විටත් ජනපදයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති නොසන්සුන්කම ඔහුට මැවී පෙනෙන්නට විය. තදබද වූ අධිවේගී මාර්ග...දුම්රිය ස්ථාන... ගුවන් තොට... වරාය.... කෑකෝගසන කළහකාරී මිනිසුන්... ඒ සෑම මුහුණකම රැඳී ඇති අවිනිෂ්චිතතාව.... නොසන්සුන්කම... භීතිය... චිත්‍රාවලියක් මෙන් ෆර්මන්ගේ මනසෙහි ඇඳෙන්නට විය.

මහාචාර්යවරයාගේ සිතුවිලි දැහැන බිඳිගියේ, ඔහුට සමීප වූ කැඩිලැක් ඈතින් වූ යමක් දෙසට ඇඟිල්ල දිගු කර පෙන්වත් දී ය. කවුළුවට තවත් ළං වූ ෆර්මන් එදෙසට දෙනෙත් මෙහෙයවි ය.

“මං හිතන්නේ ඒ ලෙවිතාන්... දෙවියනේ... මිනිහ අර මොනව ද කරන්නේ...?”

බුෂ් චතුරස්‍රයට නුදුරු තණ පිටිය එක ම හිස් ගොඩකි. ආචාර්ය සෙර්ගෙ ලෙවිතාන් සහ ඔහුගේ දහස් සංඛ්‍යාත භාවනානුයෝගී සිසු සිසුවියෝ එහි රැස් වි සිටිති. ෆර්මන්ට එක් වරම සිහියට නැගුණේ, පැය 0500 ට රැස් වුණු මහා මණ්ඩල රැස්වීමේ දී ලෙවිතාන් කළ යෝජනාව ය.

“ටොන් දහස් ගණනකට අධි මානසික බලය යොදා....” ඒකමතිකව ප්‍රතික්ෂේප වූ යෝජනාව සිහි වූ ෆර්මන්, “මිනිහට නම් ඇත්තටම පිස්සු...” යැයි කිවේ කැඩිලැක් දෙසවත් නොබලමිනි.

ඇමෙරිකාවට ඉහළ අහසින් මතු වූ ගිනි බෝලය, සූර්යයාට ද වඩා දීප්තිමත් වන්නට ගත වූයේ සුළු මොහොතකි. දරා ගත නොහැකි ආලෝකය නිසා කැඩිලැක් මෙන් ම ෆර්මන් ද කවුළුවෙන් ඉවතට ඇදුණේ අවසන් වරට එකිනෙකා වැළඳගෙන සමු දෙමිනි...

“ෆර්මන්ට මතකද කවුද කියල තිබුණ... ඩයිනොසරයින් වඳ වුණේ, එයාලට පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියක් නොතිබුණ නිසා කියල... දැන් කියන්න වෙන්නේ හෝමෝ සේපියන්ස්ලා වඳ වෙන්නේ එයාල ගාව පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියක් තියාගෙනයි කියල.. ”

ෆර්මන්ට සිනහ යන්නට ආවත්, බිය සහ වේදනාව විසින් එය ගිල ගනු ලැබිණ. සිය සහායකයාගෙන් සමුගන්නා ෆර්මන්ට සිහි වූයේ තමා කුඩා කළ අසා තිබූ දේවතා එළි පිළිබඳව ය. එසේ නම්, අවසානයේ දී ඒ දෙවියන්, මරණයේ මිටි පහර අහසින් එවා තිබේ.

“ඝට්ටනයට තව තත්පර දහයයි... නවයයි...” ඒ ස්වයංක්‍රීය පරිගණකයයි.

“මං දුක් වෙන්නේ මේ කෙහෙල්මල වහල දාන්න බැරි වෙච්ච එක ගැන... දැන් මැරෙන්න වෙන්නෙත් පසු ගණනය කර කර...”

“.... හතරයි... තුනයි.... ….. එකයි....”

ෆර්මන් දෑස් තරයේ පියාගෙන දෙවියන් සිහි කළේ ය. එය දැන් පෘථිවි පෘෂ්ඨය හා ගැටෙනු ඇත. පුර්වජ ඩයිනෝසරයින් මෙන්ම මානව ශිෂ්ඨාචාරය ද කාලයේ වැලිතලාවට යට වනු ඇත. පරම්පරා සිය ගණනක දහදිය මහන්සිය ක්ෂණයකින් අළු වී යනු ඇත....

තවත් තත්පර කිහිපයක් ගෙවී යනු ඔවුනට දැනුණේ, ඇට මිදුළු තුළට කා වදින තරමේ නිහැඬියාව අතරිනි. එහෙත් ඝට්ටනයේ කම්පනය තබා හඬක් වත් නැත. ෆර්මන් වහා කවුළුව වෙත දිව ගියේ ය. එය යාන්ත්‍රිකව මෙන් සිදු වූවකි.

ඔහුගේ දෑස් උඩ ඉන්දිණ. ඔහුට එවෙලේ සිතුණේ, තමන් මේ දකින දේ පැහැදිලි කළ හැක්කේ, නිව්ටන්ට ද නැතිනම් අයින්ස්ටයින්ට ද යන්න ය. රක්ත දීප්ත ටොන් දහස් ගණනක මහා ගල් කන්ද බුෂ් චතුරස්‍රය අසළට සෙමෙන් පහත් වෙයි. සුළු භූ කම්පනයක් ඇති කරමින් කිහිපවරක් පෙරළි ගිය එය බුෂ් චතුරස්‍රය අසළ නවතා තිබු මෝටර් රථ රැසක් ද යට කරගෙන නිසල විය.. ආචාර්ය කැඩිලැක් ද ඒ වන විට මහාචාර්යවරයා වෙත සමීප වී සිටියේ ය. ෆර්මන් වහා තණ පිටිය දෙස බැලී ය. මිනිස්සු එකිනෙකා වැළඳගෙන ප්‍රීති ඝෝෂා නගති. ලෙවිතාන් ඇතුළු භාවනානුයෝගීන්, තවමත් අත්වැල් අල්ලාගෙන සිටි ලෙසටම ය.

“දෙවියනේ එහෙනම් ඒක හරි ගියා.... දෙවියනේ ලෙවිතාන්.....”
ෆර්මන්ට කෑ ගැසිණ. ආශ්චර්යයෙන් මුසපත්ව කවුළුවෙන් පිටත බැලූ ඔහු දුටුවේ, තමා දෙස බලා ආචාර කරන ලෙවිතාන්ගේ නොපැහැදිලි සේයාව ය෴


පිදුම

nimanthi
අක්කාට !

මං ලකුණු ගෙන පාන..
උතුරු තරුවක් ලෙසින්...
සවිය විය නුඹ...
පන්හිඳෙහි තුඩඟ රැඳි...



| වර්ෂ 2004 පෙබරවාරි 04 වැනිදා "ළඟා නොවු අවසානය" නමින්, "විදුසර" විද්‍යා සඟරාවේ පළ වූ මෙම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව සන්සරසිදුගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි. මෙහි පළ වී ඇත්තේ සංස්කරණය කරන ලද නිර්මාණය බව සලකුව මැනවි.|

14 දෙනෙකුගේ අදහස්....:

චේජනා said...

මම මේක විදුසර පත්තරේ කියවල තියෙනව...මට පටන් ගනිද්දිම ඒ බව මතක් වෙන්න තරම මට මතක තිබුන කතාවක් මේක...

nimanthi said...

පන්හිඳේ සවිය ගෙන
අමුණන්න සිතුම් රැස
සොයා නෙක මානයන්
විහිදන්න දස අතට
සතුටුයි මට බොහොම
සුභ පැතුම්..!!හැමදාම

හා පැටික්කි (MS) said...

අයියාගේ පරණ ලියපු කතා ටික අපිට ආයේ දෙන්න වගේ හදන්නේ....... නියමයි......
නිමන්ති අක්කානේ ඕක දවසක් අයියට කිව්වේ.....

වැම්පයර් said...

අති විශිෂ්ටයි සෑර්.. නියමයි..

charmi said...

මටත් පොඩි මතකයක් තියෙනවා. විශේෂයෙන් මේ කෑල්ල.
“මං දුක් වෙන්නේ මේ කෙහෙල්මල වහල දාන්න බැරි වෙච්ච එක ගැන... දැන් මැරෙන්න වෙන්නෙත් පසු ගණනය කර කර...”
කදිම නිර්මාණයක්.

Jeew said...

මම නම් කලින් කියවල නැහැ. කියලා වැඩක් නැහැ. නියම විද්‍යා ප්‍රබන්ධයක්...

prasanna86k said...

ඇයි මනුස්පයෝ මේ කතාව මමත් කියවලා තියෙනවාවන්. එල තමා. අද ගිහින් හොයන්න ඕන පත්තරේ කොහෙද කියලා. මේකෙ තියෙන සමහර සීන් තාම star trek වගේ film බලද්දී මතක් වෙනවා. එල එල.... කාලෙකින් සිරා කතාවක් කියෙව්වා.

ර ත් ග ම යා said...

මේක මම කියවලා තියෙයි..හැබැයි එතකොට පොඩි එකා..මුකුත් තෙරුනේ නෑ..දැන් නම් තේරුම් ගන්න ඇහැකි....එල එල

priyantha.ඒබී said...

හොඳම මට්ටමේ ප්‍රබන්ධයක්. මම ඉස්සර නම් විදුසර බැලුවා. එත් මේක කියවලානම් නෑ. ඇත්තටම චිත්ත බලය කියන්නේ විස්තර කරන්න අමාරු දෙයක්. නමුත් ඒක ඉතා බලවත් බව නම් දන්නවා.

පිස්සා පලාමල්ල said...

හොඳ නිර්මානයක්... විදුසර කාලයක් බැලුව මම ඔය ප්‍රබන්ද කොටස නිසාම. ඒත් මේ කතාව නම් දැකල නැහ. ස්තුතියි...

හිස් අහස said...

මම පරක්කු උනා මේ බ්ලොග් එකට එන්න .

නියමයි මම් විද්‍යා ප්‍රබන්ධ වලට පට්ට කැමතියි

ජයවේවා !!

sansarasidu said...

අදහස් පළ කළ හැමෝටම ගොඩක් ස්තූතියි...

අධික කාර්ය බහුල කම නිසා ම මේ ප්‍රබන්ධ කතාව පළ කළායින් පසුව බ්ලොග් අඩවියට ගොඩ වෙන්නටවත් ඉඩ හසරක් ලැබුණෙ නැහැ.. පෞද්ගලිකව ස්තුති කරන්න බැරිවුණෙ ඒ නිසයි... ඒ සම්බන්ධයෙන් සහෟදයන්ගෙන් සමාව භජනය කරනවා...

හැමදෙනාටම නැවත වාරයක් බොහොමත්ම ස්තූතියි !!

MaRlaN said...

මේ කතාවත් නම් නියමයි අය්යෙ... කියලා වැඩක් නෑ....

sansarasidu said...

@ MaRlaN,

ගොඩක් ස්තූතියි මලේ...

ඔයාලගේ මේ අදහස් මාව ගොඩක් දිරිගන්වනවා..

Post a Comment