සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

22 January 2011

චිත්ත වෛරසය

Image: Nutdanai Apikhomboonwaroot / FreeDigitalPhotos.net

තාප පරාවර්තක වීදුරු වහළ නිසා සූර්යයන් දෙදෙනාගෙන් නික්මෙන දැඩි හිරු රැසින් ආලෝකවත් වුව ද රාජකීය මන්ත්‍රණ සභාව තුළ පැවතියේ සෞම්‍ය සිසිලසකි. රාජ්‍ය නිලධාරිහූ ආරක්ෂකයින් විසින් පිරිවරන ලදුව සභා ගර්භය දෙපස රැස් වී මහත් ඉවසිල්ලකින් යුතු ව අධිරාජිනියගේ සැපත් වීම අපේක්ෂාවෙන් දෑස් දල්වා සිටිති.

යාන්ත්‍රික සේවිකාවන් විසින් සරසනු ලැබූ “පාරා”, සුළු මොහොතකින් මන්ත්‍රණ සභාව ඉදිරියේ පෙනී සිටියා ය. සිරුරට ම සිර වන සේ සකසා ඇති නම්‍යශීලි ලෝහ ඇඳුමට ඇගේ ලාලිත්‍ය සැඟවිය හැකි බවක් නොපෙනේ. භෛරී වාදනය මධ්‍යයේ ඈ ලැසි ගමනින් පියනඟා, මන්ත්‍රණ සභාවේ උස් වේදිකාව මත සිට ගත්තේ සුරපුරෙන් බට දෙවඟනක් ලෙසිනි. මොහොතකට සභාගැබ සිසාරා දෙනෙත් මෙහෙය වූ ඈ එක්වන ම සිය සුරත ඔසවා සිටියා ය. ඇගේ සුරත රැඳී “නේපල්” වළල්ල සූර්යාලෝකය වැදි දිස්න දෙන්නට විය. ඒ වනාහී මිච්වරුන්ගේ සාම්ප්‍රදායික රාජ්‍යත්වය සංකේතවත් කිරීමකි. සභාගර්භයේ රැඳී සිටි සියල්ලෝ ම දණින් වැටී ඊට ආචාර කරන්නට වූහ.

අනතුරුව රාජකීය ලීලාවෙන් සිය සිහසුන අරා හිඳගත් ඈ, අන් අයට ද අසුන් ගන්නා ලෙස සුරතින් සන් කළා ය. සෙසු නිලධාරින්, කුමරියට ආචාර කරමින් තම ආසන කරා පා නඟද්දි “සින් මහල්ලා” පමණක් සිය සුදෝ සුදු යටි රවුල පිරිමදිමින් සභාගර්භයෙහි රැඳි සිටියේ ය. මහල්ලා මෙසේ හැසිරෙන්නේ කිසියම් වැදගත් කාරණයක් පැවසීමට ඇති අවස්ථාවල දී බව පළපුරුද්දෙන් ම දන්නා පාරා කුමරියගේ සුනිල්වන් දෙනයන ඔහු වෙත යොමු වූයේ නිතැතිනි. අධිරාජිනියගේ බැල්මෙන් ම තමන්ට අවසර ලැබුණු බව පසක් කරගත් සින් දෑත් පිටුපසට කර බැඳ ගත්තේ දිගු කතාවකට මුල පුරන්නට මෙනි. ඔහුගේ දෙතොල් සෙල වුණේ නැත. එහෙත් ඔහු ගේ හඬ ඉතාමත් පැහැදිලි ව සභා ගර්භය පුරා පැතිර යන්නට විය. සින් ගේ සිතිවිලි, අති රහසිගත තොරතුරක් අනාවරණය කරන්නට වුයෙන් නිලධාරිහූ සිහින් හඬින් කොඳුරමින් එකිනෙකා දෙස බලන්නට වූහ. පාරා ගේ ඉරියව්වලින් පෙනෙන්නට තිබුණේ ඇයට ද එය අදහාගත නුහුණු බව ය.

මහල්ලා සිය නළල රැළි ගන්වමින් මොහොතක් බලා සිටියේ ය.

“කුමරියෙනි, මා දන්නවා මෙය විශ්වාස කිරීම අපහසු බව... ඒත් කැරලි නායක යාතක් එවැන්නක් යවා තිබෙන බවට ආරක්ෂක අංශ සහතික කරනවා...” සින් ගේ හඬ සිය හිස තුළ නැගෙද්දි පාරාට දැණුනේ එය විය නොහැක්කක් බව ය.

“උපදේශකතුමා... ඒක මොන වගේ දෙයක් ද ?”

මෙහිදී පාරාගෙන් යොමු වූයේ අනපේක්ෂිත ප්‍රශ්නයක් නොවූයෙන් මහල්ලා කිසිදු පැකිළීමකින් තොරව පිළිතුරු දෙන්නට වූයේ ය.

“මගේ කුමරියනි, ඒකත් සිතිවිලි තරංගයක් ම තමයි. අසාමාන්‍ය එකක් වීම ඇරෙන්න ට එහි වෙනසක් නෑ...”

“අසාමාන්‍ය සිතිවිලි තරංගයක්...!”

පාරාගේ දෙනෙත් දැල් වී තිබිණි.

“ඔව්.. ඒක විකෘති කරන ලද ප්‍රබල සිතිවිලි තරංගයක්... ඒකට පුළුවන් ඕනෑම බුද්ධිමත් ජීවියෙකුගේ මනසට බලපෑම් කරන්න... අධි මානසික හැකියාවන් අතින් දුර්වල නම් ඇතැම් විට.. මරණය ඔවුන්ට ලැබෙන හොඳ ම තෑග්ග වේවි...”
මඳක් නැවතුණු සින්,
“ජීවිත කාලය පුරාවටම උමතුවෙන් ඉන්නවට වඩා...” යැයි ඊට තවත් කොටසක් එකතු කළේ ය....

පාරා එවැන්නක් ගැන අසා තිබුණෙ මිච් ජනප්‍රවාද වලින් පමණි. දැඩි මුරකාවල් මැද රඳවා සිටන යාතක් කෙතරම් බලවතකු වුව ද ඔහුට එවැන්නක් කළ හැකියැයි ඇයට විශ්වාස කළ හැකි නොවී ය. ඒ බැවි දැනගෙන මෙන් සින් මහල්ලා ගේ සිතිවිලි නැවතත් පණ ලබන්නට විය.

“මේක සිද්ධ වෙලා තියෙන්නෙ ඊයේ රාත්‍රියේ... ඔහුගේ අවධානය නාභිගත වීම වැළැක්වීමට යොදවා තිබුණු ආරක්ෂක පද්ධතිය මොහොතකට බිඳ වැටුණු වෙලේ තමයි, යාතක් ඒක යවලා තියෙන්නේ....”

“ඉතින් ඇයි එයා මේ වගේ දෙයක් කරන්නෙ..? ඔහුට අවශ්‍ය රාජ්‍ය බලය පැහැර ගන්න නම් කරන්න තිබුණේ ආරක්ෂකයින් මරාදාලා රැඳවුම් කුටියෙන් පැන යන එක නොවෙයි ද ?”
සිතෙහි නැගෙන නොසන්සුන් බව මැඩ ගන්නට අපොහොසත් වූ පාරා, නැවතත් සින් දෙස බලා සිටින්නට වූයේ පිළිතුරක් අපේක්ෂාවෙනි.

ඇගේ නව යොවුන් චිත්තය තේරුම් ගැනීම, මිච් රාජ්‍ය වංශයට පුරා ශත වර්ෂ දෙකහමාරකකට අධික කාලයක් තිස්සේ සේවය කරන සින් මහල්ලාට එතරම් අපහසු කරුණක් නොවී ය. නව යොවුන් වියේ පසුවන පාරා කුමරියගේ පිය රජතුමාණන්ගෙත් පිය රජතුමාණන් සමයේ සිට ම මන්ත්‍රණ සභාවේ උපදේශකයා වූයේ ඔහු ය. හේ පියෙකුගේ සෙනෙහසින් යුතුව ඇය අමතන්නට වූයේ මදහසක් මුවඟ රඳවාගෙන ය.

“මගේ කුමරියනි.... මගේ කුමරියනි, මිනිහ මුලින් ම උත්සාහ කරල තියෙන්නෙ ඒ දේ කරන්න තමයි... ඒත් ඔහුට බැරි වුණා අපේ ආරක්ෂකයින් පරාජය කරන්න... සෑහෙන වේලාවක් තිස්සේ චිත්ත සටන පවතිද්දි තමන් පරදින්න යන බව දැනගත් විටයි, යාතක් ඒක මුදා හැරල තියෙන්නෙ...”

“ඒකත් එහෙම ද ?? ඒත් මං හිතනවා ඔහු ව පරාජය කළ නිසා එයින් කාටවත් අනතුරක් වෙන එකක් නෑ කියල...”
පාරාගේ පියකරු දිගැටි මුහුණේ සිහින් සිනහවක් ඇඳී ගියේ සියලු ප්‍රශ්න අවසන් යැයි, ඇය සිතූ නිසා විය යුතු ය. එහෙත් එහි බරපතලකම පිළිබඳව මිච්වරුන්ගෙ ලාබාලතම අධිරාජිනියට සුළු හෝ වැටහීමක් තිබුණේ නම් ඈ එසේ සිනහ නොවීමට ඉඩ තිබිණි.

බැරෑරුම් බවක් මුහුණට නගා ගත් මහල්ලා නැවතත් සිය රැවුල පිරිමදින්නට වූයේ දෙබැම නගාගෙන ය. පාරාගේ වුවන නැවතත් අඳුරු විය. එසේ නම් එය ඇය සිතුවාට වඩා බරපතල කාරණයකි. ඇයට මොහොතකට වචන ගලපා ගැනීමටද අපහසු බවක් දැනුණි.

“උපදේශකතුමා.... එතකොට... එතකොට.. ඔබතුමා කියන්න හදන්නේ....”

“ඔව් කුමරියෙනි, තත්වය ඔබතුමිය හිතුවාට වඩා බරපතලයි... මේක මිච්වරුන්ට බලපාන ප්‍රශ්නයක් නෙමෙයි. යාතක් ඒක යවලා තියෙන්නේ සමුදුරු ලෝකෙට...”

අධිරාජිනිය ගේ යොවුන් වුවනෙතෙහි රැඳුණේ වික්ෂිප්ත බවකි.

“ස මු දු රු ලෝකෙට..???”
පාරා එයම පුනරුච්ඡාරණය කරන්නට වූයේ කිසිවක් සිතාගත නොහැකිවය...


* * * * * * *


සභා ගැබෙහි රැඳී තිබුණේ දැඩි නිහැඬියාවකි. සින් මහල්ලා පමණක් ඒ නිහැඬියාව අතරින් සභා ගර්භයෙහි ඔබ මොබ සක්මන් කරමින් සිටියි.. ඔහු ගේ දිගු ලෝගුවක් වැනි ඇඳුම ද, ඔප දමන ලද “දීතු” පාෂාණ ඇල්ලු පොළව මත ඇදෙන්නට වූයේ ඔහුගේ පියවර අනුගමනය කරමිනි..
“මං හිතන්නේ කුමරිය අහල නැතිව ඇති මිච් රාජ වංශයේ පුරාවෘත්තය ගැන‍....” සින් ගේ දෑස අධිරාජිනිය වෙත යොමු වී තිබේ. පාරා, අවිඥානකව මෙන් සිය හිස දෙපසට සැලුවේ එවැන්නක් මින් පෙර අසා නොමැති බව ඇඟවීමට ය.

“ඒක සිද්ධවෙලා තියෙන්නේ කුමරිය ගේ සීයගෙත් සීයගෙ පාලන කාලෙ දී... ඒ කාලේ මච්වරුන් බොහොම නොදියුණු ජාතියක්... ඒත් බිනෝ රජතුමා ගොඩක් බුද්ධිමත් කෙනෙක්... එතුමා මිච් ජාතිය ගොඩනගන්න සෑහෙන්න මහන්සි ගත්තා..ඔය අතරෙදි දවසක එතුමට අහසින් ආ හඬක් ඇහුණා... ඇත්තටම ඒ හඬ ආවේ, දැන් අපි අභ්‍යවකාශයේ දුර මනින්න යොදාගන්නා, චිත්ත කාල තුනක දුරක ඉඳන්...”

මඳ විරාමයක් ගත් සින් සභාවේ සිටියවුන් දෙස වුවමනාවෙන් යුතු ව බැල්මක් හෙළී ය. ඔවුන් ගේ අවධානය තමා වෙත බැවි සැක හැර දැන ගත් හේ, නැවතත් සිතිවිලිවලට පණ දෙන්නට වූයේ ය...

“අද මිච්වරුන් වන අපි මේ තරම් දියුණුවක් ලබල තියෙන්නේ බිනෝ රජතුමාට එදා ඇහුණු ඒ හඬ නිසයි. මනස දියුණු කිරීමෙන් භෞතික බලවේග ජයගත හැකි බව අපට පෙන්වල දුන්නේ වෙන කිසිවක් නෙමෙයි.. ඒ හඬමයි... මිච්වරුන් ඒ හඬට සදා ණය ගැතියි...”
මහල්ලා සිය දෑත් විහිදා වීදුරු වහළ තුළින් අහස් කුස දෙස හෙළුවේ ගෞරවාන්විත බැල්මකි..
“ඒ දිව්‍යමය හඬ.... ඔව්.. ඒ හඬ ආවේ වෙන කොහෙන්වත් නෙමෙයි... සමුදුරු ලෝකෙන්.... යාතක් ඒක දැනගෙන හිටියා.. අපෙන් පළිගන්න බැරිතැන ඔහු කළේ ඒ විනාශකාරී බලවේගය සමුදුරු ලෝකය වෙත මුදාහරින එක....”

සින්ට කතාව අවසන් කිරීමට නොලැබුණි... එවිටම වාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ගෞරව සම්ප්‍රයුක්තව නැගී සිටියේ ය.

“අධිරාජිනියෙනි, මටත් ප්‍රශ්නයක් අහන්න අවසර ද ?”
පාරා ඊට අවසර දෙමින් හිස සැලූයෙන්, හේ මහල්ලා වෙත හැරුණේ ය.

“උපදේශකතුමා... ඔබතුමා අධිමානසිකව වත් එහාට චාරිකා කරල තියෙනවද ?”

මොහොතක් ඔහු දෙස බලා සිට, ඊට පිළිතුරු දෙනු වෙනුවට මහල්ලා කළේ, සක්මන නවතා සබා ගැබ මැද නතර වී දෙනෙත් පියා ගැනීම ය. ක්ෂණයකින් ඔවුන් ඉදිරියේ වූ අවකාශය තුළින් විනිවිද පෙනෙන, මනෝමය සිතිවිලි ප්‍රක්ෂේපණ තිරයක් මතු වුයෙන්, මන්ත්‍රණ සභාව තුළ රැස්ව සිටියවුන් ගේ අවධානය එදෙසට යොමු වූයේ නිතැතිනි..

වඩාත් අඳුරු පැහැයක් ගත් එහි, ක්‍රමයෙන් කුඩා තිත් සහ ආලෝක ඉරි මතුවන්නට විය. මදින් මද විශාල වෙමින් පැවති එම තිත් සහ ඉරි, තරු පොකුරු සහ මන්දාකිණි බව පෙනෙන්නට තිබුණි. ඔවුන් බලා සිටියදීම වාගේ එහි වූ එක් මන්දාකිණියක් වඩා විශාල වී, අවසානයේ ප්‍රක්ෂේපණ තිරය අරා පැතිර යන්නට විය. සෙමෙන් භ්‍රමණය වන බවක් පළ කළ මන්දාකිණියේ ගෝලාකාර මධ්‍යය මිලියන ගණනක් වු තාරකාවලින් ගැවසීගෙන වඩා දීප්තිමත් කහ සුදු පැහැයෙන් දිස් වන්නට විය.. මන්දාකිණියේ එක් සර්පිලාකාර බාහුවක් වෙත නාභිගත වීම සිදු වෙමින් පැවතිණ.. අන්තර්තාරීය මාධ්‍යය දෙබෑ කරමින් පුළුල් වන්නට වූ දර්ශනයේ ඊළඟට මතු වූයේ මධ්‍යම ප්‍රමාණයේ සූර්යයෙක් සහ එය පිරිවරාගත් ග්‍රහ මණ්ඩලයකි. තවදුරටත් පුළුල් වන්නට වූ දර්ශනය කෙමෙන් කෙමෙන් හිරු දෙසට ඇදී යන බවක් පළ විය. අවසානයේ තිරය මත සටහන් වූයේ, නිල් සුදු පැහැයෙන් බබලන ජීවයෙන් පිරිපුන් ග්‍රහලොවකි..


Image: Salvatore Vuono / FreeDigitalPhotos.net

හිරුගේ සිට තෙවැන්නා වූ එහි, දරුවා ලෙස සැලකිය හැකි අළු පැහැ කුඩා ගෝලාකාර චන්ද්‍රයෙක් ද දර්ශනයෙහි පසෙකින් අඳුරු අවකාශයෙහි ගිලී තිබේ. පාරාට පමණක් නොව සෙසු නිලධාරින්ට ද මොහොතකට ඇසිපිය හෙළන්නට අමතක ව ඇති සෙයකි.. සියල්ලෝම ඒ මනස්කාන්ත දර්ශනයෙන් වශීකෘතව, දෙනෙත් දල්වා ගෙන සිටින අතරේ මහල්ලා ගේ හඬ නැවතත් ඔවුන්ගේ සිත්වලට ඇතුළු වන්නට විය.

“මේ තමයි සමුදුරු ලෝකය.. ඔය සුදු පාට වළාකුළුවලට යටින් තියෙන්නේ.... ම්..හ්... ආ...”
හදිසියේ ම කිහිපවරක් ගැස්සී යන්නට වූ දර්ශනය, එක්වරම සිතිවිලි ප්‍රක්ෂේපණ තිරය ද සමඟින් අතුරුදන් විය.

සින් මහල්ලා සභා ගර්භය මැද දණින් වැටී දෙඅතින් මුහුණ වසාගෙන සිටියි. වහා සිහසුනෙන් නැගී ගත් පාරා ඊළඟ මොහොතේ සිටියේ මහල්ලා අසළ ය. ඈ මුලින් ම සිතා සිටියේ සිතිවිලි ප්‍රක්ෂේපණය සඳහා චිත්ත ශක්තියෙන් වැඩි කොටසක් වැය වීම නිසා ඔහු දුර්වල වන්නට ඇති බව ය. එහෙත් හිස එස වූ කළ ඔහු කෙරෙන් පළ වූයේ වෙහෙසකර බවකට වඩා, දැඩි දොම්නසකට පත් ව ඇති බවකි. පාරා, මහත් වූ කණගාටුවකින් යුතුව සිය උපදේශකයා, ගුරුතුමා සහ එකම ඥාතියා දෙස දෙනුවන් විදහා බලා හිඳින්නට වූවා ය. අවසානයේ සභා ගැබ පුරා රජ කළ නිහැඬියාව බිඳිමින් පාරාගේ මියුරු ස්වරය සින්ගේ සවන්පත් සොයා එන්නට විය..

“උපදේශකතුමා.... ඇයි මේ..? මං මීට කලින් කවදාවත් ඔබතුමාව මේ විදිහට දැකල නෑ...”
සින් මහල්ලා තවත් මොහොතක් සිටි ඉරියව්වෙන් ම සිට දෑස් අග නළියමින් තිබූ කඳුළු කැට දෙකක් දෙඅතින් පිස දමමින් පාරා වෙත හැරුණේ, ගැඹුරු හුස්මකින් ළය සැහැල්ලු කර ගන්නා අතර ය.

“මට මේ තරම් වේදනාවක් දැනෙන්නෙ වෙන හේතුවක් නිසා නෙමෙයි කුමරියෙනි.... ගෝලයින් නිසා ගුරු ගෙදර විනාශ වෙන්න යන එක මට දරා ගන්න අමාරුයි...”

“ඒත් උපදේශකතුමා, අපටත් ගුරුහරුකම් දෙන්නට පුළුවන් නම් ඔවුන් ගොඩක් දියුණු ජාතියක් වෙන්න ඕන නේ ද ? ඔවුන්ට පුළුවන් වේවි එයට විරුද්ධව සටන් කරන්න....” පාරා කීවේ මහල්ලා අස්වසන ස්වරයෙනි..

සින් හිස දෙපසට වනන්නට වූයේ එය නොපිළිගන්නා බවක් පළ කරමිනි..
“නැහැ... කුමරිය.. නැහැ... ඔවුන්ට බැහැ ඒකට විරුද්ධව සටන් කරන්න.. අපට ගුරුහරුකම් දෙන කාලේ තිබුණු අධ්‍යාත්මික දියුණුව දැන් ඔවුන් වෙත නැහැ... ඔවුන් බොහොම දුර්වල සත්ත්ව කොට්ඨාශයක් බවට පත් වෙලා.. මානසික හැකියාවන් අතින් බොහොම පහළ තලයකයි දැන් ඔවුන් ඉන්නේ..මට දුක ඒකයි...”
සින්ගේ හඬ වෙව්ලන සුළු ය.
“දැන් අපට ඔවුන් වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ, මගේ කුමරියනි.. මා දුටුවා... මා දුටුවා ඒ විනාශකාරී බලවේගය ක්‍රියාත්මක වෙමින් තිබෙන ආකාරය... දැන් ඉතින් හැමදේම ඉවරයි... ඔවුන් එකිනෙකා මරා ගනීවි... ඒ අපූරු ලෝකෙට ගිනි තියාවි... ඒත් මට සැක ඔවුන්ට ඒක අඳුනගන්නවත් පුළුවන් වේවිද කියලයි...”
සිය මහලු දෙනෙත වීදුරු වහළ දෙසට යොමු කළ සින්, පහත් හඬින් තොල් මතුරන්නට වූයේ ය.

“ඒ ගොල්ලො දන්නව නම්.... ඒක චිත්ත වෛරසයක් කියල...”

* * * * * * *


Image: Salvatore Vuono / FreeDigitalPhotos.net

ඈත එපිට පොළවේ තත්ත්වය බොහෝ සෙයින් දරුණු වෙමින් තිබිණ. "දුරුත්" ලෝකයේ සිරමැදිරියකින් නිකුත් වූ අති ප්‍රබල – අති බිහිසුණු චිත්ත වෛරසය, ආලෝක වර්ෂ මිලියන ගණනක දුර විනාඩි ගණනකින් ගෙවා මිහිකත වෙත ඇදී ආවේ විනාශයේ අඳුරු සෙවනැලි ද රැගෙන ය. මේ කිසිවක් නොදන්නා මිහිමඬල ද යෝධ ආදායකයක් ලෙස ක්‍රියා කරමින් අනාරාධිත අමුත්තාට පිවිසීමට ඉඩ දී තිබිණ. බිලියන ගණනක් දෙනා නොදැනුවත්ව ම වෛරසයේ ග්‍රහණයට නතු වෙමින් සිටිය හ. මැද පෙරදිගින් ඒකාධිපතියෙකු නැගී එමින් සිටි අතර ඇමෙරිකානු ජනාධිපතිවරයා රුසියාව, චීනය හා ඉරානය ඇතුළු සතුරු රටවල් කිහිපයකට න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට හදිසියේ ම තීරණය කර තිබිණි. වඩාත් ම පුදුම එළවන සිදුවීම වූයේ ඇමෙරිකානු මිත්‍ර රටවල් හැම එකක්ම පාහේ එම තීරණය අනුමත කර තිබීම ය.

වෛරසයේ ග්‍රහණයට හසු නොවූ සුළුතරයක ගේ අදහස වුයේ කිසියම් අදෘශ්‍යමාන බලවේගයක් විසින් මානව වර්ගයා මෙහෙයවනු ලබමින් සිටින බව ය. එහෙත් ඔවුනට පවා ඒ පිළිබඳව සහතික විය හැකි නොවී ය. අනෙක් අතට ඒ පිළිබඳව දැන ගත්ත ද ඔවුනට ඒ සම්බන්ධයෙන් කළ හැක්කක් ඉතිරි වී තිබුණේ ද නැත.

එය කවදා හෝ සිදු විය හැකි ව තිබුණ ද, මෙපමණ ඉක්මනින් එවැන්නක් සිදු වනු ඇතැයි කිසිවෙකුදු බලාපොරොත්තු නොවූහ. එහෙත් එය සිදුවෙමින් පැවතිණ. ඒ වන විට ද මානව වර්ගයා සිය ඉතිහාසය තුළ මුහුණ දෙන්නට යන තුන්වැනි ලෝක මහා සංග්‍රාමයට අවතීර්ණ වෙමින් සිටියහ෴


| වර්ෂ 2004 ජූලි 21 වැනිදා සහ ජූලි 28 වැනිදා "චිත්ත වෛරසය" යන නමින්ම, "විදුසර" විද්‍යා සඟරාවේ කොටස් වශයෙන් පළ වූ මෙම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව සන්සරසිදුගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි. මෙහි පළ වී ඇත්තේ සංස්කරණය කරන ලද නිර්මාණය බව සලකුව මැනවි.|

28 දෙනෙකුගේ අදහස්....:

තිස්ස දොඩන්ගොඩ said...

ෂහ් මල්ලියා මේ අවුරුදු හයකට කළින් ලියූවක් ඈ...?
මැක්සා...
මට කියවාගෙන යද්දී හිතුනේ චිත්‍රපටියක් බලනවා වාගේ හැඟීමක්...
මේ හැකියාව ඔබට අනන්‍ය එකක් වාගේ... ජයවේවා..
බොහොම රස විඳීමි...

හා පැටික්කි (MS) said...

හ්ම්........ තිස්ස අයියා කීවා වගේම තමා. චිත්‍රපටියකට බලනවා වගේ කිසිම විටක මනස එහෙ මෙහෙ නොයවා කියෙව්වා ආසාවෙන්.

බොහොම ස්තූතියි මේ කතා පලකරන එකට අයියා නැවත.

චේජනා said...

මේකත් මම බලල තියෙනව මල්ලියො, මට මතකයිත්.. තාමත් විදුසර ආර්කයිව්ස්වල තියෙනවත් එක්ක මේක... :)

අනුරාධ said...

මම මේ කතාව විදුස‍ර පත්ත‍්රෙන් කියෙව්වා ඒ දවස් වල. මේකේ හෙඩිම දැක්ක ගමන්ම මට මතක් උනේ ඒ කතාව. මන් ඉතින් දැනන් උන්නේ නෑනේ ඒක ලිව්වෙ උඹ කියලා. මන් හිතුවා ඒ නමම තියෙන වෙන මොකක් හ‍රි ලිපියක්ද දන්නෙ නෑ කියලා. කෝකටත් සැකේට මන් කියවගෙන ගියා. බලන් ගියාම උඹ සිරා පොරක්නෙ... එල ඈ...උප‍රිමයි මචන් ලිවිල්ල. පට්ටයි....

prasanna86k said...

අයියා නියමයි මචං. ඇත්තටම නිකං ෆිල්ම් එකක් බැළුවා වගේ. සුපිරි... නියමයි ලස්සනට ලියලා තියෙනවා.

ගල්මල්-Coral said...

අපූරුයි මල්ලියේ, කතාවේ ගැලීම වගේම භාෂාව හැසිරවීම ගොඩාක් සිත්ගත්තා.

priyantha.ඒබී said...

චිත්ත වයිරසය දැන් ඇවිත් වගේ මේ වෙන දේවල් වලින් පේන්නේ..
ශත වර්ශ 2 1/2ක් නම් බුදු වදනක් වෙන්න ඕන..

Ravi said...

අපූරුයි කතාව, චිත්ත ශක්තියේ උපරිම තලයට පැමිණි ජීවීන් කොටසක් ගැන කියන ආතර් සී. ක්ලාක් මහතාගේ Childhood's End කතාව මතක් උනා,

MaRlaN said...

කතාවනම් කියලා වැඩක් නෑ ලස්සනට ලියල තියනවා....

sansarasidu said...

@ තිස්ස දොඩන්ගොඩ,
බොහොමත්ම ස්තූතියි අයියා...
අයියගේ වචන හරිම දිරිගන්වන සුළුයි....

ඔව් අයියා... 2004 කියන්නෙ මගේ ලිවිල්ලේ ස්වර්ණමය වසර කිව්වොත් හරි.... අවාසනාවකට වගේ 2004 න් පස්සේ තාම එකම එක නිර්මාණයක්වත් කරගන්න මට බැරි වුණා... ඒත් තාම උත්සහය අත් හැරල නැහැ... මට තියෙනව පුංචි හීනයක් හැබෑ කරගන්න...

මගෙ පුංචි ආසාවක් තියෙනවා 2004 දි මං ලියපු කතා ටිකට තව කතා කිහිපයක් අළුතින් එකතු කරල පුංචි පොතක් විදිහට එළි දක්වන්න... ඒ හීනය ගැන කිව්වහම, නිමන්ති අක්කා තමා මාව මේ කතා ටික නැවත පළ කරන්න පෙළඹෙව්වෙ... ඒ හන්දාමයි "දෙවියන්ගේ මිටි පහර" නමින් පළ කළ පළමු කතාවේ පිදුම ඇයට වෙන් කළේ...

sansarasidu said...

@ හා පැටික්කි (MS),

හා නගා.. මගේ යාවජීව පාඨකයා... ඔබටත් බොහොම ස්තූතියි නගේ හැමදාම වගේ ඇවිත් මාව දිරිමත් කරනවට...

sansarasidu said...

@ චේජනා,

අක්කගේ වචන ටික ම ඇති මට...
විචාර දහසකින් වත් ලබන්න බැරි විදිහෙ අදහසක් හිතට දැනුණා..

මොන දේ වුනත් ජනක රත්නායක මහත්මයගේ අපූරු සිතුවම් ටික නැති අඩුව නම් මට තදින් ම දැනෙනවා අක්කෙ...

sansarasidu said...

@ අනුරාධ,

ගොඩක් ස්තූතියි මචං...
උඹලගේ අදහස් - උදහස් - විවේචන, මගේ පුංචි හීනය හැබෑ කර ගන්න යන ගමනෙදි මට ලොකු ශක්තියක්....

sansarasidu said...

@ prasanna86k,

උඹත් මගේ ප්‍රබන්ධවල යාවජීව පාඨකයෙක් නෙව...
ස්තූතියි කොල්ලො... ගොඩක් ස්තූතියි....

sansarasidu said...

@ ගල්මල්-Coral,

අයියටත් මගේ නොවක් ස්තූතිය...

අයිය වගේ කෙනෙකුගේ අදහස් මට ගොඩක් වටිනවා...

sansarasidu said...

@ priyantha.ඒබී,

ඒක නම් ඇත්ත අයියෙ...

අයිය එහෙනම් කතාවේ යටිපෙළ හඳුනගත්තා...නේ ද ?

ස්තූතියි අයියා අදහසට....

sansarasidu said...

@ Ravi,

ස්තූතියි... සහෝ..

අවාසනාවකට වගේ මට මේ කකාව තාම කියවන්න ලැබුණෙ නැහැ...
ස්තුතියි ඒ ගැන සිහිපත් කළාටත්...

sansarasidu said...

@ MaRlaN,

සාදරයෙන් පිළිගන්නව මේ අඩවියට... මේ ඔබේ පළමු පැමිණිම මයේ හිතේ....

බොහොමත්ම ස්තූතියි අදහසට...

කමලිකා said...

පමාවී ආවෙමි
සුපුරුදු පරිදි කියවිමි
සිහින අත දුර මෙනි
ඉටුවෙන්නට පතමි...!!!

sansarasidu said...

@ කමලිකා,

කිසි පමාවක් නැහැ අක්කෙ.... හැමෝම බ්ලොග් කියවන්නෙ තමන්ට ඉඩ හසරක් ලැබෙන වෙලාවලටනෙ....

බොහොමත්ම ස්තූතියි අක්කේ සුබ පැතුමටත් පද පෙළටත්....

තාරා said...

සුභම සුභ අනාගතයකට මමත් සුභ පතනවා...

sansarasidu said...

@ තාරා,

ගොඩක් ස්තූතියි සිස්...

ඒ වගේම ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා මේ අඩවියට...

Ansh Lucky Sri Jay said...

ඇත්තටම අපූරුයි..!!

sansarasidu said...

@ Ansh Lucky Sri Jay,

බොහොම ස්තූතියි සිස්...

..ChAnDiKa.. said...

හුඟ දවසකට පස්සෙ පුංචි විවේකයක් ලැබුන නිසා ඔන්න මං ආවා මේ පැත්තේ. ඇත්තටම හරිම අපූරැ නිර්මාණයක්. එක හුස්මට කියවගෙන ගියා. ඇත්තටම සහෝ ඔබට ඉතා අනගි හැකියාවක් තියෙනවා. මම ඉතාම ආවෙන් කියවපු ලිපියක්.
(පුලුවන් ඉක්මනින් ඔබව නැවත මුණ ගැසෙන්නම් සහෝ. අවුරැදු උත්සවයට එනවාද?)

Bindi said...

වෙනස් සහ රසවත්. මම විදුසර කියෙවුවෙ ඔයට ටිකක් කලින් කාලේ. අනික විද්‍යා ප්‍රබන්ධ වලට පිස්සු වැටිලා හිටිය කාලෙත් ඉවරයි දැන්..ඒ අතීතය ආයිත් මතක් කලාට ස්තුතියි. එකදිගට කියවගෙන ගියා. ඔබේ විශේෂ හැකියාවට සුබ පැතුම්

sansarasidu said...

@ ..ChAnDiKa..,

ගොඩාක් පරක්කුයි මේ පිළිතුරට...
ඒත් කමෙන්ටුවට ස්තූති නොකර ඉන්න තරම් ගුණමකු වෙන්න මට බැහැ...

ගොඩක් ස්තූතියි මල්ලි ඔයාගේ කමෙන්ටුවට...

මං සෑහෙන කාලෙකින්... හරියටම කිව්වොත් මාස හතරකින් පහකින් වගේ බ්ලොග් එක පැත්තෙ ආවේ නැහැ.. ඉඳල හිටල තමා මේල් චෙක් කළෙත්...
ඒ හන්දයි මේකට පිළිතුරු ලියන්න ගොඩක් පමා වුණේ....

සමාව භජනය කරනවා වෙච්චි වැරැද්දට....

sansarasidu said...

@ Bindi,

බොහොමත්ම ස්තූතියි සිස්...

මමත් දැන් නිර්මාණකරණයෙන් ගොඩක් ඈත් වෙලා...
පහුගිය අවුරුදු පහ හය පුරාවටම අලුත් නිර්මාණයක් කළේ කලාතුරකින්....

ඈත එපිට රටක ඉඳන් සුබ පැතුම් ගෙන ආ ඔබට නැවත වාරයක් බොහොමත් ම ස්තූතියි !

Post a Comment