සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

20 June 2011

ආවෝ - ගියෝ බ්ලොග් කලාව හා බ්ලොග් කලාවේ පංච ශීලය


Image: digitalart / FreeDigitalPhotos.net

යෙම ලියන්න හිත නම්මවගන්න එකට වඩා අමාරු වුණේ, දවස තිස්සෙම පරිගණක තිර දිහා බලාගෙන ඉඳල හෙම්බත්වෙලා තියෙන ඇස් හතර ගෙදර ආවට පස්සෙත් පරිගණක තිරයට යොමු කරගෙන වැඩ කරන එකයි. ලියන්න ඕන කියන සිතිවිල්ල කොච්චර හිත අස්සේ හක්කලං ගැහැව්වත් ඒ සිතිවිල්ල දියාරු කරන මහ බලවේගය වුණේ ඔන්න ඔය කාරණාව නිසා හටගත්ත, වස කම්මැලිකම ම තමයි. අන්තිමේදි ඉඳල ඉඳල මාස ගාණකට පස්සේ ඔන්න අයේම ලියන්න පටන් ගන්න ඕනමයි කියන තැනට හිත නම්මවාගන්න පුළුවන් වුණා. ඊයේ හවස හොඳ නින්දක් නිදාගෙන මේ මහ පාන්දර නැගිටගෙන මේ අකුරු කරන්නෙ ඒ සිතිවිල්ලට පින්සිද්ධ වෙන්නයි.

මං හා හා පුරා කියල මේ බිලොග් ලිවිල්ල පටන් ගත්තේ 2010 පෙබරවාරි 28 වෙනිදා. එදා මං මේක පටන් ගත්තේ පොඩි ටෙස්ටින් එකක් විදිහට. පටන් ගත්ත කාලේ නම් මං බ්ලොග් කෙරුවාව ගැන මේ ලෝකේ දෙයක් දැන ගෙන හිටියෙ නැහැ. බ්ලොග් එක පටන් ගත්තට පස්සෙ සිංහල බ්ලොග් කෙරුවාව ගැන වැඩි විස්තරයක් දැන ගන්න ලැබුණේ විජය පරිගණක 2010 මාර්තු කලාපයෙන් කියලයි මතක. ඒ කලාපයේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය ගැන පුංචි ලිපියක් පළවුණා. ඉන් පස්සේ තමා බ්ලොග් එකට නමක් එහෙම දාගෙන අළුතින්ම වගේ බ්ලොග් එක පටන් ගත්තේ. බ්ලොග් එකට නමක් හොයන්න ගියහම තමා එපා වුණේ. නම් කිහිපයක්ම හිතේ කැරකි කැරකි තිබ්බත් අන්තිමේ ...::: සියපත :::... by sansarasidu කියන නම අනෙක් නම් ඔක්කොම යට කරගෙන කරළියට ආවා. ඒත් එක්කම වගේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකත්වය ඉල්ලන්නත්, මගේ පුංචි අඩවිය සිංහල බ්ලොග් කියවනයට එකතු කරන්න කියල ඉල්ලන්නත් මං අමතක කළේ නැහැ. පරණ පෝස්ට් මකලා දාලා අළුතෙන්ම පෝස්ට් එකක් දැම්මේ මාර්තු 06 වෙනිදා. ඒ "ඔබ.." කියල නම් කරපු පුංචි නිසඳැසක්. ඒ පෝස්ට් එකට කමෙන්ටුවක් වැටුණේ ගොඩක් පහුවෙලා. මතක විදිහට නම් මාර්තු 23 වෙනිදා, දුකා අයියගෙන් තමා. දන්නවනේ ඉතින් දුකා අයියා කියන්නේ සිංහල බ්ලොග්කරණයේ පතාක යෝධයෙක්නෙ. එහෙම කෙනෙක්ගෙන් මං වගේ කෙනෙකුගේ අඩවියේ කමෙන්ටුවක් වැටුණා කියන එක කොච්චර ලොකු දෙයක් වුණා ද කියල කියන්න වචන නැහැ. ඒත් දුකා අයියාට කලින් මා වටා එක් රොක් වුණේ වෙනමම පිරිසක්. මගේ පෝස්ට් එකකට පළවෙනි කමෙන්ටුව වැටුණේ බිඟු අයියගෙන්. මාර්තු 07 වෙනිදා මං පළ කරපු "අවවාදය" කියන නිසඳැසට බිඟු අයියා, කණියා, චේජනා අක්කා වගේ ම Raven හෙවත් නලින් සහ විශ්මි නංගියාත් කමෙන්ට් කර තිබුණා. මගේ බ්ලොග් කෙරුවාවට පන්නරය ලැබුණේ මේ අයගෙන්. වැඩි කල් නොයාම මේ ගොන්නට තවත් අය එකතු වුණා. ඒ අතරේ නිතරම මගේ අඩවියට ගොඩවැදිල ගුණදොස් කියන්න අමතක නොකළ කිහිපදෙනෙක් හිටියා. බිඟු අයියා, චේජනා අක්කා, Raven සහ විශ්මි, දිල් අක්කා, නිමන්ති අක්කා, තිස්ස අයියා, රන්දිල් අක්කා, මිස්සක, නිල් අහස, රවා, ගල්මල් අයියා වගේම කාකා හෙවත් කතන්දර අයියත් ඒ අතර හිටියා... තවත් කල් යත්දි මේ පිරිසට පිස්සාගේ පලාමල්ල, වැම්පි, Hasitha, ප්‍රියන්ත අයියා, මාරයියා, හසියා, හෙළයා, අභීත අයියා, Ansh Lucky Sri Jay, බුද්ධි අයියා, Jeew අයියා, සුලා අයියා වගේම අපේ ආදරණීය මයික්‍රොසොෆ්ට් හා නගාත් එකතු වුණා. නම් කියන්න බැරි වෙච්චි තව බොහෝ දෙනෙක් ඉන්නවා මයෙ හිතේ. ඒ හැමෝම සමාව භජනය කරත්වා! මගේ අඩවියේ මගේ පළමුවෙනි සහෘදයා (Follower) වුණේ, චමිදේවා සහෝදරයා. ඒ වගේම 100 වෙනි සහෘදයා විදිහට මගේ අඩවියට එක්වුණේ හූනා සහෝ. අද වෙනකොට මගේ සහෘදයෝ ගණන 115 ක් දක්වා වැඩිවෙලා තියෙනවා. එදා සිට අද දක්වා දුකේදිත් සැපේදිත් මාත් එක්ක රැඳිලා හිටිය ඒ හැමදෙනාටම මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මං ගොඩක්ම කඩා වැටුණු වෙලාවේ මාත් එක්ක හිටි හැම දෙනාවම බොහොමත් ම ආදරයෙන් මතක් කරන්න කැමතියි. ඒක මට කොච්චර ලොකු හයියක් වුණා ද කියල කියන්න, එදා මේ සයිබර් අවකාශයෙදි මට ලැබුණු ඒ ලෙංගතුකම සැබෑ ජීවිතයෙදි මට කවමදාකවත් ලැබිල නැති බව විතරක් කිව්වහම ඇති කියල හිතෙනවා.

මගේ බ්ලොග් එක පටන් අරගෙන අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබුණත් මගේ ආවෝ - ගියෝ බ්ලොග් කලාව නිසා මං තවම ඉන්නේ බ්ලොග් පෝස්ට් අර්ධ ශතකය පේන මානයේ. ඒ ගැන නම් මගේ හිතේ පොඩ්ඩක්වත් දුකක් නැහැ. මොක ද මට ඕන වුණේ හයියෙන් දුවන්න නොවන හින්දා. මං මේ ගමන ආවේ බොහොම හෙමින්. කොටින් ම කිව්වොත් ඉබි ගමනකින් කිව්වොත් ඒක නිවැරදියි.

බ්ලොගර් අඩවියම, බ්ලොග් එකක් කියන එක හඳුන්වත්දි කියල තියෙන විදිහට, බ්ලොග්කලාවෙදි අනුගමනය කළ යුතු සැබෑ නීති-රීති කියල දෙයක් නැහැ. කොටින්ම එය ඔබේ ඕනෑ එපාකම් මතම පවත්වාගෙන යා හැක්කක්. ඒත් බ්ලොග් එක පටන් ගත්ත මුල් කාලේ ඉඳලම කරුණු කාරණා කිහිපයක් තරයේ පිළිපදින්න මට ඕන වුණා. ඇත්තම කිව්වොත් බ්ලොග්කරණයෙදි මගේ ස්වයං විනය එහෙමත් නැත්නම් පංච ශීලය වුණෙ මේ කරුණු ටික තමා.

  1. සෑම විට ම අන් අයගේ ප්‍රකාශණ අයිතීන් සුරකිමි. (මින් පෙර වෙනත් අයෙක් පළ කළ ලිපියක්/ඡායාරූපයක්/සිතුවමක් හෝ වෙනයම් ඕනෑම අන්සතු දෙයක් නිසි අවසරයකින් තොරව මගේ අඩවියේ පළ නොකරමි. අවසරය ඇතිව පළ කරන යමක් වේ නම් ඒ සඳහා අදාළ පාර්ශවය වෙත සබැඳියකින් කෘතගුණ දක්වමි.)
  2. මගේ බ්ලොගයට දේශපාලනය ඈඳා නොගනිමි.
  3. මගේ බිලොගයට ආගම්වාදය ඈඳා නොගනිමි.
  4. මගේ බ්ලොගයට ජාතිවාදය ඈඳා නොගනිමි.
  5. කියවන්නට හිරිකිත, අසභ්‍ය අන්තර්ගතයන් මෙන්ම, වෙළඳ දැන්වීම් ද කිසිවිට යොදා නොගනිමි.

අදටත් මං බොහොම ඕනෑකමකින් බ්ලොග්කරණයේ මේ පංච ශීල ප්‍රතිපදාව ආරක්ෂා කරනවා. සමහර විටෙක සිංහල බ්ලොග්කරණයේ තවත් පතාක යෝධයෙක් වන Taboo Subjects ලියන Taboo සර්, පහුගිය වසරේ හොඳම බ්ලොග් අඩවි තෝරද්දි, "සරල ජනප්‍රිය බ්ලොග්කරණය" වෙනුවෙන් සම දෙවන ස්ථාන 5 ක් තෝරද්දි ඒ අතරට මගේ "සියපත" ත් නම් කළේ ඒ නිසා වෙන්න ඇති කියල මට හි‍තෙනවා.


* සේයාරූ මා විසින් ලබාගත් screen shots වලිනි. දැන් මෙම අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කරගෙන/ඉවත් කර ඇත.


මගේ සියපත කියලම ලිව්වේ වෙන හේතුවක් හින්දා නෙමෙයි. පහුගිය කාලේ අළුතෙන් සෑහෙන්න බ්ලොග් අඩවි ප්‍රමාණයක් බිහිවුණා නෙව. ඉතින් දන්නෙම නැතිව සියපත කියල තවත් අඩවියක් බිහිවෙලා තිබුණා. ඒක ටිකක් හිත සසල කරන සිදුවීමක් වුණත් අදටත් ඒ සොහොයුරා එක්ක මගේ අමනාපයක් නැහැ. ඒත් එක ම නමකින් අඩවි දෙකක් තියෙන එක කියවන්නන්ටත් අපහසුවක් නිසා මගේ අනන්‍යතාවය රැඳෙන නමක් යොදාගන්න මට ඕන වුණා. ඒ හන්දා රන්දිල් අක්කගෙත්, මාරයියගෙත් උපදෙස් මත මාව කවුරුත් දන්න හඳුනන සන්සරසිදු කියන නමින් ම මේ බ්ලොග් අඩවිය නැවත නම් කරන්නට මං හිත හදා ගත්තා. බ්ලොග් අඩවියෙ ලිපිනයත් එක්ක ගලපලා ගත්තම අඩවිය සඳහා හොඳටම ගැලපෙන නම හදාගන්න මට පුළුවන් වුණා කියල හිතෙනවා....

...::: සන්සරසිදු BlogSpot :::...

හිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...

ඉඳින්... අර කිව්වත් වගේ හිතේ තෙරපෙන දහස් සිතිවිලි අකුරු කරන්නයි මේ සුදානම....

33 දෙනෙකුගේ අදහස්....:

ගල්මල්-Coral said...

බොහෝම සන්තෝසයි සනා මල්ලී, ලියන්න. අපි එනවා ඔබේ හරබර පොස්ට් කියවන්න.

RanDil said...

හපොයි ගෙඹි පැටියා, :D ආයෙම ආව එක මොන තරම් දෙයක්ද? හා හා දැන් ඉතිං හිතේ තෙරපෙන දහස් සිතිවිලි අකුරු කරමු එහෙනං හැකි හැම විටම...... සුභ පැතුම් මලේ........

මැටි පහන් said...

:D

තීර්ථ යාත්‍රිකයා said...

සුභ පැතුම් සහෝදරයා.සාමාන්‍ය වේගයකින් දුවද්දී තමයි වැඩි දුරක් දුවන්න පුලුවන් වෙන්නේ.ජය..

Bindi said...

සුබ පැතුම් ..ලියන්න ..අපි කියවන්නම්

දිල් said...

මම උබව හොයාගෙන එනකොට උබ උන්නෙ ලස්සන කහ කිරිල්ලියක් ගැන කියන ගමන්...වෙලාවකට උබ අපිව ඇඬෙව්වා.තවත් වෙලාවකදී බැංකුවෙ පිස්සු බොස් ගෙ කතා වලින් හිනස්සුවා...ජීවිතේ උඹට කෙනෙහිලි කම් කරනකොට උඹ ජීවිතේ හැම දෙයක්ම අපිත් එක්ක බෙදා ගත්තා....

නම මොනා උනත් මොකද...මේ අපි දන්න කියන කෙනා..... ලියමු මල්ලියේ... දිල් අක්කත් ආයේමත් ඇවිත් ඉන්නෙ....

- නිල් අහස - said...

අනේ....හරිම සතුටුයි...මචං ...නැවත ආගමනය ගැන.
මමත් සෑහෙන කාලයක් බ්ලොග් කරනයෙන් අයින් වෙලා ඉදලා ලගදි තමයි ආයෙම ලියන්න ගත්තේ. මම ආපහු ඇවිත් උඹ ගැන හෙව්වා.

සැහෙන කාලෙකින් පෝස්ට් එකක් දාලා නැති බව දැක්කා... උඹේ බ්ලොග් එකට ගිය වෙලාවේ.

ඒ කොහොම උනත් උඹ ආයෙම ඇවිත්.
හරීම සතුටුයි ඒ ..ගැන.
ලියමු නේද ..ආපහු ...රහට.

තාරා said...

හරි සතුටු හිතුනා ආපහු මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැකලා... ආපහු ආවට සාදරයෙන් පිලිගන්නවා... දැන් ආයෙමත් දිගටම ලියන්න...

සන්සරසිඳු කියන්න්නෙ මගේ බ්ලොග් එකෙත් මුල්ම ෆලෝවර් කෙනෙක්...

sansarasidu said...

@ ගල්මල්-Coral,

බොහොම ස්තුතියි ගල්මල් අයියේ...
ඔයාල මා වටේ ඉන්න එක ම තමා මට දිගටම ලිවීම සඳහා ලැබෙන ලොකු ම හයිය...

sansarasidu said...

@ RanDil,

හික්ස්... කොහෙද අක්කනෙ අර මං යස අගෙට පුරව පුරව හිටි ප්‍රහේලිකා සීරිස් එක දාන එක නැවැත්තුවෙ... නැත්නං මං දිගටම සයිබරේ කරක් ගහ ගහවත් ඉන්නවනෙ...

බොහොම ස්තූතියි අක්කෙ සු පැතුම්වලට....
හැමදාම බැරිවුණත් සතියකට පාරක් දෙපාරක්වත් ලිපියක් ලියන්න උත්සාහ කරනවා...

sansarasidu said...

@ මැටි පහන්,

ස්තූතියි ගොඩවැදුනට....

sansarasidu said...

@ තීර්ථ යාත්‍රිකයා,

මට සමාවෙයන් සහෝ... උඹත් මුල ඉඳලම මේ පැත්තෙ හක්කලං ගැහැව්ව එකෙක් නෙව...

සුබපැතුමට ගොඩක් ස්තුතියි... සහෝ..

sansarasidu said...

@ Bindi,

මේ පැත්තෙ ඇවිත් වාරුවක් දුන්නට ගොඩක් ස්තූතියි සිස්...

sansarasidu said...

@ දිල්,

ඔයාල එදත් මට හයියක් වුණා... අදත් එහෙමමයි...
මං හැමදාමත් කියනව වගේ සයිබර් අවකාශයේ මේ ලෙංගතුකම හරි අපූරුයි අක්කෙ...

ගොඩක් සතුටුයි අක්කත් ආපහු ආ එක ගැන...
හැකි හැම වෙලාවෙම ලියන්න කියල අක්කගෙනුත් ඉල්ලනවා...

ඇත්තටම මට කියන්න වචන නැහැ...
ඒකට ස්තූතියි විතරක් කියල ආත්මාර්ථකාමියෙක් වෙන්න මට බැහැ...

sansarasidu said...

@ - නිල් අහස -,

කොහොම ද මචං...?
කොච්චර කාලෙකට පස්සෙ ද ?

උඹත් බ්ලොග් එක ලියන එක අතෑරල දාලා හිටි බව මටත් දැනුණා ඉඳල හිටල ඒ පැත්තෙ ගිය වෙලාවල... උඹත් ආයේ ආ එක කොච්චර දෙයක් ද ?
අර මං කිව්වත් වගේ දුකේදිත් සැපේදිත් උඹල මං ගාව හිටි එක ම මදෑ...

කියන්න වචන නැහැ මචං... ඇත්තටම ගොඩක් සතුටුයි...
උඹලව නැවත හමුවීම ගැන....

sansarasidu said...

@ තාරා,

ස්තූතියි සිස්.... ගොඩක් ස්තූතියි....

මට මතකයි.. තාරාගේ සිතිවිලි කියවන්න ඉඩ හසරක් ලැබුණු වෙලාවල මමත් ගොඩවුණා....

පිළිගැනිමටත් ගොඩක් ස්තූතියි !

මාරයාගේ හෝරාව said...

හම්මේ බොල මලයෝ..උඹලා රට වටේ හක්කලං කොරලා ආපහු එනකොට අපිට මෙතන හක්කලං කොරන්ට වෙලාවක් හොයා ගන්නට නැති වෙලා..කොහොම උනත් ආයෙමත් පරණ මතකය ඇවිස්සුවට පින් උඹට...

ආයෙමත් මුල් කාලෙට අරන් ගියා නෙව...හා හා ආයෙමත් ලියමු..අර බොලාලා ගෑනු ළමයින්ව දකින ප්‍රමාණය..මොකක්ද බං මට ඒක මතකත් නැහැ..උඹම තමා ඒ සයිස් එක ගැන ඉස්සර ලිව්වේ..පෝස්කාඩ් සයිස්ද?..මුද්දර සයිස්ද..? එහෙමත් නැත්තං වෙන එකක්ද අනේ මංදා..අර උඹලාට කවුන්ටරෙන් පේන සයිස් එක ගැන..මට තාම මතකයි ඒ කතා ටික..

අභීත said...

කමෙන්ට් නොකරට අපි හැමදාම ඇවිත් ගිහින් ඇති...

පිස්සා පලාමල්ල said...

මාස ගානකින්.... ආයෙම ලියන්න හිතුන එක ලොකු දෙයක්.... අපි කියවනව නොවැ... ලියමු

arunishapiro said...

ඔබගේ දෙවැනි ශික්ෂා පදය ගැටළුවකි මට. දේශපාලනය තරම් ඒකීය පුද්ගලයාගේ ජීවිතයට බලපාන්නා වූ වෙනත් දැයක් නැති තරම් ලෝකයක ජීවත් වන ඔබ ඉන් ඈත් වී සිටින්නේ ඇයි?

ආගම්වාදය හා ජාතිවාදය සේ නොව දේශපාලනයෙන් ඈත් වී සිටීම හැම දිනයකම ජීවිතයට දැඩි බලපෑම් කරත හැකි වූවක් නොදැක ඉන්නට දරණ උත්සාහයක් නොවේ ද?

සුබ පැතුම්!

priyantha said...

අම්මේ මල්ලි. ආයෙම ආව එකනම් හරිම සතුටක්. මම බලන් හිටියේ ආයේ කවදාද ලියන්න එන්නේ කියලයි.
සුභ පැතුම් ..!!!

sansarasidu said...

@ මාරයාගේ හෝරාව,

හිහ්.. හීහ්.. මාරයියට තාම මතකයි ඈ...

පාස්පෝට් සයිස් අයියා... පාස්පෝට් සයිස්....

බැංකු ජීවිතේ රස කතා නම් තව නොසෑහෙන්න තියේ...
හෙමි හෙමින් දාන්නංකො...

ගොඩක් ස්තුතියි අයියේ දුන්නු පන්නරයට..

sansarasidu said...

@ අභීත,

මං දන්නවා අයියා...
අයියටත් ගොඩක් ස්තූතියි...

sansarasidu said...

@ පිස්සා පලාමල්ල,

උඔටත් නොසෑහෙන්න ස්තූතියි මචෝ...
උඔල නේන්නං හැමදාමත් මාව දිරිමත් කොළේ...

sansarasidu said...

@ arunishapiro,

අරුණි අක්කේ..(කවුරුත් ඔබට අරුණි අක්කා යැයි අමතන නිසා මාද එසේ අමතනවාට ඔබ අකමැති නැතැයි සිතනවා)

මුලින්ම පිළිතුරු ලියන්න ප්‍රමාද වුණ එක ගැන සමා‍වෙන්න...

ඔබේ කමෙන්ටුවේ හැටියට මා බ්ලොග්කරණයේදි අදහන පංච ශීලයේ දෙවැනි සික පදය ගැන ඔබට ගැටළුවක් ඇති වී ඇති බටක් පෙනේ. හුදෙක් මා මෙහිලා සටහන් කළේ, මා මේ බ්ලොගය ලියන්නට පටන් ගත් දා සිට ස්වයං විනයක් පවත්වාගැනීම සඳහා මා විසින් මටම පනවා ගත් නැත්නම් යොදාගත් මාර්ගෝපදේශයන් පහක් ගැන පමණි. ඒවා මෙසේ සටහන් කිරීමේ අරමුණ මෙය කියවන අය ඒවා අවශ්‍යයෙන්ම පිළිපැදින තැනට හෝ ඒවා පිළිගන්නා තැනට ගෙන ඒම නොවේ..එවැනි අදහසක් ගම්‍ය වීමට මා කිසිවිටකත් ඉඩ තමා නැති බව ද මෙහිලා සටහන් කරන්නට කැමැත්තෙමි. මා නිවැරදි යැයි කියාගෙන එතැන හිටගෙන සිටිමින් අන් අයත් එතැනට ගෙන්වා ගැනීමේ අදහසක් මා වෙත කිසි විටෙකත් නොතිබුණි...

දේශපාලනය, ඒකීය පුද්ගලයාගේ ජීවිතයට ඇති කරන බලපෑම ගැන ඔබ දක්වන අදහස සම්බන්ධයෙන් තර්කයක් නැහැ.. එහෙත් මා මේතරම් එයින් ඈත් ව සිටින්නේ ඇයිදැයි ඔබ අසන පැනය මට වටහා ගත නොහැකියි...
හොඳයි අපි මෙහෙම අරගෙන බලමු... අද සමාජයේ කොයි තරාතිරමක කෙනෙක්ගෙන් වුණත් දේශපාලනය ගැන විමසුවොත් ලැබෙන පිළිතුරු කොයි වගේ ද ?
බොහෝ දෙනා පටන් ගන්නෙම "මේක මහ මඩ වලක් ! අසූචි ගොඩක් !" කියල නෙමෙයි ද ? ඉතින් ඇයි අපි දැන දැන ම ඒ මඩ වලට බහින්නෙ..? ඒ අසූචි නා ගන්නේ..?

මා එය නොදැක ඉන්නට උත්සාහ දරණවා යැයි කියන ඔබේ කියමන මා පිළිගන්නවා.. ඒකට හේතුව මා ඉහතින් සඳහන් කළ දේ ම තමා...

මගේ අඩවියට දේශපාලනය ඈඳා නොගන්නට මා ගත් තීරණය අතිශයින්ම පෞද්ගලික වූවක්... අසූචි නා ගන්නට මා තුළ ඇති බලවත් අකමැත්ත පමණක් ඉන් විද්‍යමාන වන බව ඔබ තේරුම් ගනු ඇතැයි විශ්වාස කරනවා...

සංවාදයක් ගොඩනැගුවාට ඔබටත් බොහොම ස්තූතියි අක්කේ...

sansarasidu said...

@ priyantha,

ගොඩක් ස්තුතියි ප්‍රියන්ත අයියේ... ඔටත් ඇත්තට ගොඩක් සතුටුයි ඔයාලගේ කමෙන්ට්වලට මේ විදිහට උත්තර දෙන්න ආයෙම ඉඩ ලැබිච්ච එක ගැන....

nimanthi said...

ඇති යන්තන් ආපහු මේ පැත්තේ එන්න හිතුනා

sansarasidu said...

@ nimanthi,

මොනව කරන්න ද අක්කේ.... දවස තිස්සේ අර කොම්පියුටර් තිර දිහා බලාගෙන ඉඳල රෑ ගෙදර ආවම පුදුම හිසරදයක් තියෙන්නෙ... ගෙදර කොම්පියුටරේ දාන්න තියා අල්ලන්නවත් හිතෙන්නේ නැ නෙව...

බලමුකො හැමදාම නැතත් සතියට එකක් දෙකක්වත් ලියන්න බලනවා...

හා පැටික්කි (MS) said...

අම්මේ මං නැති දවස් ටිකට අයියත් ඇවිල්ලා....... කොහෙද ඉතින් මං සති තුනක් අරහේ ගියානේ..... ඔව් ඔව් එහේ තමයි. බොහොම සතුටුයි ආයෙමත් අපේ අයියා බ්ලොග් ලියන්න ආපු එක ගැන. (හැබැයි තරහයි මාව අමතක කලාට) හී.........

එහෙනම් ආයෙම ලියන්න ආපු මේ පාර දිග....ටම ලියන්න කියලා ඉල්ලා සිටිමින් සුභ පතනවා අපේ අයියට..........!!!!!

sansarasidu said...

@ හා පැටික්කි (MS),

මට අමතක වෙනව ද අපේ මයික්‍රොසොෆ්ට් හා නගාව.. ආ ??

ආයේ ලියන්න ආපු පාර තාම ලිපි දෙකයි නගේ ලියවුණේ... ලියන්න හිත හිත හිටියට ලියවෙන්නෙ නැහැනෙ..

ස්තූතියි නගාගේ සුබපැතුම්වලට...

sanjaya සිතුවිලි said...

සුබපැතුම් දිගටම ලියන්න .. අපි බලාන ඉන්නවා ..හිම්න් හොදට දන්න්නවනේ

sansarasidu said...

@ sanjaya සිතුවිලි,

ගොඩක් ස්තුතියි අයියෙ පන්නරයට....

Hasitha said...

සුබ පැතුම් අයියා... කාලෝ අයන්තේ

Post a Comment