යතුරු පුවරුව පුරා අතැඟිලි මෙහෙයවද්දි මට දැනුණේ ආගන්තුක නුහුරු නුපුරුදු බවක්.... ඒත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් තිබුණේ නැහැ.... මං ආයෙම ලිපියක් අකුරු කරන්නේ ගිය අවුරුද්දේ ජුලි මාසෙන් පස්සෙ.... මාස හයකටත් වඩා ගෙවිල ගිහින්.... මට ම පුදුමයි... ආපහු හැරිල බලත්දි.... ජීවිතේදි වගේම බ්ලොග් අවකාශයේදිත් මට ගොඩක් දේවල් ඒ කාලය තුළ මගහැරිල තියෙන පාටයි.... ආයේ ලියන්න හිත හදාගන්න පුළුවන් කමක් තිබුණ නම් මං නොලිය ඉන්නෙත් නැහැ... ඒත් මට ම නොදැනෙන විදිහට මට මාවම අමතක වෙලා.... එක නිමේෂයකදි අපේ ජීවිත කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද ? ඒ ගැන කියන්න මගේ කතා අවශ්‍ය නැහැ... මේ ළඟකදි මං අත්දැකපු හරිම සංවේදී කතාවක් මං පස්සේ දවසක "තවත් දවසක" තුළින් අරගෙන එන්නම්... ඇත්තටම වෙනදට මං යතුරු පුවරුව හරහා අතැඟිලි මෙහෙයවන්නේ බොහොම නිරායාසයෙන්.... ඒත් අද.... අද මං මේ වචන ටික යතුරු කරන්නෙත් බොහොම ආයාසයෙන්..... ඉස්සර ඉංග්‍රීසි යතුරු පුවරුව වගේම සිංහල විජේසේකර යතුරු පුවරුවත් මගේ ඇතැඟිලි වලට හොඳට හුරුපුරුදුයි.... ඒ පුරුද්ද මට ලැබුණේ මං මුලින්ම පත්තර රස්සාවට යන්න කලින් ඩෙස්ක්ටොප් පබ්ලිෂින් ඉගෙන ගන්න කාලේ.... ඔව් ඒ මීට අවුරුදු හය හතකට ඉස්සර.... පත්තර රස්සාව කිව්වට මං කළේ ටයිප් සෙටින්.... හොඳකට හෝ නරකට මට ඒක කරන්න ලැබුණේ මාස තුනක් වගේ කෙටි කාලයක් විතරයි.... ඉන් පස්සේ මං හීනෙන්වත් නොහිතපු විදිහට මට මේ රස්සාවට එන්න ලැබුණා.... ඔච්චර සුදුසුකම් තියාගෙනත් පුතා ඔය වගේ පැත්තක් තෝරගත්තේ ඇයි කිය කියා වැඩිහිටියෝ හැමොම වගේ අහත්දි මං ඇත්තටම ඒ පත්තර රස්සාවට ආස කළා.... සතියකට දෙතුන් දවසක් රූ නිදිමරාගෙන වැඩ කරල එතනම පුටු ටිකක් එකතු කරලා පැය හකරක් පහක් ඇහැ පියාගෙන ඉඳල ආයේම ඊළඟ දවසේ ඩේ එක කරල ගෙදර යන එක මට ඒ හැටි දෙයක් නොවුණත් මං ඒ තරම් මහන්සිවෙනවා දකින්න අපේ අම්මා කැමති වුණේ නැහැ... අම්මගේ ඒ අකමැත්ත නොවෙන්න මට පත්තර රස්සාව අතෑරලා මේකට එන්න හිත හදාගන්න බැරිවෙන්න තිබුණා කවදාවත් ම....
ම්ම්.... මං මේ මොනව ලියනව ද කියල මටම තේරෙන්නෙ නැහැ..... ඇත්තම කිව්වොත් පීසි එක ඉස්සරහ ඉඳ ගනිද්දිවත් ලියන්න ඕන දේ ගැන මට අදහසක් තිබ්බේ නැහැ... ඔහේ හිතට ආපු අදහස් ටිකකට නිදහසේ අකුරු වෙන්න ඉඩ දුන්නා විතරයි.... ආයෙමත් ඉස්සර වගේ ලියන්න ආසයි... ඒත් ඒක කරගන්න පුළුවන් වෙයිද කියල හිතට විශ්වාසයක් නැහැ... මං ආයේ ලිව්වත්.... මේ වගේ කිසි කමකට නැති වල් පල් ටිකක් ලියවෙන්න තියෙන ඉඩ වැඩියි....
ජී වි ත ය ….. අකුරු හතරක් විතරක් වුණාට වෙලාවකට ඒ අකුරු හතර මහමෙරක් වගේ කියල හිතෙන වාර අනන්තයි..... අතේ ඇඟිළි පහ එක වගේ නෙවෙයිනෙ.... ඒ වගේ මේ ලොකේ ඉන්න විවිධාකාර මිනිස්සුන්ට තියෙන්නේ විවිධාකාර ප්‍රශ්න..... ඒත් ඒ හැමෝගෙම ප්‍රශ්න මැද්දෙන්..... ඒ කිසිකෙනෙකුට නොදැනී ජී.. වි... ත.. ය.... ඉස්සරහට ගලාගෙන යනවා..... සමහරු හැල්මේ දුවනවා.... තවත් සමහරු නැවතිල බලන් ඉන්නවා.... සමහරු අඬනවා... වැළපෙනවා..... තවත් සමහරු හිනාවෙනවා.... ඔල්වරසන් දෙනවා.... ඒත් ජීවිතය ඒ කිසි දෙයක් ගැන හැලහොල්මනක් නැතුව ඔහේ ගලාගෙන යනවා....
මාත් දන්න කියන කාලේ ඉඳලම මගේ ජීවිතය හෙව්වා... මං හැමදාම හිතුවේ ඒක තියෙන්නෙ.... මගේ හීන කුමාරි ගාව කියල.... අවුරුදු දෙකකට කලියෙන් ඇය මුණගැහුණ මොහොතෙ මං හිතුවේ මට ජීවිතය හම්බවුණා කියල.... ඒත් එක නිමේෂයකින් මගේ ජීවිතය මගෙන් ගිලිහේවි කියල මං කවදාවත් හිතුවේ නැහැ... ජීවිතය ගංඟාවක් නම් අද ඇය ඒ ගංඟාවේ එක ඉවුරක.... මං අනෙක් ඉවුරේ..... අපිට වෙන් වෙන්න වෙලා තියෙන්නේ අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නිසා නෙවෙයි.... ඒ හින්දා... හිතින් වැළපී වැළපී අපි දෙන්නම..... නැවතිල බලන් ඉන්නවා.... ඒ තමයි ජීවිතේ හැටි.... සමහර සිද්ධිවලදි අපි ජීවිතයත් එක්ක ඉස්සරහට යන එක නතර කරනවා.... ඒත් ජීවිතය ඉස්සරහට ඇදෙන එක නතර කරන්නෙ නැහැ.....
ඒ තමයි ජීවිතය....
ඇත්තටම මායාවක් වගෙයි....