සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

16 November 2010

ඕවා අපිට කැප නෑ !!!

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !



Image: Francesco Marino / FreeDigitalPhotos.net

මෑත දිනක මගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ කතාබහක යෙදී ඉන්නා නිදහස් මොහොතක හදිසියෙන් මෙන් සිහිපත් වූ යමක් ඔවුන් වෙතින් විමසුවෙමි.

“මචං උඹල ගාව නැද්ද මුද්දර …???”

“මුද්දර...???”
පිළිතුරක් වෙනුවට ලැබුණේ ප්‍රශ්නාර්ථයකි.

“හෑහ්.. උඹ තාම මුද්දර එකතු කරනවාද ? ෂික් ලැජ්ජ නැද්ද බං... පොඩි එකෙක් වගේ මුද්දර එකතු කරන්න...??”
මගේ එක් මිත්‍රයෙක් මදෙස බලා අවඥාසහගතව සිනහසෙයි.

මම මොහොතක් ඔහු දෙස බලා සිටියෙමි. ඔහුගේ නොදැනුවත්කම ගැන සිතා සිනහසෙනවාද නැත්නම් අවඥාව ඉදිරියේ කේන්ති ගන්නවාදැයි මට සිතාගත නොහැකි විය. එහෙත් තවත් එතැන රැඳී සිටින්නට අපහසු බවක් දැනුනෙන් හිඳ හුන් තැනින් නැගී සිටියෙමි. මොකුත්ම නොකියා ඉවතට යන්නට සිත් නොදුන්නෙන් යන්නට ගිය ගමන නවතා මගේ මිතුරා දෙසට හැරී මෙසේ පැවසුවෙමි.

“Machan, Stamp collecting is a hobby of Kings and The King of all hobbies. It's not only for children.”

ඉන් පසු ඔවුන් මොනවා පැවසුවාදැයි මා නොදන්නේ තවත් එතැන නොසිට ඉවතට ගිය බැවිනි. එදා ම'සිතේ හට ගත්තේ සියුම් කලකිරීමකි. පුංචි ලංකාව තුළ ලොව අග්‍රගණ්‍ය විනෝදාංශය වෙත ඇති මෙවැනි ආකල්ප ගැන සිහිවන හැමවිටම මුවඟින් සුසුමක් ගිලිහෙන්නේ නිරායාසයෙනි.

මට හදිසියේම සිහිපත් වූයේ කලකට ඉහත එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ කුමර කුමරියෝ වැඩසටහනකි. ඊට සහභාගී වීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට පවා තරුණ තරුණියන් පැමිණෙන බව පෙනෙන්නට තිබිණ. එම වැඩසටහන අතර තුර නම ගම හැරෙන්නට නිතරම වාගේ විමසන පැනයක් වූයේ “ඔබේ විනෝදාංශ මොනවාද ?” යන්නයි. අසන්නට ලැබුණු පිළිතුරු අතර වැඩිපුරම වාගේ අසන්නට ලැබුණේ “මුද්දර එකතු කිරීම” යන පිළිතුරයි. වෙනකක් තබා පාසල් යන වයසේ දරු දැරියන්ගෙන් වුවත් ඔබේ විනෝදාංශ මොනවාදැයි විමසුවහොත් මුලටම ලැබෙන පිළිතුර මුද්දර එකතු කිරිම යන්නයි. එහෙත් මෙලෙස පිළිතුරු දෙන සැවොම සැබෑ ලෙසම මුද්දර එකතු කරනවාදැයි විමසා බැලීම වටී. කොහෙන් හෝ හොයාගත් කොටු රූල් පොතක් පිරෙන්නට පාප්ප හෝ ගම් ගෑ මුද්දර, බුරුතු පිටින් අලවා එයට මුද්දර පොත යැයි කියන අපි හැබෑවටම මුද්දර එකතු කිරීම ගැන දන්නේ මොනවාද ? මේ සම්බන්ධයෙන් සමාජය ප්‍රමාණවත් පරිදි දැනුවත් ව සිටිනවාද ? මේ පුංචි රටේ සැබෑවටම මුද්දර එකතු කිරීම ගැන උනන්දුවක් දක්වන්නෙකුට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලැබෙනවාද ? මේවා පිළිතුරු නැති ප්‍රශ්න සමූහයක් පමණකි.

පාසැල් වියේදී මුද්දර සමාජ කිහිපයකම සාමාජිකයෙකුව සිට ලත් අත්දැකීම් අනුසාරයෙන් සකසා ගත් හින්ජ(ර්)ස් (Stamp Hingers) මගින් මුද්දර රඳවා තබන වීරෝදාර මුද්දර සුරුකුම් පොතක් තවමත් මා වෙත ඉතිරිව තිබේ. හිතෙන හිතෙන හැටියට වියදම් කර මුද්දර පොත් රැගෙන දෙන්නට මගේ පියාට වත්කමක් නොවුණු ඒ කාලයේ ඒ එකම මුද්දර පොත මට මහානර්ඝ වස්තුවක්ම විය. පසු ගිය දිනෙක පොත් ලාච්චුවක් අවුස්සද්දි ඉතා සුරැකිව තබා තිබුණු ඒ අනර්ඝ වස්තුව නැවතත් මගේ දෑතට පත් විය. කාලයේ වැලි තලාවට යට වී තිබුණු මුද්දරවලට බැඳි ආදරය නැවතත් පණ ලබන්නට විය. තවත් එවැනි මුද්දර සුරැකුම් පොත් කිහිපයක් මිලට ගැනීමේ අදහසින් දින කිහිපයකට පෙර පොත් සාප්පු කිහිපයකම කරක් ගැසුවෙමි. අවාසනාවක මහත. ඒ හැම එකකම මුද්දර සුරැකුම් පොත් (Stamp Albums) කියා විකුණන්නට ඇත්තේ මුද්දර රැඳවුම් පොත් (Stamp Stock Books)ය. පළපුරුදු මුද්දර එකතු කරන්නන්ට අවශ්‍ය කරන අනෙකුත් ආම්පන්න වන මුද්දර අඬු (Stamp Tweezers/Tongs), මුද්දර රඳවන (Hingers), තීරූ රඳවන(Mounts), විශාලක කාච (Magnifiers & Loupes), විදමන් ආමානය (Perforation Gauge), වර්ණ දර්ශකය (Colour Guide), දියසලකුණු දර්ශකය (Watermark Detectors), පාරජම්බුල පහන් (Ultraviolet Lamps) ආදීය සොයාගන්නට ඇති අපහසුව ගැන කියනුම කවරේද? මුද්දර අඬුවක් සොයා ගන්නට බැරිම තැන එය eBay හරහා ගෙන්වා ගන්නට මට සිදු විය. eBay හරහා සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගත හැකි වුවද දරන්නට සිදුවන තැපැල් ගාස්තුව ගැන සිතීමේදි එය එතරම් වටින්නේ නැත. අනෙක් අතට බොහෝ eBay වෙළෙඳුන් මේ පුංචි රටට භාණ්ඩ එවන්නේද නැත. මට අවශ්‍ය මුද්දර සුරැකුම් පොත් ගැන eBay හරහා සෝදිසි කර බැලුවෙමි. මිල සාධාරණ වුවද ගෙවන්නට සිදුවන තැපැල් ගාස්තුව දුටු විට ඊට ඇති ආශාව අත්හැර ගතිමි. තැපැල් ගාස්තුව භාණ්ඩයේ මිල මෙන් තුන් ගුණයකට ආසන්නය. වෙනත් රටවල මුද්දර එකතු කරන්නන්ට නම් වැඩි අපහසුවකින් තොරවම අවශ්‍ය ආම්පන්න මෙන්ම විවිධාකාරයේ මුද්දර සුරැකුම් පොත් වර්ග ද ලබා ගැනීමේ වරම හිමි වී තිබේ. එනයින් ගත් කළ ශ්‍රී ලාංකික මුද්දර එකතු කරන්නන්ගේ තත්වය සැබවින්ම කණගාටුදායක ය.

අහම්බයෙන් වාගේ මට, ශ්‍රී ලංකා තැපැලෙහි (Sri Lanka Post) වෙබ් අඩවියට පිවිසෙන්නට ලැබුණේ මෙසේ මුද්දර සුරැකුම් පොත් ගැන සොයමින් අන්තර්ජාලය තුල සැරිසරමින් ඉන්නා අතරතුර ය. එමඟින් යොමුවුණු සබැඳියකින්, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ (Philatelic Bureau) අඩවියට පිවිසුණෙමි. ඔවුන්ගේ නිෂ්පාදිත ලැයිස්තුවෙහි මුද්දර සුරැකුම් පොත් ගැනද සඳහන් වූ බැවින් කෙසේ හෝ එහි යාමට ඉටා ගත්තෙමි. එහිදි දැන ගත් තවත් දෙයක් නිසා මගේ උද්යෝගය තවත් වැඩි විය. ජාතික තැපැල් කෞතුකාගාරය ද පිහිටා ඇත්තේ ඊට යාබදව ය.

දින 10 යේ වාර්ෂික නිවාඩුව ලබාගෙන මුද්දර කෞතුකාගාරය පැත්තේත් යායුතුයැයි සිතාගෙන සිටියෙමි. අවසානයේ කාර්යබහුල දවස් අහවර වෙන තුරු බලා සිටියේ පොඩි එකෙකු මෙන් ඇඟිලි ගනිමිනි. නිවාඩුව අනුමත විය. අන්තිමේ ගිය සිකුරාදා ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානය වෙත ගියේ කෞතුකාගාරයද නරඹා මුද්දර කාර්යාංශයට ගොස් මුද්දර සුරැකුම් පොතක් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙනි.

නවීන ගෘහ අලංකරණ ආදියෙන් සමන්විත ශ්‍රී ලංකා තැපෑලේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල තට්ටු කිහිපයකින් සමන්විත එකකි. ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටියේ එහි පහත මාලයේය. තැපැල් කාර්යාලය ඇතුළත මුද්දර කාර්යාංශයේ වෙළඳ කවුළුවක් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබුණෙන් පළමුව එහි පිවිසුණෙමි. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ ගති, නවීන මෙවලම් හා උපාංග පරයමින් මෙතැනත් විද්‍යමාන වෙයි. අවාසනාවක මහත. එහිද ඇත්තේ පොත් සාප්පුවල විකුණන්නට ඇති Stock Book එකම ය. එහෙත් අහම්ඹයෙන් මෙන් අගනා වස්තුවක් මනෙත ගැටිණ. ඒ 1948 – 2005 දක්වා ශ්‍රී ලංකාව තුළ නිකුත් කළ මුද්දරවල විස්තර අඩංගු මුද්දර නාමාවලියකි (Stamp Catalog). මුද්දර කාර්යාංශය විසින් ඉතා අගනා ලෙස මුද්‍රණය කර තිබුණු එය, රැපියල් දෙදහසකට මිල කර තිබුණද එහි ඇති වටිනාකම සලකා එයින් එකක් මිලදී ගත්තෙමි.


Image: FreeDigitalPhotos.net

කෞතුකාගාරයට පිවිසෙන දොරටුව ඇත්තේ ප්‍රධාන තැපැල් කාර්යාලයට වම් පසිනි. කෞතුකාගාරයට පිවිසීම සඳහා එම දොරටුවත් ඊට මදක් ඔබ්බෙන් ඇති මුද්දර කාර්යාංශයත් පසු කළ යුතුය. අවසානයේ බලාපොරොත්තු කඩ වූ සිතින් තැපැල් කෞතුකාගාරය නරඹන්නට ගියෙමි. ඇතුල්වීම සඳහා ටිකට් ලබාගැනිමක් අවශ්‍ය නොවුණි. මා කෞතුකාගාරයට ඇතුළුවත්දි එහි පාළුව රජයමින් තිබිණ. මා හැරෙන්නට වෙනත් කිසිදු නරඹන්නෙකු එහි නොවීය. එය එක් අතකින් මට නිදහසේ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර දීමක් විය. පැරණි දින මුද්‍රා වල සිට ශ්‍රි ලංකා තැපෑල හා සම්බන්ධ සෑම සියලු දෙයක් ම පාගේ එහි තැන්පත් කර තිබිණ. එහි ඉහත මාලය මුද්දර ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කර තිබේ. එහිදී හමු වූ අකිල මහතා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ආයතන පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ සිට කිහිපදෙනෙකුගෙන්ම විමසා වත් දැන ගන්නට නොහැකි වු කරුණු රැසක් මට ඔහුගෙන් දැන ගත හැකි විය. තවමත් වැඩි දෙනෙකුගේ නෙත ගැටී නැති ජාතික තැපැල් කෞතුකාගාරය කුඩා දරු දැරියන්ට මෙන්ම මුද්දර වලට ආදරය කරන කොයි කාටත් ඉතා වැදගත් වන බව නම් නිසැකය.

ජාතික තැපැල් කෞතුකාගාරයේ හා මුද්දර ප්‍රදර්ශනාගාරයේ ඡායරූප එකතුවක් පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.

ජාතික තැපැල් කෞතුකාගාරය – සේයාරූ එකතුව


එසේම අවසාන වශයෙන් ඉතා වැදගත් පණිවුඩයක් ඔබ අතට පත් කරන්නට කැමැත්තෙමි.

උපුටා ගැනීම - ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් පළ කළ දැන්වීමකිනි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ මුද්දර සල්පිළක් මෙම නොවැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ, ඩී ආර් විජේවර්ධන මාවතේ, නො 310 හි පිහිටි ශ්‍රි ලංකා තැපැල් මූලස්ථානයේදි පැවැත්වේ. සයිබර් අවකාශයේ සැරිසරන මුද්දර ලෝලී ශ්‍රී ලාංකික ඔබ සැමට මෙය අගනා අවස්ථාවක් වනවාට නොඅනුමානය෴


මෙම ලිපි පෙළ සඳහා e Philatelist නමින් අළුත් අඩවියක් ඇරඹීමට අදහස් කර ඇති අතර මුද්දර එකතු කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පහත සබැඳිය ඔස්සේ එය හා එක් විය හැකියි.



>>> Coming Up Next >>>
මුද්දර එකතු කිරීම ගැන (දන්නා තරමින්) ගෙන එන ලිපි පෙළ...
විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව...
බැංකු දිවියේ සංවේදී සටහන්පෙළ...
බැංකු දිවියේ රස කතා පෙළ...

02 October 2010

දෙවියන්ගේ මිටි පහර | Hammer of the Gods

Image: Francesco Marino / FreeDigitalPhotos.net


රාත්‍රිය නිසලය. මහාචාර්ය ෆර්මන් ස්පෙන්සර්, ඔරායන් පසුපස දුවන මහබල්ලා දෙස සිය කාර්යාල කාමරයේ වීදුරු බිත්ති තුළින් බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරව ය. හදිසියේ ම ඔහුගේ සිහියට නැගුණේ තමන් මේ දකිමින් සිටින්නේ සමස්ත විශ්වීය ඉතිහාසය ම නොවේ ද යන්න ය. ඔහු සිය දෑත දිගු කර සීරියස් වෙතින් නික්මෙන නිල් පැහැ ආලෝකය දෑතට මිරිකා ගන්නට උත්සාහ කළේ නොදරුවෙකු මෙනි. ඉන්පසු, හිස බිමට නැඹුරු කර ගත් හේ දෑත් පිටුපසට කරගෙන කාර්යාල කාමරය පුරා එහාටත් මෙහාටත් සක්මන් කරන්නට වුයේ සිතිවිලි සයුරක කිමිදෙමිනි. සන්සුන් කර ගැනීමට කෙතරම් උත්සහ කළ ද ඔහුගේ සිත බෙහෙවින් නොසන්සුන් වී ඇත. ඔහුට දැනුණේ කාලය ගත වන වේගය වැඩි වී ඇති බවකි. පරිගණක වාර්තාව විශ්ලේෂණයට යවා පැය ගණනාවක් ගත වි ඇති බවක් දැනුණත්, සිය ඔරලෝසුව දෙස බැලු ෆර්මන්ට පෙනුණේ, තවමත් ගත වී ඇත්තේ අඩ හෝරාවකටත් අඩු කාලයක් බව ය. ඔහු ජීවිතයේ කිසිදාක මෙතරම් නොසන්සුන් වී නැත. තමන්ගේ පෞද්ගලික ව්‍යාපෘතියක් සම්බන්ධ වාර්තාවක්, මාසයක් දෙකක් ප්‍රමාද වුව ද ඔහු මේ තරම් කළබල නොවනු ඇත.

අවසානයේ සක්මන නවතා දැමූ හේ රූපවාහිනී දුරකථනය වෙත පිය නැගී ය. රිසිවරය අතට ගන්නා අතර ම කාර්යාල කාමරයේ ස්වයංක්‍රීය දොර විවර වන හඬ ඇසුණෙන් හැරී බැලු ඔහු දුටුවේ වාර්තාවත් අතැති ව කාමරයට පිවිසුණු ආචාර්ය කැඩිලැක් ස්වර්ණසිංහ ය. සිය සහයකයාගේ මුහුණේ නිතර රැඳෙන සිහින් සිනහව අතුරුදන් වී, ඒ වෙනුවට එහි බැරෑරුම් දුක්මුසු පෙනුමක් රැඳී ඇති බව දුටු මහාචාර්යවරයාට සිතුණේ, තමා දැන් අසන්නට යන්නේ, සිය ජීවිත කාලය තුළ අසන්නට ලැබෙන අමිහිරිම පුවත බව ය.

“එහෙනම් ඒක ඇත්තක් !”
ෆර්මන්ගේ වෙව්ලන හඬ කාමරය පුරා දෝංකාර දෙන්නට විය.

“ඔ..ඔව්... අපි හිතුව විදිහට පරිගණකවලට වැරදිලා නැහැ. මං වාර්තාව ස්වාධීන පද්ධති හතරකින්ම විශ්ලේෂණය කළා... ඇත්තටම මට කණගාටුයි ෆර්මන්.. දැන් ඒක එන්නෙ මෙහාටමයි”

මහාචාර්ය ෆර්මන්ට කිසිවක් කියාගත නොහැකි විය. හෙතෙම අසළ වූ අසුනකට බර වුයේ දිගු සුසුමක් හෙළමිනි.

* * * * * * *


ඔවුන් ගොඩාර්ඩ් පාලන මැදිරිය තුළට පිවිසෙන විට ද එහි බොහෝ පිරිසක් රැඳී සිටිය හ. පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියේ නිලධාරීන් මෙන්ම පාලන මැදිරියේ කටයුතු බාර නිලධාරීන් ද ඒ අතර විය.

“සේරම හරි ද... ?” ෆර්මන්, පාලන මැදිරි ප්‍රධානියා විමසී ය.

“හරී සර්.. නිකුත් කිරීමට තව මිනිත්තු තුනයි..”
පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘති ප්‍රධානියා මොහොතක් සිය ඔරලෝසුව දෙස බලා සිටියේ ය. දැන් නම් කාලය ගත වන්නෙ ඉතා සෙමින් යැයි ඔහුට සිතේ.

“පද්ධති පරීක්ෂාව සම්පූර්ණයි... ටයිටන් V නිකුත් වීමට සියල්ල සුදානම්.” ඒ පවර් 3000 කෘතිම බුද්ධිය මගින් මෙහෙයවන ස්වයංක්‍රීය පරිගණකයයි.

තවත් මොහොතක් සිය ඔරලෝසුව දෙස බලා සිටි මහාචාර්යවරයා අවසන් විධානය ලබා දුන්නේ ය.
“පසු ගණනය අරඹන්න...”

“පසු ගණනය අරඹනවා... දහය... නවය... අට.... හත... …. … තුන.... දෙක... එක..... එන්ජින් ක්‍රියාත්මකයි... ටයිටන් V නිකුත් වුණා...”
ස්වයංක්‍රීය පරිගණකයේ හඬ, මහාචාර්ය ෆර්මන්ට දැනුණේ සිහිනයක දී ඇසුණු හඬක් ලෙස ය. ඈත දුම්රොටු අතරින් ඉහළ නගින න්‍යෂ්ටික අවිය වාහක රොකට්ටුව දෙස, දෙනෙතිය තුළින් ඔහුගේ දෑස් යොමුවී තිබිණ. ඔහුට හැඟුණේ ඒ ඉහළ නගින්නේ න්‍යෂ්ටික අවියක් නොව සමස්ත මානව වර්ගයාගේම එකම බලාපොරොත්තුව බව ය.

“නිකුත් වීම සාර්ථකයි... අවසන් මග සැකසුමට තව මිනිත්තු 17 යි...”
පරිගණකයේ යාන්ත්‍රික හඬ නැවතත් ඇසෙයි... ෆර්මන් දෙනෙතියෙන් සිය දෙනෙත් මෑත් කර ගත්තේ ය. ඔහුගේ දෙනෙත් කැඩිලැක්ගේ දෙනෙත් හා ගැටුණේ ඒ අවස්ථාවේ දී ය. සිය සහායකයාගේ දෙනෙත් තුළ නලියන වේදනාව පසක් කර ගන්නට මහාචාර්යවරයාට එම බැල්ම ම ප්‍රමාණවත් විය. ඔහුට මෙන් ලතවෙන්නට තමන්ට ද පවුලක් නොසිටීම ගැන සිතා සතුටු විය හැකි දැයි ෆර්මන් තමන්ගෙන් ම අසා ගත්තේ ය.

බොහෝ කල් පසු වී හඳුනාගත් AE 19201, ඒ වන විට ද පැවතියේ බ්‍රහස්පතීගේ කක්ෂය පසු කරමිනි. පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘති නිලධාරීනට සැනසුම් සුසුමක් හෙළන්නට හැකි වුයේ AE 19201 හි ගමන් මග අනාවරණය කර ගත් පසුව ය. එය නොසැලකිය යුතු තරම් දුරකින් පෘථිවිය පසු කර යන බව දැන ගත් නිසා අනතුරක් ගැන සිත් යෙදවීමට හේතුවක් ඔවුනට පෙනුණේ නැත. AE 19201 යනු තවත් අපූරු ගවේෂණ වස්තුවක් පමණක් විය. බැලූ බැල්මට පෙනෙන්නට තිබුණේ සියල්ල හොඳින් සිදු වන බවකි. එහෙත් සියල්ල කණපිට හැරුණේ ඊළඟ මොහෝතේ දී ය. කිසිවකුත් අපේක්ෂා නොකළ අවස්ථාවක අයාලේ යන ග්‍රහකයක්, AE 19201 හා ගැටුණි. දැවැන්තයා කැබලිවලට කඩා දැමීමට තරම් එම ගැටුම ප්‍රමාණවත් නොවූ නමුදු සිදු විය හැකි නරකම දේ සිදු වෙමින් පැවතිණි. දැවැන්තයාගේ නව ඉලක්කය වූයේ ග්‍රහ මඬලේ තෙවැන්නා ය. උණුසුම හා සීතල අතර ඉතා පටු තීරයේ ඉතා සුරක්ෂිතව කැරකෙමින් තිබු මිහි මඬලට, වසර මිලියන 65 කට පසුව නැවතත් අහසින් එන තර්ජනයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ. ගිය වර එය සිදු වන විට මිහිමත රජකළේ දැවැන්තයින් වුව ද මෙවර ඊට මුහුණ දෙන්නේ.....
ෆර්මන්ගේ සිතිවිලි දැහැන බිඳී ගියේ නැවත අවදි වු පරිගණකයේ හඬිනි.

“අවසන් මග සැකසුමට තව මිනිත්තු 02 යි...”
තත්පර කිහිපයක් ගත වන්නටත් මත්තෙන් නැවතත් පරිගණකයේ හඩ අවදි විය. එහෙත් මෙවර එහි වූයේ හදිසි තත්වයක් හඟවන ස්වරයකි.

“අපට පොඩි ප්‍රශ්නයක් තියෙන බව පේනවා.... ඩෙල්ටා B2 පද්ධතියේ දෝෂයක් පෙන්නුම් කරනවා...”

“ඩෙල්ටා B2....? දෙයියනේ ඩෙල්ටා B2.... මග සකසනය..?”
පාලන මැදිරියෙ දර්ශක දෙස නෙත් හෙලූ මහාචාර්යවරයාට එයම කියැවිණි... එකිනෙකා අතර කසුකුසුවක් පැතිර යත්දි පාලන මැදිරි ප්‍රධානියා වහාම ක්‍රියාත්මක විය.

“පවර් 3000... වහාම වාර්තා කරන්න... ඔබ දෝෂය සොයා ගත්තාද...?”
පරිගණකයේ හඬ අවදි වන්නට ගත වූ තත්පර ගණනාවේ ප්‍රමාදය ඔවුනට දැනුණේ පැය ගණනාවක් ලෙසිනි.

“ආචාර්ය ඕ නීල්... ඩෙල්ටා B2 පද්ධතිය ක්‍රියා විරහිත වෙලා... මට එය නැවත පණ ගන්වන්න බැහැ..”

මුළු පාලන මැදිරිය පුරාවටම පැතිර ගියේ, ඇට මිදුළු තුළට කාවදින තරමේ නිහැඬියාවකි....

ඒ නිහැඬියාව පුපුරාගියේ පාලන මැදිරි ප්‍රධානියාගේ බිඳුණු හඬිනි.
“පවර් 3000, මේක ඇත්තක් වෙන්න පුළුවන් ද ? අපිට පුළුවන් නේද තව පාරක් උත්සාහ කරන්න...”

“මට කණගාටුයි.... එය කළ නොහැකියි...”

ඇති වුණු කම්පනය දරාගත නොහැකිව ආචාර්ය කැඩිලැක් සිය නළලෙහි දෑත ගසා ගත්තේ ය. පාලන මැදිරියේ නිලධාරිහූ එකිනෙකා වැළඳගෙන කඳුළු සලන්නට වූහ. අපේක්ෂාභංගත්වය, වේදනාව සමඟ මුසු වී පාලන මැදිරිය, ඉකිබිඳුම් හඬින් පුරවාලී ය.

Image: jscreationzs / FreeDigitalPhotos.net

පරිගණකයේ හඬ වෙනුවට මෙවර පාලන මැදිරියේ දර්ශන තිර මත සටහන් වූයේ, ග්‍රහකයේ නොගැටී ඉන් ඉවතට ඇදී යන න්‍යෂ්ටික අවියේ පරිගණක ආකෘතියකි. මහාචාර්යවරයා දර්ශන තිරය දෙස බලා සිටියේ සෙල්රුවක් මෙන් නිසලව ය. ඔහුට දැනුණේ අවසානය එළඹ ඇති බව ය.

* * * * * * *


ගණනය කිරීම්වලට අනුව නම් AE 19201 පෘථිවි පෘෂඨය හා ගැටෙනු ඇත්තේ බුෂ් චතුරස්‍රය අසළ දී ය. දෛවයේ සරදමකට මෙන් පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යාලයත්, බුෂ් චතුරස්‍රයත් පිහිටියේ එකිනෙක පෙනෙන තරම් දුරිනි. අවසානය එළඹෙත් දී සිය කාර්යාල කාමරයට ම වී සිටින්නට ෆර්මන් කල්තියාම තීරණය කොට තිබිණ. සෑම දෙයටම තමා වගකිව යුතු යැයි යන වරදකාරී හැඟීම ඔහුගේ සිත පෙළමින් වද දෙන්නට විය. සියලු ප්‍රධානීන් ඉවත් කර ගැනීමට එවා තිබූ අවසන් හෙලිකොප්ටරයට පවා ගොඩවීම, ෆර්මන් ප්‍රතික්ෂේප කළේ එහෙයිනි... ආරක්ෂාකාරී යැයි හැඟෙන ස්ථානයකට යන්නට ඕනෑතරම් අවකාශ තිබියදීත් ආචාර්ය කැඩිලැක් සිය ප්‍රධානියා හා එකම මිතුරා අතහැර දමන්නට අකමැති වූයේ ය. වියෝ දුක කෙතරම් දැඩි වුවද අවසානයේ තමන්ගේ අවස්ථාව, සිය ආදරණීය බිරිඳටත්, සිඟිති දියණියටත් ලබා දෙන්නැයි ඔහු දැඩිව ඉල්ලා තිබිණ. එහෙත් මේ මිහි මත එවන් තැනක් ඇත්දැයි ඔහු පවා දැන සිටියේ නැත.

සිය සහායකයා ද සමඟ කාර්යාල කාමරයේ වීදුරු බිත්ති අසළ හිඳගෙන කෙමෙන් ළං වන මරණය අපේක්ෂාවෙන් දෑස් දල්වාගෙන සිටි ෆර්මන්, ඈතින් පෙනෙන බුෂ් චතුරස්‍රය දෙස නෙත් හෙළුවේ තමා මේ හැම දෙයක් ම දකින්නේ අවසන් වරට නොවේදැයි සිතමිනි. මේ වන විටත් ජනපදයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ඇති නොසන්සුන්කම ඔහුට මැවී පෙනෙන්නට විය. තදබද වූ අධිවේගී මාර්ග...දුම්රිය ස්ථාන... ගුවන් තොට... වරාය.... කෑකෝගසන කළහකාරී මිනිසුන්... ඒ සෑම මුහුණකම රැඳී ඇති අවිනිෂ්චිතතාව.... නොසන්සුන්කම... භීතිය... චිත්‍රාවලියක් මෙන් ෆර්මන්ගේ මනසෙහි ඇඳෙන්නට විය.

මහාචාර්යවරයාගේ සිතුවිලි දැහැන බිඳිගියේ, ඔහුට සමීප වූ කැඩිලැක් ඈතින් වූ යමක් දෙසට ඇඟිල්ල දිගු කර පෙන්වත් දී ය. කවුළුවට තවත් ළං වූ ෆර්මන් එදෙසට දෙනෙත් මෙහෙයවි ය.

“මං හිතන්නේ ඒ ලෙවිතාන්... දෙවියනේ... මිනිහ අර මොනව ද කරන්නේ...?”

බුෂ් චතුරස්‍රයට නුදුරු තණ පිටිය එක ම හිස් ගොඩකි. ආචාර්ය සෙර්ගෙ ලෙවිතාන් සහ ඔහුගේ දහස් සංඛ්‍යාත භාවනානුයෝගී සිසු සිසුවියෝ එහි රැස් වි සිටිති. ෆර්මන්ට එක් වරම සිහියට නැගුණේ, පැය 0500 ට රැස් වුණු මහා මණ්ඩල රැස්වීමේ දී ලෙවිතාන් කළ යෝජනාව ය.

“ටොන් දහස් ගණනකට අධි මානසික බලය යොදා....” ඒකමතිකව ප්‍රතික්ෂේප වූ යෝජනාව සිහි වූ ෆර්මන්, “මිනිහට නම් ඇත්තටම පිස්සු...” යැයි කිවේ කැඩිලැක් දෙසවත් නොබලමිනි.

ඇමෙරිකාවට ඉහළ අහසින් මතු වූ ගිනි බෝලය, සූර්යයාට ද වඩා දීප්තිමත් වන්නට ගත වූයේ සුළු මොහොතකි. දරා ගත නොහැකි ආලෝකය නිසා කැඩිලැක් මෙන් ම ෆර්මන් ද කවුළුවෙන් ඉවතට ඇදුණේ අවසන් වරට එකිනෙකා වැළඳගෙන සමු දෙමිනි...

“ෆර්මන්ට මතකද කවුද කියල තිබුණ... ඩයිනොසරයින් වඳ වුණේ, එයාලට පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියක් නොතිබුණ නිසා කියල... දැන් කියන්න වෙන්නේ හෝමෝ සේපියන්ස්ලා වඳ වෙන්නේ එයාල ගාව පෘථිවි ආරක්ෂණ ව්‍යාපෘතියක් තියාගෙනයි කියල.. ”

ෆර්මන්ට සිනහ යන්නට ආවත්, බිය සහ වේදනාව විසින් එය ගිල ගනු ලැබිණ. සිය සහායකයාගෙන් සමුගන්නා ෆර්මන්ට සිහි වූයේ තමා කුඩා කළ අසා තිබූ දේවතා එළි පිළිබඳව ය. එසේ නම්, අවසානයේ දී ඒ දෙවියන්, මරණයේ මිටි පහර අහසින් එවා තිබේ.

“ඝට්ටනයට තව තත්පර දහයයි... නවයයි...” ඒ ස්වයංක්‍රීය පරිගණකයයි.

“මං දුක් වෙන්නේ මේ කෙහෙල්මල වහල දාන්න බැරි වෙච්ච එක ගැන... දැන් මැරෙන්න වෙන්නෙත් පසු ගණනය කර කර...”

“.... හතරයි... තුනයි.... ….. එකයි....”

ෆර්මන් දෑස් තරයේ පියාගෙන දෙවියන් සිහි කළේ ය. එය දැන් පෘථිවි පෘෂ්ඨය හා ගැටෙනු ඇත. පුර්වජ ඩයිනෝසරයින් මෙන්ම මානව ශිෂ්ඨාචාරය ද කාලයේ වැලිතලාවට යට වනු ඇත. පරම්පරා සිය ගණනක දහදිය මහන්සිය ක්ෂණයකින් අළු වී යනු ඇත....

තවත් තත්පර කිහිපයක් ගෙවී යනු ඔවුනට දැනුණේ, ඇට මිදුළු තුළට කා වදින තරමේ නිහැඬියාව අතරිනි. එහෙත් ඝට්ටනයේ කම්පනය තබා හඬක් වත් නැත. ෆර්මන් වහා කවුළුව වෙත දිව ගියේ ය. එය යාන්ත්‍රිකව මෙන් සිදු වූවකි.

ඔහුගේ දෑස් උඩ ඉන්දිණ. ඔහුට එවෙලේ සිතුණේ, තමන් මේ දකින දේ පැහැදිලි කළ හැක්කේ, නිව්ටන්ට ද නැතිනම් අයින්ස්ටයින්ට ද යන්න ය. රක්ත දීප්ත ටොන් දහස් ගණනක මහා ගල් කන්ද බුෂ් චතුරස්‍රය අසළට සෙමෙන් පහත් වෙයි. සුළු භූ කම්පනයක් ඇති කරමින් කිහිපවරක් පෙරළි ගිය එය බුෂ් චතුරස්‍රය අසළ නවතා තිබු මෝටර් රථ රැසක් ද යට කරගෙන නිසල විය.. ආචාර්ය කැඩිලැක් ද ඒ වන විට මහාචාර්යවරයා වෙත සමීප වී සිටියේ ය. ෆර්මන් වහා තණ පිටිය දෙස බැලී ය. මිනිස්සු එකිනෙකා වැළඳගෙන ප්‍රීති ඝෝෂා නගති. ලෙවිතාන් ඇතුළු භාවනානුයෝගීන්, තවමත් අත්වැල් අල්ලාගෙන සිටි ලෙසටම ය.

“දෙවියනේ එහෙනම් ඒක හරි ගියා.... දෙවියනේ ලෙවිතාන්.....”
ෆර්මන්ට කෑ ගැසිණ. ආශ්චර්යයෙන් මුසපත්ව කවුළුවෙන් පිටත බැලූ ඔහු දුටුවේ, තමා දෙස බලා ආචාර කරන ලෙවිතාන්ගේ නොපැහැදිලි සේයාව ය෴


පිදුම

nimanthi
අක්කාට !

මං ලකුණු ගෙන පාන..
උතුරු තරුවක් ලෙසින්...
සවිය විය නුඹ...
පන්හිඳෙහි තුඩඟ රැඳි...



| වර්ෂ 2004 පෙබරවාරි 04 වැනිදා "ළඟා නොවු අවසානය" නමින්, "විදුසර" විද්‍යා සඟරාවේ පළ වූ මෙම විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව සන්සරසිදුගේ ස්වතන්ත්‍ර නිර්මාණයකි. මෙහි පළ වී ඇත්තේ සංස්කරණය කරන ලද නිර්මාණය බව සලකුව මැනවි.|

13 September 2010

හොර බයිස්කෝප්...

මං අද කියන්න යන කතාව නම් මං අර කලින් කියපු "ස්පයික් ස්පයික් බේබි..| Spike Spike Baby", "ඉක්කයි මායි...", "ATM කතාවක් !" වගේ බැංකුවෙදි වෙච්චි එකක් නම් නෙමෙයි...

Image: dan / FreeDigitalPhotos.net


මේ ළඟඳි දවසක මගේ යාලුවෙක් ගියා පානදුර පැත්තේ බයිස්කෝප් තැටි විකුණන කඩේකට... හුඟකාලෙකින් බයිස්කෝප් එකක් බැලුවෙත් නැති හන්දා මාත් ගියා මිනිහත් එක්ක... දන්නවනෙ ඉතින් ලංකාවේ ඔය ඕන තැටියක් ගතහැකි රුපියල් සීයක් දෙනකොට... බම්බලපිටියේ එම් සී එක ඇතුළේ ඒ සී කරපු කඩේකින් රුපියල් දෙසීය පනහට විකුණන හොර බයිස්කෝප් කොපියම යුනිට් ප්ලාසා එක ඉස්සරහින් ගතහැකි රුපියල් අසූවට.... පහක් එක පාර ගන්නව නම් එකක් වෙන්නෙ රුපියල් හැටයි... ඒත් පිටකොටුව පැත්තෙ ගියා නම් ඔය ඕනෑ එකක් පනහකට අරගෙන එතහැකි.... දැන් ඒ පැතිවල යැවෙනව අඩු හින්දා ගොඩක් වෙලාවට බයිස්කෝප් තැටියක් ගන්න ඕන වුණහම අපි යන්නේ පානදුර පැත්තට... එක ළඟ කඩ දෙකක් තියෙනවා.. එකක් හොඳට ඒ සී කරපු එකක්.. ඒකෙන් බයිස්කෝප් ගන්න එන්නේ ටිකක් හයි ෆයි කට්ටිය... එකක් රුපියල් එකසිය පනහයි... අනෙක් කඩේ තියෙන්නෙ ඊට ටිකක් එහායින්... එතන තැටියක් රුපියල් සීයයි... කොලිටි එකේ වෙනසක් නැහැ..

කඩේ බිත්ති පිරෙන්න නා නා ප්‍රකාරයේ බයිස්කෝප් තැටි... ඒ අතරේ වීඩියෝ ගේම් එහෙමත් තියෙනවා...

ඉතින් අපි දෙන්න කඩේට ගිහිල්ලා අළුතින් ආපු බයිස්කෝප් තැටි හොය හොය ඉන්න අතරේ කඩේට ආවා තව කොලු ගැටයෙක්... තාම වැඩි වයසක් නැහැ... ඕන්නං ඉස්කෝලේ හය හත වසරේ වගේ වෙන්න ඇති..

"අයියේ මොනාද අළුතින් ආපු ෆිල්ම්...??"

කොලු ගැටයා ඇහුවේ කඩේම මුල්ලක කොම්පියුටරයක් තියාගෙන වාඩිවෙල හිටිය මෑන්ගෙන්... මට හිතුණ විදිහට කඩේ අයිතිකාරයත් එයාම තමා... මිනිහ පොඩ්ඩක් ඒ වෙලාවේ බිසී වගේ...

ප්‍රශ්නෙට උත්තරයක් ආවේ නැති තැන කොලු ගැටයා ආයේම අහනවා...
"අයියේ මොනාද අළුතින් ආව ෆිල්ම් තියෙන්නෙ...??"

ඔන්න ඒ පාර අර හාදය පොඩ්ඩක් පුටුවේ හරි බරි ගැහුණා...
"බලන්න මල්ලී.. ඔය දෙපැත්තේ තියෙන්නෙ අළුතින් ආව ඒවා තමා..." මිනිහ උත්තර දුන්නෙ හරියට මොනිටරෙන් ඇස් දෙක ගලවගන්න බැරි කමක් තියෙන විදිහටයි...

කොල්ලා කඩේ වටේ රවුමක් කැරකුණා....
ආයෙම අර ප්‍රශ්නෙ...
"අයියේ මොනාද අළුතින් ආපු ෆිල්ම්...?? පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ..."

ඕං ඒ පාර අර හාදයා ඔලුව උස්සල බැලුවා... මිනිහගෙ මුහුණෙ තිබ්බේ නොරුස්සන බැල්මක්!
"මං කොහොමද මල්ලී ඔයා බලන ඒවා මොනාද කියල දන්නේ... මොනාද ඔයා බලන්නේ..."

"හොර ඒවාද???"

මිනිහගේ ප්‍රශ්නෙන් මගේ යාලුව විතරක් නෙමෙයි මාවත් හොල්මන් වෙලා ගියා...

මේ ඔක්කොම හොර කොපි කියල අමුතුවෙන් කියන්ඩ ඕනියෑ..

එක පාරටම මගේ මතකය අතීතයට ඇදිල ගියා... ඒ මං මුලින්ම බයිස්කෝප් තැටි රෙන්ට් එකට දෙන කඩේකට ගිය දවස... දැනට අවුරුදු ගානකට කලින්... ඉස්කෝලෙන් අවුට්වෙල ගෙදර ඉන්න කාලේ.. මං කඩේ ඇතුළෙ ටිකක් එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න කොට ඔන්න ආවා ඒක කරගෙන යන මනුස්සයා... ඉද්ද ගැහුවා වගේ කෙළින්ම මා ළඟට ඇවිත් අහනවා... "මල්ලී.. මොනවද ඕන.. ඩබල් දෙන්න ද ?? ත්‍රිබල් දෙන්න ද ???" කියල... එදා නම් මාව ගැස්සිල ගියා...

මට හදිස්සියේ ඔය සිද්ධිය මතක් වුණෙ මේ හාදය මේ කතා කරන්නෙ ඒව ගැනද කියල හිතුණ හන්දා... මට විතරක් නෙමෙයි මගේ යාලුවටත් එහෙමම හිතුණ බව මට තේරුණේ මිනිහත් මගේ කනට කොඳුරන කොට...

"මචං මූ මේ කියන්නේ අරවා ගැන ද ? දැන් ඒවා විකුණන්න දෙන්නැහැනෙ බං"

"ඇක්ෂන් ඒවා හරි රෙස්ලිං ඒවා හරි නැද්ද අය්යෙ..." කොලු ගැටයගෙන් තවත් ප්‍රශ්නයක්!

"ආ ඒවා ඔය අනිත් පැත්තේ... හොර ඒවා තියෙනවා මේ පැත්තේ..."
මාත් යාලුවත් එක්ක කඩේ අයිතිකාරයගේ ඇඟිල්ල ෆලෝ කළා...

මොනාද මේ මූ කියවන හොර ඒවා ???????

කිරිඅප්පට බල්ලො පැනපි....

මෙන්න තියෙනවා... හොර ඒවා...

Resident Evil, Final Destination, Friday the 13th, etc... etc ...


Image: Simon Howden / FreeDigitalPhotos.net


22 August 2010

උඹ දන්නවද මම කවුද කියලා ?

Image: photostock / FreeDigitalPhotos.net


මගේ කලින් ලිපියට හේමලයා තබා ගිය මේ සටහන දැක්කහම ඇත්තටම මට සිනහව නවත්ව ගන්න බැරිවුණා. වෙන හේතූවක් නිසා නොවෙයි. මේ සටහන, මං මීට කලකට ඉහත නරඹපු බටහිර ‍වෙළඳ දැන්වීමක ප්‍රචාරක පටයක් සිහිගැන්වූ නිසා...

"Shadow/හේමලයා said...
මේක අද හැම තැනම වෙන දෙයක් නේ....බස් එකේදි ඇඟේ හැප්පුනත් අහන්නේ....
"උඹ දන්නවද මම කවුද කියලා ?"
(ඉතින් මම කොහොමද දෙයියනේ දන්නේ........:)”

බලන්න ඔයාලත් මේ දසුන් පෙළ නරඹල තියෙනවද කියල....



“Do you know who I am ?”

ඒත් ඒ එක්කම මට සිහිපත් වුණේ ඒ පසුපස තියෙන සමාජ යථාර්තය...

"උඹ දන්නවද මම කවුද කියලා ?"

මුදල්-හදල්, යාන-වාහන, ගෙවල්-දොරවල් වගේම දැනුම, බලය, නම්බුනාම, තනතුරු එහෙම අතට ලැබෙන කොට මිනිස්සු මේ තරම් පිම්බෙන්නෙ ඇයි කියල මං මගෙන්ම අහගත්තා...

හිණිමගේ ඉහළට, ඉහළට යත්දි ඵල බර ගහක් වගේ තව තවත් බිමට නැමෙන්නට තරම් නිහතමානී වෙනව වෙනුවට මෙච්චර මාන්නයක් මිනිස්සුන්ගේ හිත් කුහර ඇතුලට රිංග ගන්නේ ඇයි ?

අනෙක් අයට වඩා තමන් උසස් කොට සලකන්නටත්.... අනෙක් වුන් පයට පෑගෙන දුහුවිලි කැටයක් තරමටවත් ගණන් නොගන්නට පෙළඹෙන්නෙ ඇයි ?

ඒ ගැන තව තවත් හිතත්දි මට මතක් වුණේ කාලෙකට කලින් කියවපු සෙන් බෞද්ධ කෙටි කතාවක්! මතක හැටියට නම් ඒක තිබුණේ වැල්ලවත්තේ ආනන්ද ස්ථවීරයන් විසින් රචනා කරන ලද “සෙන් බෞද්ධ කෙටි කතා” කියන පොතේ... කතාවේ එන නම් ගම් එහෙම මට හරියටම මතක නැති වුණත් සැකෙවින් කතාව මෙහෙමයි...

ඒ කාලේ කියෝතෝවේ හිටියා දක්ෂ සෙන් ආචාර්යවරයෙක්. දවසක් එතුමව මුණ ගැහෙන්න කියෝතෝවේ ආණ්ඩුකාරයා පැමිණියා. විහාරයේ දොරකඩට පැමිණි ආණ්ඩුකාරයා තමන්ගේ නමත් තනතුරත් සඳහන් හැඳිනීම් පතක් සේවකයෙක් අතේ සෙන් ආචාර්යවරයා වෙත යැව්වා. එහි සඳහන් වුණේ “කියෝතෝවේ ආණ්ඩුකාරයා වන කිතාගික්” කියලා. පත්‍රිකාව අතට ගත් සෙන් ආචාර්යවරයා බොහොම නොසතුටට පත්වෙල මෙහෙම කිව්වා. “මේ වගේ පුද්ගලයන් එක්ක මගේ ගනුදෙනුවක් නැහැ. කරුණාකරල එතුමාට කියන්න ආපහු යන්න කියලා..”
සේවකයා විසින් ගෙන එන ලද පිළිතුර ඇසූ ආණ්ඩුකාරවරයා පුදුමයට පත් වුණා. ඒත් හැඳීනීම් පත අතට ගත් ආණ්ඩුකාරයාට වරද තේරුම් ගියා. ඔහු වහාම එහි සඳහන් සිය තනතුර පැන්සල් ඉරකින් කපා දැමුවා.. ඉන්පස්සේ අර පත්‍රිකාව නැවතත් ආචාර්යවරයා වෙත යැව්වා...
සේවකයා නැවත වරක් අර හැඳිනීම් පත ආචාර්යවරයාට පිළිගැන්නුවා... පත්‍රිකාව කියවූ ආචාර්යවරයා අමන්දානන්දයට පත් වූණා... “ඕ... මේ මගේ මිත්‍රයා කිතාගික් නේද... යන්න යන්න... ඉක්මනින් ගිහින් ඔහුට මෙහෙ එන්න කියන්න..” සෙන් ආචාර්යවරයා සිය සේවකයාට අණ කළා...

පුංචි කතාවක් වුණත් ඒ කතාව ඇතුළේ අපට හිතන්න ගොඩක් දේවල් ඉතුරු වෙල තියෙනවැයි කියන එකයි මගේ නම් හැඟීම.. ඉහළට යන්න යන්න ගුණ දහම් අමතක කරන අපේ ජීවිතත් හරියට හිස් පොතක් වගේ නේද ?

ප/ලි
මේ ලිපිය ලිවිමට හේතු වු Shadow/හේමලයා ඔබට බොහොමත්ම ස්තුතියි!

14 August 2010

ඔක්තෝම්බර අහස / October Sky


ඒ 1957 ඔක්තෝම්බරයයි...

ඇමෙරිකා එක්සත් ජනපදයත්, සෝවියට් දේශයත් අතර සීතල යුද්ධය උග්‍ර ලෙස පැතිරයමින් තිබූ අවදියයි. ඔක්තෝම්බර් 04 වෙනිදාට පහන් වන්නෙ එවන් පසුබිමක් යටතේයි. එක්සත් ජනපදය පුරාවට වේගයෙන් පැතිර ගිය ආරංචිය ඇමෙරිකානුවන්ගෙ අභිමානය දිය කර හරින්නක් විය.... ලොව පළමු කෘතිම චන්ද්‍රිකාව සෝවියට් දේශය විසින් උඩුගුවන් ගත කර තිබිණ. බටහිර වර්ජීනියාවේ කුඩා පතල් නගරයක් වූ කෝල්වුඩ්වලට පවා ඒ උණුසුම දැනෙමින් තිබිණ. ස්පුට්නික්.. ස්පුට්නික්..(Sputnik 1) යන නම මුවින් මුව රැව් පිළිරැව් දෙන්නට විය.

ඔක්තෝම්බර් 05 වැනිදා වන විට සියළු ගුවන් විදුලි නාලිකා ඔස්සෙ විකාශනය කෙරුණු ඒකාකාරී බීප් හඬට මුල්වූ, සෑම මිනිත්තු 96 කට වරක්ම සිය හිසට ඉහළින් පියාඹන මේ අපූර්ව වස්තුව දැක බලා ගන්නට කෝල්වුඩ්හි කවුරුත් යුහුසුළු වූහ. යන්තමින් රෑ බෝ වී ගෙන එත් දී ගෙමිදුල්වලට රොක්වු ඔවුහූ සිය නෙත් කෙවෙනි රිදෙන තුරු අහස පීරා බැලුම් හෙලන්නට වූහ. හදිසියෙන් මෙන් ඒ අපූරු වස්තුව ! දීප්තිමත් කුඩා තාරකාව... ඇමෙරිකානුවන්ගෙ හිසට ඉහළින් වේගයෙන් ඇදෙනු දක්නා ලදි... මොහොතක් එදෙස විස්ම පත්ව බලා සිටි දෑස් සැනෙන් බිමට බරවිණි. ඔවුනට දැනුණේ සිය ආත්මාභිමානය ඉටි මෙන් දියවී වැගිරෙන බවකි. එකාදෙන්නා කරබාගෙන සිය නිවෙස්තුළට වදිත්දි එක් කොලු ගැටයෙක් පමණක් දෙනෙත් හයා ඒ චමත්කාරජනක දර්ශනය දෙසම බලා සිටින්නට වුයේය. හේ හෝමර් හි(ක්)කම් (Homer Hickam, Jr) නම් විය. ඒ ඓතිහාසික මොහොත, ඔහු සිත උද්දීපනය කර තිබිණ... සමස්ත ලෝකයකම ගමන්මග වෙනස් කළ ස්පුට්නික්, ඔහුගේ ජීවිතයද වෙනස් කරන්නට යන බව ඔහු පවා දැන සිටියේ නැත.

සිය වැඩිමල් සොයුරු ජිම් මෙන් පා පන්දු ශිෂ්‍යත්වයක් ලබා කෝල්වුඩ්වලින් පිටව යන්නට නොහැකි වුවහොත් තමන්ට අත්වන ඉරණම හේ දැන සිටියේය. බිග් ක්‍රීක් උසස් පාසලෙන් පසු විශ්ව විද්‍යාලයකට යනවා වෙනුවට ඔහුට සිදුවනු ඇත්තේ පතල් කම්කරුවකු ලෙස කෝල්වුඩ් පතලේ සේවයට එක්වන්නටය. හේ පතල් කැණීම අප්‍රිය කළේය. නිතරම පාහේ සිදුවන පතල් අනතුරු.. එහි කම්කරුවනට වැළඳෙන රෝගාබාධ... ඔහුගෙ සිතේ කැරලි ගසමින් තිබිණි... එහෙත් කළ හැකි දෙයක් නොවිණි. ඔහු සිය වැඩිමල් සොහොයුරා මෙන් පා පන්දු ක්‍රීඩාවේ දක්ෂයෙක් නොවුයේය... කෝල්වුඩ් පතලේ පාලන කටයුතු භාරව සිටි හෝමර්ගේ පියාගෙ එකම අභිලාශය වුයේ සිය පුතුන් තම අඩිපාරේ ගමන් කරනු දැකීමය.

ස්පුට්නික් දකිනතුරු ඔහුට අරමුණක් තිබුණේ නැත.. තිබුණා නම් ඒ ඩොරති ගැන පමණි. බිග් ක්‍රීක් උසස් පාසැලේ ඔහු හා එකට ඉගෙන ගන්නා ඩොරති ඔහුගේ සිහින කුමරිය විය. එහෙත් කිසිදා ඇයට ළං වන්නට ඔහුට නොහැකි විය. එහෙත් දැන් ඔහු නව සිහිනයක් දකිමින් සිටියි... එය ඩොරතිටත් එහා ගිය සිහිනයකි..

පසුවදාම හේ තීරණයට බටුයේය...

"මං රොකට්ටුවක් හදනවා...!"

පසුදා උදෑසන කෑම මේසයේදි ඔහු සිය සිතේ නළියමින් තිබු සිහිනය පළමුවරට එළියට දැම්මේය... ජිම්ගෙ සිනහවටත්, පියාගේ ගර්හාවටත් ලක් වුවද හේ ලෙහෙසියෙන් පසු බසින්නෙක් නොවීය. සිය අරමුණ ඉටු කර ගැනීම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට හෙතෙම සූදානමින් සිටියේය.

සිය මිතුරන් වු ඔඩෙල් (O'Dell Carroll) හා රෝයි (Roy Lee Cooke) සමඟ එක්වූ හෝමර් එතැන් සිට ක්‍රියාකළේ එකම අරමුණක් සිතේ තබා ගෙනය. වරෙක රොකට්ටුවක් අත්හදාබැලීමට ගොස් හෝමර් සිය මවගේ ලී වැට පුපුරවා හැරියේය.



මෙකල හෝමර්ගේ වීරයා වන්නේ ජර්මානු V2 රොකට්ටුව නිර්මාණයට තම දායකත්වය සැපයු එමෙන්ම එකල ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩපිළිවෙලට දායකවෙමින් සිටි ආචාර්ය වර්නන් වොන් බ්‍රොන් (Wernher von Braun) ය. හෝමර් තම වීරයාට ලිපියක් ලියමින් කියා සිටියේ කෝල්වුඩ් වැසියන් බොහෝ දෙනෙක් පොළව මතුපිට තිබෙන දෙයට වඩා ඊට යටින් ඇති දේ ගැන විමසිලිමත් වන පසුබිමක තමන් ඔහුගේ අභ්‍යවකාශ වැඩපිළිවෙල දෙස ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බවයි.

තම අරමුණ සාර්ථක කරගැනීමට නම් රොකට් පිළිබඳව වැඩි දුරටත් හැදෑරිය යුතු බව අවබෝධ කරගත් හෝමර් ඉන් පසු පාසැල් පුස්තකාලය පීරන්නට පටන් ගත්තෙ රොකට් පිළිබඳව ලියැවුණු පත පොත සොයා ගැනිමේ දැඩි අදිටනෙනි. ඔහු සොයන පත පොත නිතර රැඳුණේ පාසැල තුළ වැඩි සමාජාශ්‍රයකින් තොරව සිටි ක්වින්ටන් (Quentin Wilson) වෙතය. සිය අනෙකුත් මිතුරු මිතුරියන්ගෙ උපහාස හා අපහාස තඹ සතයකට හෝ මායිම් නොකරමින්, ක්වින්ටන් සමඟ ආශ්‍රය කරන්නට හෝමර් පෙළඹෙන්නෙ රොකට්ටුවක් තැනීමේ සිය එකම අභිලාශය මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔහුගෙ සහයද ලබා ගැනීමේ අරමුණෙනි.

එතැන් සිට රොකට් කොල්ලෝ (Rocket Boys) සිය අරමුණ මුදුන් පමුණුවා ගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ කරන්නට වූහ. ඔවුනට දිරි දෙමින් නිසි මග පෙන්වන්නට ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ රසායන හා භෞතික විද්‍යා දේශකවරිය වන රැලි මෙනවියයි (Miss Frieda Riley). රොකට් කොල්ලන්ගෙ උත්සාහය බෙහෙවින් අගය කළ ඈ ජාතික විද්‍යා තරඟාවලියට ඔවුන් යොමු කරන්නට වෙහෙස වූවාය.

අසාර්ථක වීම් පසුපස ආ අසාර්ථකවීම් මධ්‍ය යේ නොසැලී සිටින්නටත්... පසුබා, උත්සහය අත්හරින සිය සගයන් නැවතත් එකතු කර ගන්නටත්... කෝල්වුඩ් පතලේ පාලනාධිකාරිත්වය දරණ සිය පියාගේ දැඩි විරෝධතා මධ්‍යයේ සිය අරමුණ වෙත ළඟාවන්නටත්.. මේ කොලු ගැටයා මහත් පරිශ්‍රමයක් දරයි... අවසානයේ සාර්ථකව රොකට්ටුවක් අත්හදා බලන්නට ඔවුනට හැකි වෙයි. විද්‍යා තරඟාවලියේදි ජයග්‍රහණය කිරිමට තමන්ටත් අවස්ථාවක් ඇති බව ඔවුනට දැනෙයි.

එහෙත්... ඒ අතරේ සිදුවන අවාසනාවන්ත සිදුවීම් රැසක් නිසා ඔහුගෙ සිහිනය බොඳවී යන්නට පටන් ගනී !

වරෙක කෝල්වුඩ් වලින් සැතපුම් කිහිපයක් දුරින් ඇති වන ලැව් ගින්නකට හේතුව රොකට් කොල්ලන් යැයි සැක කිරීම නිසා ඔවුන් පොලිස් අත්අඩංගුවට පත් වේ....

පසු අවස්ථාවක පතලේ ඇති වන හදිසි අනතුරකදී... රොකට් කොල්ලනට සිය රොකට් නිර්මාණයේදි බොහෝසෙයින් උපකාර කළ බිකොව්ස්කි මහතා (Mr. Bykovski) මරණයට පත් වන අතර හෝමර්ගේ පියා ජෝන් හි(ක්)කම් (John Hickam) බරපතළ ලෙස තුවාල ලබයි.... සිය පියා සුවපත් වන තුරු පවුලේ බරපැන පිරිමැසීම සිය කරමතට ගන්නා හෝමර් තමන් කිසිදා යන්නට ආසා නොකළ කෝල්වුඩ් පතලේ සේවයට එක් වන්නේ සිය පාසැල් ගමනට ආයුබෝවන් කියමිනි.... පාසැල් ගමනට පමණක් නොව සිය සිහිනයටද සමු දෙන්නට ඔහුට සිදු වෙයි... ඔහුගේ මේ තීරණය නිසා බොහෝ සෙයින් නොසතුටට පත් වන්නෙ ඔවුන් පසුපස සෙවණැල්ලක් මෙන් සිටි රැලි මෙනවියයි...

අවාසනාව එතැනින් නතර වේද ?

ඒ අතරවාරයේ රැලි මෙනවිය ද රෝගාතුරව සිටින බව ඔහුට දැන ගන්නට ලැබේ...
හෝමර් ඇයගෙ සුවදුක් විමසීමට ඇගේ නිවසට යයි...

එදා රාත්‍රියේදි නින්ද ඔහු අසළටවත් නොඒ. මුළු රෑ පුරා නිදිවර්ජිතව සිටින ඔහු අවසානයේ තීරණයකට එළඹ සයනයෙන් නැගී සිටියි.. සිය උපන් දිනය දා රැලි මෙනවිය විසින් තෑගි කළ ඒ අපුරු පොත ඔහුගේ දෑසට හසුවේ.. “Principles of Guided Missile Design” … එදා ඒ පොත තෑගි කරත්දි රැලි මෙනවිය පවා ඔහුට පැවසුවේ එහි එන ඇතැම් ගණිත සමීකරණ තමන්ට පවා තේරුම් ගැනීමට තරමක් අසීරු බවයි..



උදෑසන වන තුරු හෙතෙම නිදි වර්ජිතව විවිධ සමිකරණ විසඳමින් සිටියේය.. හෝමර්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ එදා ඒ ලැවි ගින්න ඇති කළේ තමන් විසින් නොවන බව ඔප්පු කර පෙන්වීමටයි... එදින පතලේදි ලැබෙන කෑම විවේකයේදි පවා හෝමර් උත්සාහ කළේ මේ ගැටළුව විසඳා ගැනීමටයි... රාජකාරිය අවසන් වී ක්වින්ටන් හමුවීමට යන හෝමර් ඔහු සමඟ එක්ව ඉතිරි ගණනය කිරීම් සම්පූර්ණ කරයි.... එදා ඒ ගින්න ඇති වී තිබුණෙ ඔවුන් සිය රොකට් ගුවන් ගත කිරීම් සිදු කළ ප්‍රදේශයට සැතපුම් 3 ක් ඈතිනි.. එහෙත් ඔවුනගෙ ගණනය කිරීම්වලට අනුව ඔවුනගෙ රොකට්ටුව පතිත විය යුත්තේ සැතපුම් 1.2 ක් දුරිනි... අවසානයේදි අනුමාන කළ ප්‍රදේශයේදීම තමන් විසින් එදා ගුවන් ගත කළ රොකට්ටුව සොයා ගැනීමට ඔවුහූ සමත් වූහ... හෝමර්ගේ ජීවිතය නැවත වෙනස් මඟකට යොමුවන්නෙ ඉන් පසුවයි... සිය පාසැලේ විදුහල්පතිවරයාටත් පොලීසියටත් සිය නිර්දෝෂීභාවය ඔප්පු කර පෙන්වන හෝමර් නැවත පාසැලට එක් වන්නටත් පාසැල නියෝජනය කරමින් විද්‍යා තරඟාවලියට සහභාගීවන්නටත් වරම් හිමි කරගනී...

ප්‍රාදේශීය තරඟයෙන් ජය ගන්නා රොකට් කොල්ලන් ජාතික මහා තරඟයට සුදුසුකම් ලබාගනී....
එහෙත් ඔවුන් සතරදෙනාම ඊට සහභාගී කිරීමට අවශ්‍ය බරපැන දරන්නට ඔවුනගේ පාසැලට හැකියාවක් නොමැතිවීම නිසා අවසානයේ ඒ සඳහා සහභාගීවන්නට ලැබෙන්නෙ ඔවුනගෙන් එක් අයෙකුට පමණි.. අවසානයේදි සිය මිතුරන්ගෙ කැමැත්තෙන් හෝමර් එහි යා යුතු බවට තීරණය වේ..

කෝල්වුඩ් පතලේ කම්කරුවන් විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹන්නේද මේ අතරමය...
හෝමර්හට තරගයට සහභාගීවීමට සිදුවන්නේද සිත්වේදනා සහ කලකිරිමි රැසක් මධ්‍යයේය... තරගයට සහභාගීවීම සඳහා යෑමට සූදානම් වන රාත්‍රියේ හෝමර්ගේ පියාට කිසිවකු හෝ විසින් වෙඩි තබනු ලබයි... එහෙත් වාසනාවකට මෙන් හේ ඉන් බේරෙයි... හෝමර් මෙන්ම ජිම් ද බෙහෙවින් තැවුලට පත් වෙති.... එහෙත් ජෝන් හෝමර්ට පවසන්නේ පියාගැන සිතනවාට වඩා කරන්නට දෙයක් ඔහුට ඇති නිසා ගොස් තමන්ගේ සුට්කේසය සොයාගන්නා ලෙසයි... මුල සිටම තමන් කෙරෙහි පැවති පියාගේ මේ විරෝධාකල්පය තිත්ත වි සිටි හෝමර් ඔහු හා වාදයකට පැටලෙයි... ඔහු ගමනට පිටත් වන්නෙ තැවුල් සිතිනි...

දුරබැහැර කුඩා පතල් නගරයකින් පැමිණි මේ කොලුගැටයා එහිදීද කාගේත් අවධානය දිනාගන්නට සමත්වෙයි...
එහෙත් අවාසනාවක මහත ! තරගයේ අවසාන දිනයට එනම් විනිශ්චය කරුවන් පැමිනෙණ දිනට පෙර දින හෝමර්ගේ සියළු ප්‍රදර්ශන භාණ්ඩ කිසිවෙකු හෝ විසින් සොරකම් කරනු ලබයි....

ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටි කෝල්වුඩ්වල මිතුරනට ලැබෙන්නෙ ඒ කණගාටුදායක ආරංචියයි...
එහෙත් ඔවුහූ යුහුසුළුව ක්‍රියාත්මක වෙති.. ඒ බව හෝමර්ගෙ මවටද සැලවේ... වැඩ වර්ජනය අවසන් වන තුරු හෝමර්ට අවශ්‍ය කරන ප්‍රදර්ශන භාණ්ඩ නැවත සකසා දෙන්නට බිකොව්ස්කිගෙන් පසු රොකට් කොල්ලනට සහය වන බෝල්ඩන් (Bolden) හට නොහැකිවන බව දන්නා ඈ සිය සැමියා වෙත ගොස් වැඩ වර්ජනය අවසන් කර සිය පුත්‍රයාට උදව් වන ලෙස ඉල්ලා සිටියි... ඔහු එසේ නොකළහොත් තමන් ඔහු හැර ගොස් වෙනම ජීවත් වන බවට දිව්රා කියයි... කළු ගලක් වන් ජෝන් ටිකක් හෝ මෙල්ලවන්නේ හෝමර්ගේ මව නිසාය... අවසානයේ හෙතෙම වැඩ වර්ජනය අවසන් කරවන්නට මැදිහත්වෙයි....

වාසනාවකට මෙන් බෝල්ඩන් විසින් නැවත තනන ලද ප්‍රදර්ශන භාණ්ඩ නියම වේලාවේදි විනිශචය කරුවනට පෙන්වන්නට හෝමර් හට හැකිවෙයි...

අවසානයේදි... ඒ උද්වේගකර හා අති උත්කර්ෂවත් මොහෝතේදී... ජාතික විද්‍යා තරඟාවලියේ ප්‍රථම ස්ථානය සඳහා හිමිවන රන් පදක්කම... දිනාගන්නට කෝල්වුඩ් රොකට් කොල්ලනට හැකිවේ. අවසානයේ තමන් බලාපොරොත්තු වු ශිෂ්‍යත්ව ලබා විශ්වවිද්‍යාලයට පිවිසෙන්නට ඔවුනට හැකිවෙයි...


එදා ඒ ඔක්තෝම්බරයේ ලොව ප්‍රථම චන්ද්‍රිකාව දෙස දෑස් දල්වාගෙන විශ්මයෙන් මුසපත්ව සිටි මේ කොලු ගැටයා පසු කලෙක නාසා ඉංජිනේරුවකු බවට පත්වී අභ්‍යාවකාශ ගමන් සඳහා අභ්‍යාවකාශගාමීන් පුහුණුකරන්නෙකු බවට පත්විය... මේ ඔහුගේ කතාවයි.. The Rocket Boys නමින් පළ වු මේ කතාව පාදක කරගනිමින් ජෝ ජොන්ස්ටන් (Joe Johnston) විසින් 1999 දි සිනමාවට නැගූ "October Sky" නම් අපූර්වතම සිනමා පටයෙහි කතා සාරාංශයයි මේ...


* සේයාරූ උපුටාගැනීම සලරුවෙනි.

23 May 2010

සුසුම්ලන යෞවනය …

Image: Salvatore Vuono / FreeDigitalPhotos.net

නෙතු සිනා කැන් දරන් …
නුහුරු අඳුරේ කොනක …
සින්න වූ පැතුම් මල් …
දැවෙන කහවනු අතර …
පොදි කරන් කඳුළු කැට
දෙකොපුලට නොවැටෙන්න …
සහස් ගව් දුර ගෙවා
සෙයිලමේ තනිකඩව …
වල් වැදුණු සිතැඟි මැද
සුසුම්ලන යෞවනය …
කළු පාට දුම් අතර
හති වැටි සැඟවිලා …
සැලෙන හදවත නගන
බොල් හඬ ද … නැවතිලා ...

- සන්සරසිදු -

28 April 2010

ඇරඹුමම කඳුලක් වෙලා....


Close-up of a rose and envelopes on a couch


මම කොට්ටයට ත්, ඇඳවිට්ටමට ත් වාරු දී ජනෙල් පියන් පත් අතරින් දිස්වන ඈත ආකාශය දෙස බලා හිඳිමි... මට ත් නොදැනීම කඳුළු බිඳු එක දෙක දෙකොපුල් තල තෙමාගෙන රූරා වැටෙයි.. හඬන්නට තවත් කඳුළු ඉතිරි වි නැති බව දන්නා මසිතට ඒ ගැන වගක් නැත... සිහිනයකදි ඇසුණු හඬක් මෙන් ජංගම දුරකතනය ඔස්සේ ගලා ආ ඇගේ අවසන් වදන් කිහිපය නැවත නැවතත් මසිතේ හොල්මන් කරයි..

අපි මේක නවත්තමු !
අපි මේක නවත්තමු !!
අපි මේක නවත්තමු !!!

* * * * * * * * * * * * * * *


ඈ නොනවත්වාම ඉකිබිඳියි...
මඳ නිහැඬියාවකට පසුව නැවතත් ඇගේ හඬ අවදි වෙයි...

“අපි මේක නවත්වමු !”

මම ගල් ගැසී ගියෙම්.. මට දැනුණේ මගේ තොලකට වියළි යන බවකි.. මා එය සිහිනෙකිනිදු අපේක්ෂා නොකළ දෙයකි.. විශේෂයෙන්ම ඇගෙන්... ඇගෙන් නම් කිසිදා අපේක්ෂා නොකළ දෙයකි...

ඇගේ තිර හඬ, මගේ හදවත පතුළටම කිඳා බසින බවක් දැනේ... එහෙත් ඈ නොනවත්වා හඬයි... පොඩි එකියක මෙන් හුස්ම අල්ලන්නේවත් නැතිව හඬන ඇගේ හඬ මගේ සිත තලා පෙලා දමන සෙයකි..

අසීරුවෙන් වචන දෙක තුනක් ගලපා ගනිමි..

“සුදු ! ඔහොම අඬන්න එපා... මට බය හිතෙනවා.. ”

නැවතත් නිහැඬියාවකි...

කෙමෙන් කෙමෙන් ඉකි බිඳුම් හඬ අඩු වෙයි... ඈ ආයාසයෙන් වචන ගලපන්නට උත්සාහ කරන බව මට දැනේ...

“මං ඔයාට ඇත්තටම ආදරෙයි... ඒත් මං මොනව කරන්න ද ? මං දන්නවා මට කවදාවත්ම ඔයා තරම් හොඳ කෙනෙක් ලැබෙන්නෙ නෑ කියල.. ඒත් මේ පවිකාරිට ඔයාව ලබන්න තරම් පිනක් නැද්ද කොහෙද... මං මේ තීරණය ගත්තෙ ඔයා මට තීරණයක් ගන්න බල කරපු නිසා.. මං කැමතියි මේක නවත්වපු බව ගෙදරට අඟවල ටික කාලයක් සද්ද නැතුව ඉන්න.. එතකොටවත් හැමදේම හරියයි කියල හිතෙන නිසා... ඒත් ඔයා ඒකට කැමති නෑනේ... ඔයා කියන්නේ මට ඔයාව බඳින්න කියල... අනේ මං ඒකට කැමති නැතුව නෙමෙයි... ඒත් මට බයයි අම්මලගෙ තාත්තලගෙ හිත් රිදෙව්වොත්, අපිටත් කවද හරි විඳවන්න වෙයි කියල... ඒ ඔක්කෝටමත් වඩා මට බයයි අපේ තාත්තා ඔයා ට මොනව හරි කරයි කියල..”

“උඹ මේක නවත්තන්නම ඕන... නැත්තං මං ඌට ඇසිඩ් ගහනවා...!!!”
මගේ වෙන්ඩ (සිටි) මාමා කියා තිබිණි... උගත් මිනිසෙකුට කවදාවත් සිතීමට හෝ හැකි දෙයක් ද ? මේ සම්බන්ධය නැවැත්විය යුත්තේ ඇයි ? ඔහු ඉදිරිපත් කරන හේතූ සියල්ලම මනස්ගාත පමණි.. සැබෑ හේතුව වෙනකකි.. ඔහු මට කැමති නැත... මොකක්දෝ අහේතුවකට ඔහු මා නොරුස්සයි..

“ඒ හන්දා අපි මේක නවත්තමු ! අපි දෙන්න වෙන් වෙන්නෙ තරහකින් නෙමෙයිනේ.. ඔයා ගැන මගේ හිතේ තියෙන ආදරය හැමදාටම එහෙමම තියේවි.. ” ඈ මහ හඬින් හඬයි...

මට ද හැඬිණ.. මහ හඬින් ඉකි බිඳිණ...

“අනේ රත්තරන් ඔයා අඬනවද ? ඔයා අඬන්න එපා... මට පවු පිරෙයි ..
මේ දරාගන්න බැරි ආදරය හිතේ තියාගෙනම අපි වෙන් වෙමු...”

“ අනේ මට කියන්න... මාව පාරෙදි එහෙම හම්බවුනොත් ඔයා ආයේම මා එක්ක කතා කරනව නේද ? කියන්නකෝ...”

මට දැනුණේ මගේ හුස්ම හිරවන බවකි..

* * * * * * * * * * * * * * *


“උඹ ඌව බැන්දොත් අවුරුදු දෙකක් යන්න කළින් උඹ මැරෙනවලු.... ඇයි විහින් නැහෙන්න හදන්නෙ.. උඹට ඌව අතාරින්න බැරි දෙයක්වත් වුණාද ?”

ඇගේ පාර්ශවයෙන් අප දෙදෙනාගේ හඳහන් පරික්ෂා කරවා තිබේ.. එක් අයෙක් කියා තිබුණේ බැන්දත් එය මාස ගණනකට පමණක් සීමා වන විවාහයක් වනු ඇති බවයි.. තවෙකෙක් කියා තිබුණේ මේ විවාහය සිදු වුවොත් මා මිය යන බවයි... විවාහය සිදුවුවහොත් අනිවාර්යයෙන්ම කහ කිරිල්ලිය මිය යන බව අනෙකා කියා තිබුණි...

මා හඳහන් විශ්වාස කරන්නෙක් නොවෙමි.. මට ලැබී ඇත්තේ අපේ අම්මාගේ ආභාශයයි.. ඈ ආගම දහමට ලැදී විවෘතව සිතන කෙනෙකි.. කිසිදා හඳහන් විශ්වාස නොකරයි.. අපේ අම්මා කවදත් මගේ සතුට ගැන පමණක් සිතයි... ඈ කවදාවත් මගේ දේවලට විරුද්ධ නොවේ... එහෙත් මගේ පියාත් නැන්දලාත් උග්‍ර හඳහන්වාදීයෝය.. ඔවුන්ගෙ කැමැත්ත ලැබෙන්නෙ හඳහන් අනුව බව දැන සිටි හෙයින්, අප අතර සම්බන්ධය ඇතිවූ වකවානූවේම ඇගේ හඳහන් කොපිය අපේ තාත්තාටම දී පරික්ෂා කෙරෙව්වෙමි... ඒද අපේම සීයා කෙනෙකු ලවාය.. ගමටම සිටින ප්‍රසිද්ධම හඳහන් බලන්නා ඔහුය... ඔහු කියා තිබුණේ හඳහන් දෙක මධ්‍යස්ථ බවයි... විසි පොරොන්දමෙන් 15 ක් ගැලපෙන බවකුත් පැවසිණ.. සම්බන්ධයට අපේ තාත්තාගේද ආශිර්වාදය ලැබිණි.. අපේ පැත්තෙන් මට පනින්නට තිබුණු ලොකුම කඩුල්ල එයයි..

මා සැමවිටම ඇයට කීවේ මා ගැන ඉක්මනින්ම ගෙදරට කියන ලෙසයි... එහෙත් ඈ ඊට බිය විය...
"ඔයා දන්නැහැ... අපේ තාත්තා හරි වසයි... හරියට කුල මල හොයනවා... ඔයාල මිශ්‍ර කුල කියල දැනගත්තොත් කවදාවත් මේකට කැමති වෙන්නෙ නැහැ.. අපි ටිකක් ඉවසල බලමු.."
මම නිහඬව ඇයට ඉඩ දුන්නෙමි...

කාලයත් සමඟම ගලා ගිය අපේ සම්බන්ධය ඇගේ දෙමව්පියනටද රහසක් නොවන්නට වැඩිකල් ගියේ නැත... වහාම පැමිණ ඔහු හමුවන ලෙස, මගෙ වෙන්ඩ (සිටි) මාමාගෙන් නියෝග ලැබිණ... මාත් මගේ පියාත් ඇගේ නිවසට ගොස් ඔහු හමුවන්නට අදහස් කළෙමු.. එහෙත් ඔහු ඊට දැඩි ලෙස විරුද්ධ විය..

මගේ පියාටත් කේන්ති ගොස් තිබිණි...
"මනුස්ස කමට ගෙදරට ගිහිල්ල හම්බවෙන්න හැදුවහමත් එපා කියනව නම්.. ඕක අල්ලල දාල නිකං ඉන්න එකයි ඇත්තෙ.. ඔච්චරයිද කෙල්ලො ඉන්නෙ මේ රටේ..."
එහෙත් අවසානයේ මා සමඟ ඔහු වැඩ කරන තැනට යාමට තාත්තාද ආවේය...

එය සුහද හමුවක් නොවන බව දැන සිටියත්... උසාවියක් වේ යැයි මම නොසිතුවෙමි... බඳින වයසේ සිටින කෙල්ලෙක් හා කොල්ලෙක් අතර සම්බන්ධයක් ඇති වීම ලොව භයානකම අපරාධය යැයි ඔහු විශ්වාස කරනු ඇතැයි නොසිතුවෙමි.. එහෙත් මා නොසිතූ දේම සිදුවිය.. ඔහුට අනුව මා අපරාධකරුවෙකු විය.. ම පියා සමඟ වදනක් හෝ නොදෙඩීමට තරම් නිහතමානී වූ ඔහු, තමා මේකට කිසිසේත්ම කැමති නොවන බව මගේ මුහුණටම කියන්නට තරම් නිර්ලෝභී විය.. හේතුව ඔහු කොළඹ මිනිසුන් අප්‍රිය කිරීමය... මා ගැන හෝ මගේ ගතිගුණ ගැන කිසිවක් ම නොදැනම හේ මා අප්‍රිය කළේය... එය ඔහුගේ අවසන් තීරණය විය... ඉදිරිපත් කරන ලද ඇපෑලද නිශ්ප්‍රභ කෙරිණි... සම්බන්ධය නවත්වන්නට නියෝග ලැබිණ...

එහෙත් මට මෙන්ම ඇයටත් එය කළ නොහැකි විය...
පසුවට කල් දැමීම් මධ්‍යයේ අපේ සම්බන්ධයද ගලා ගියේය...
එහෙත් යමහල නැවත විදාරණය වුයේ පසුගිය සතියේය...
අප දෙදෙනා අල්ලාප සල්ලාපයේ යෙදෙණු දුටු කවුරුන් හෝ එය ඇගේ පියාගේ කණේ තබා තිබුණි...

එතෙක් පැවති නියෝග - තර්ජන බවටත්, තර්ජන - ගර්ජන බවටත් පරිවර්තනය වන්නට විය...
ඇගේ නිවසින් අපට කිසිදා ආශිර්වාදය නොලැබෙන බව අප දෙදෙනාටම සක් සුදක් සේ පැහැදිලි විය..
ඇය තීරණයක් ගත යුතු ම විය..

අවසානයේ ඈ තීරණයකට පැමිණ තිබේ... !


|සේයාරුව PicApp අඩවියෙනි|

11 April 2010

සනා කොලුවගේ අසා ලිවීම

ඔන්න අද නම් කියන්න යන්නෙ සනා පුංචි සන්දියේ සිද්ධ වෙච්චි අලි අකරතැබ්බයක් ගැන... සනා කිව්වේ මේ අපේ ක්‍රිකට් ගහන සනා හෙම නෙවී.. සයිබර් අවකාශයට ගොඩවෙද්දි නම දිග වැඩියි කියල හිතුණ හින්දා, ඒක කොට කර ගත්තනෙ... සන්සරසිදු කියල.. අපේ රවා කොලුවට පින් සිද්ධ වෙන්න ඒ නම තවත් කොට වුණා... සනා කියල... ඔව් ඔව් මේ කියන්න යන්නේ මේ සනා මෙතුවක් කාලෙකට කාපු ලොකුම චාටරේ ගැන තමා ඕං...

ඔන්න මේක සිද්ධ වුණේ එකදාස් නවසිය බර ගණන්වල...ඒ කියන්නේ සනා ඉස්කෝලේ යන කාලේ... ඒ කාලේ සනා ඉස්කෝලේ දෙවැනි කැලෑසියේ තමා හිටියේ... කොළඹ ඉස්කෝලෙට එන්න කලින් සනා ගියේ ගමේ ඉස්කෝලෙට නෙව.. ඒක ඉතින් මිශ්‍ර පාසලක්.. ඒ කිව්වෙ ඒ ඉස්කෝලේ දැරිවියොත් හිටියා කියන එකනෙ.. අප්පේ... චාටරේ දෙගොඩ තලා යන්නෙත් ඒ හින්දමයි... දැන් මෙහෙම හිටියට.. බලන්න එපෑයැ ඒ කාලේ... සනා තරම් දඟයෙක් ඒ ඉස්කෝලේ හිටියේ නැති තරමි.. දඟ වැඩ කිව්වට එව්ව මේ කාටවත් කරදරයක් වෙන වැඩ එහෙම නෙවී.. කොච්චර දඟ වැඩ කළත් සර්ල මිස්ල සනාට හරි ආදරෙයි... හැමදාම පන්ති නායකයා වෙන්නෙත් සනාම තමා.. අනික පන්තියෙ පළවෙනිය වෙන්නෙත් සනානෙ...

මේ.. මේ.. අනෙක් පැත්තෙන් නෙමෙයි හරි ද ?

ඒ කාලේ සනාලගේ දෙවැනි කැලෑසිය බාරව හිටියේ ඊවා ටීචර්.. අප්පේ බලන්න එපායෑ.. සිරියාව.. කොටින්ම ළමයි ටික ටීචර්ගෙ මූණ බලන්න බයයි.. සිරියාවන්තකම වැඩි හන්දද කොහෙද.. හැබැයි ඉතින් ඔය ඕන ටීචර් කෙනෙක්ගේ හිත දිනා ගන්න සනා තරම් දස්සයෙක් මුළු කැලෑසියෙම හිටියෙ නැති තරම්.. ටීචර්ල කාට බැන්නත්.. කාට ගැහුවත් සනාට නෙමෙයි වචනයක් කියන්නෙ.. ඕං බලමුකො ඒකෙත් හැටි.. එව්ව ඉතින් කොම්පියුටර් ජිල්මාට්.. නෑ.. නෑ.. වැරදුණා.. සනාගේ ජිල්මාට්...

ඔන්න ඉතින් දෙවැනි කැලෑසියේ අවසාන වාර විභාගයත් කිට්ටු වුණා කියමුකො.. මතකනේ ඒ කාලේ... වාර විභාගයක් කිව්වහම.. තියෙන ජාති.. බලා ලිවීම...(කොපි කැට් කිරිල්ල නෙමෙයි ඕං)අසා ලිවීම... චිත්‍ර ඇඳිල්ල... ගණන් හැදිල්ල.. හප්පොච්චියේ තව එකී මෙකී නොකී ජාති නම් කොච්චරක් ද... ඕං ඔය අසා ලිවිල්ල තිබ්බ දවසේ තමා සනා තමන්ගෙ ජීවිතේ මුහුණදෙන අලිම අලි අකරතැබ්බයට මුහුණ දෙන්නෙ...

මාස දෙකයි.. දින දහයයි.. එදා වැහි දවසක්.. (කතාවක් කියන්න ඇවිල්ල සිංදු කියන්න හදනව කියල හිතුවද..)
මං මේ කිව්වේ එදා නම් මාර දවසක්.. වහිනව කියන්නේ.. හිටු කියල..

ඔන්න ඉතින් හැමෝටම පාට පාට කඩදාසි දීලා තිබ්බේ උත්තර ලියන්න.. මතකනේ ඒ කාලේ.. ඔන්න දැන් ඊවා ටීචර් අසා ලිවීමේ විභාගය පටන් ගත්තා... සාමානයයෙන් අසා ලිවීමට වචන දහයක් පහළොවක් දෙනව... එකකට එක ලකුණ ගානෙ.. ඔන්න ඕකනෙ කරන්න බැරි.. එක අකුරක් වැරදුණොත් ඔක්කොම හබක්.. ඉතින් ටීචර් පන්තිය වටේ භ්‍රමණය වෙද්දි.. අපි ටීචර්ගේ වටේ පරිභ්‍රමණය වෙල හරි.. වචනේ හරියට අහගන්න ඕනෑ... ඉතින් දැන් ටීචර් එකින් එක වචන කියාගෙන යනව.. එළියෙ කොච්චර තදින් වහිනවද කිව්වොත් ටීචර් කියන සමහර එව්වා ඇහෙන්නෙම නැති තරම්.. සාමානයයෙන් ඔය එක වචනයක් දෙපාරක් විතර කියවනවනෙ.. අපිත් ඉතින් හරි හරියට ලියනව.. ඔන්න එකපාරටම ටීචර් තව වචනයක් කියනව... “__ඩය"... සනා ඉතින් කන් දෙක ටීචර්ගෙ කට ළඟටම ගෙනිහින් අහන් ඉන්නව.. “__ඩය" ෂිහ්.. සනාට අර පළවෙනි අකුර ඇහෙන්නෙම නෑ... බැරිම තැන මෑන් කනට අතත් තියාගෙන කන් දෙක අලි කන් දෙකක් කරගෙන අහන් හිටියා, ටීචර් තුන්වෙනි පාරටත් කියවද්දි... ම්ම්හු... මේකගේ කන් වල ඉටි පිරිලද මන්ද.. අර පළවෙනි අකුර මූට ඇහෙන්නෙම නෑ.. දැන් මොනව කරන්න ද ? ආයේ ගිහින් අහන්න යැ.. සනා බැලුව පොඩ්ඩක් වට පිට.. සහෝදර සහෝදරියෝ ටික ගජරාමෙට වැඩ.. හීන් සීරුවේ ළගම හිටි එකාට කිට්ටු කොලා, ඇස් දෙකෙන්.. ම්හු.. මෙන්න මූ අතිනුත් වහගෙන.. සනා බලයි කියල වෙන්ඩැ.. අපි අහුවෙයි ඕවට.. දැන් ඉතින් කරන්ඩ දෙයක් නෑ.. හොඳට හිතල බලල ගැලපෙන අකුරක් දානවා.. සනා එහෙම හිතුවා..

ඔය ඉන්නෙ සනා ඒ කාලේ...

Image: photostock / FreeDigitalPhotos.net


ටීචර් අනිත් වචන ටිකත් කියවගෙන කියවගෙන යනව.. පෙර ආත්මෙ කෝච්චියක් ද මන්දා... සනා ඒවට ඇහුම්කන්දීගෙන හිටියට මිනිහගේ හිත දුවන්නෙම අර බැරිවෙච්චි වචනෙ පස්සෙන්.. සනා ඉතින් දැන් අකුරු ගලපනව... ටීචර් කිව්වේ ලයන්න කියලද... “ලඩය“ ම්හු.. නෑ.. නෑ.. ඒක නෙමෙයි.. ම්ම්... සනාගේ මොළේ දැන් එකසිය ගානට වැඩ... මොකක්ද මෙතන්ට දාන්ඩ පුළුවන් අකුර... ම්ම්ම්... ආහ් හරි... සනාට හීන් හිනාවක් ගියා.. ඒ කාලේ ආකිමිඩිස් ඉපදිලාවත් තිබ්බේ නැති හන්දා හොඳයි.. නැත්තං තන්තොසේ වැඩිකමට සනා ඇඟේ නූල්පොටක්වත් නැතුව ඉස්කොලේ වටේ දුවනව “යුරේකා.. යුරේකා..“ කිය කිය.. ඇයි ඉතින් සුළුපටු සොයාගැනිල්ලක්යැ.. ඕං ඉතින් සනාබෝයි උජාරුවට අර වචනෙ සම්පුර්ණ කොරනවත් එක්කම ඊවා ටීචර්, සනාගේ උත්තර පත්තරේ ඩැහැගෙන ගියැයි කියමුකො..

කොහොමින් කොහොම හරි වාර විභාගෙ ඉවර වුණා.. දැන් ඉතින් වාර අවසානෙ ගුරුදෙගුරු හමුව.. හප්පේ එදාට තමා එපා වෙන්නෙ.. ඇයි ඉතින් අම්මල තාත්තලව එක්කගෙන එන්න එපැයි ටීචර් හම්බවෙන්න..

සනාත් ඉතින් කිසි ගින්දරක් නැතුව අම්මිල ඇත්තොත් එක්ක ගියා කියමුකො ඊවා ටීචර්ව හම්බවෙන්න.. අර කොතනත් වගේ.. මෙතැනත් මාර පෝළිම.. නයා ගියා වගේ තමයි.. ඔහොම පෝළිමේ ඉඳල ඉඳල තමන්ගෙ වාරේ ආවහම සනා ගියා ඊවා ටීචර් ගාවට.. අම්මිල ඇත්තොත් එක්කම..

සනා දැක්ක විතරයි... ඊවා ටීචර්ට තන්තොසේ වැඩිකමටද කොහෙද බකස් ගාලා හිනා ගියා.. හිනා ගිහින් නැවතුනා නම් මදැයි.. මේං ඊවා ටීචර් පැල් බැඳගෙන හිකි හිකි ගානවා.. සනා ෆුල් අන්දුන් කුන්දුන්... මේ මොකදෑ මේ.. ඊවා ටීචර්ට වෙල තියෙන්නෙ... සනා ඇස්දෙක කරකවල තමන් දිහාම බැලුවා.. සනාගෙ කමිසෙ..? මැදපු විදිහටම තියෙනව.. පොඩිවෙන්ඩ තියා හිතලවත් නෑ.. කලිසම..? ඔව් ඒකත් තියෙන්ඩ ඕන තැන තියෙනව.. ලේන්සුව..? ඔය තියෙන්නෙ ලස්සනට.. කමිස පොඩ්ඩට කටු ගහල... මේස්.. සපත්තු.. එහෙමත් හරියටම තියෙනව.. ෂාහ්.. සපත්තු දෙකෙන් මූණ බැලුවහැකි.. ඉතින් තව මොනාද.. ඇයි කොණ්ඩෙ..? ආහ් කොණ්ඩෙ නම් පොඩ්ඩක් වැඩියි තමා.. ඒත් ඉතින් මෙච්චර හිනාවෙන්න මොකක්ද ඕකේ තියෙන්නෙ.. බොලේ හැබෑට කපුටෝ කුඩුවක්වත් හදාගෙනද ? සනා ඔලුව අතගාලා බැලුව.. ම්හු.. එහෙම එකකුත් නෑ.. සනා බෝයි දැන් හිටු කියල කල්පනා කරනවා.. ඊවා ටීචර්ගෙ හිනාව නම් නවතින්නෙම නෑ වගේ.. බොලේ අද හඳ මෝරන දවසක්ද.. සනාට එක එක විකාරත් හිතෙනව.. ඊවා ටීචර් හිනාව නවත්ත ගන්නම බැරි තැන මොකක්දෝ ෆයිල් කවරයක් අස්සෙන් ගත්තු කොළයක් අපේ අම්මිල ඇත්තන්ට පෙන්නනව.. කිරි අප්පට බල්ලො පැනපි.. මේ මගේ උත්තර පත්තරේ නොවැ.. සනාබෝයි දැන් අම්මිල ඇත්තො දිහා බලං ඉන්නව.. මේං බොලේ අර හිනාව බෝවෙන රෝගයක් වෙල අම්මිල ඇත්තන්ටත් වැළඳිල... අම්මිල ඇත්තොත්.. ඊවා ටීචර් එක්ක හරි හරියට කැකිරි පළනවා... මෙයාලට මෙච්චර හිනායන්න මොනාද මූ ඕකේ ලිව්වේ... මුකුත් හිනායන දෙයක් නම් ලිව්වේ නැති බව සනාට විශ්වාසයි.. ඒ ගැන නම් සැකයක් නෑ.. බැරිම තැන සනා අම්මිල ඇත්තන්ගෙ අතින් උත්තර පත්තරේ උදුර ගත්තා.. මුල ඉඳල අගට කියෙව්වා.. අග ඉඳල මුලට කියෙව්වා.. ම්හු.. මේ බෝවෙන රෝගෙට හේතුකාරණා සනාට නම් තේරුම් ගන්නම බෑ.. සනා තව ටිකක් හොඳින් බැලුවා.. හැමදේම හරියට ලියල තියෙනව.. කිසි අවුලක් නෑ.. හෝව් හෝව් පොඩ්ඩක් හෝව්.. මේං බොලේ සනා එදා අච්චර අමාරුවෙන් ගලපගත්තු වචනෙට ටීචර් ලොකු කතිරයක් ගහල.. හත්වලාමේ එහෙම වෙන්නෙ කොහොමෙයි... සනා ඉර හඳ ගැටලන්න කල්පනා කොළා.. ම්හු.. කොච්චර කල්පනා කොළත් අදටත් සනාට නම් "ප"යන්න ඇරෙන්න එතැනට ගැලපෙන වෙන අකුරක් හිතා ගන්නම බැහැ නෙව..

බලන්න ඔයාලට එහෙම වෙන අකුරක් මතක් වෙනවද කියල...

29 March 2010

කහ කිරිල්ලී...


Detail view of a heart-shaped cupcake candle

පළමු පෙම භූමදානය කොට වසර එකහමාරකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියේ මටද නොදැනීමය. වළදැමු ඒ මතකයන් නැවත ගොඩ ගන්නට නොසිතෙතත් ඒ ගැන නොකියා ප්‍රවේශයක් ලබා ගත හැකියැයි මට නොසිතේ. ඒ දිනවල මා ගත කළ ජීවිතය ගැන සැබෑ වැටහීමක් තිබුණේ රත්නෙ මාමාට පමණකැයි මට සිතේ. ඒත් අවාසනාවකට මෙන් ඔහුද සිටියේ ගව් දහස් ගණනක් දුරින්, දුරු ඈත රටකය. වරෙක මාමා අපේ අම්මා සමඟ මෙසේ කියා තිබිණ. “අක්කේ.. පුතත් හරියට ලයිට් කපපු ගෙයක් වගේ..! අඳුරේ ඉන්න එක කොච්චර අමාරුද කියල දන්නෙ ලයිට් තිබ්බ ගෙදරක ජීවත් වෙච්ච කෙනෙක් විතරයි..”

තනිකමත් පාළුවත් දැඩි ලෙස මා වෙලාගෙන ඇති සෙයකි.. මම අන් අයගෙන් බොහෝ දුරස් වූයෙමි. දිනකට කතා කළේ වචන කිහිපයක් පමණි. හුදෙකළාව අඳුරේ සිටින්නට බොහෝ සෙයින් ප්‍රිය කළෙමි. රැකියාවට පවා ගියේ යා යුතුම වූ නිසාවෙනි. එසේ නොවන්නට මා ඊටද ආයුබෝවන් කීමට ඉඩ තිබුණි. එහෙත් පියාගේ රැකියාව අහිමිවීමත්, මවගේ අසනීප තත්වයත් නිසා රැකියාවට ආයුබෝවන් කියන්නට මට කොතරම් ඇවැසිවුවත් ඊට ඉඩ කඩක් නොවිණි. පවුලේ බර කරට ගත්තද මා වෙළාගෙන තිබූ සාංකාවත්, තනිකමත් මා හැර ගියේ නැත... ජීවත් විය යුතු නිසා ජීවත් වූයෙමි. සෑම දෙයක්ම පිළිවෙලකට තබා තිබූ මගේ කාමරය පවා දිනෙන් දින පිස්සන් කොටුවක් බවට පරිවර්තනය වෙමින් තිබුණි. ඉඳින් මා ගැන කියනුම කවරේද ? මා කතා බහ කළෙ කිහිපදෙනෙකුන් සමඟ පමණි. අන් අය සමඟ කතාබහ කිරිමද මට වදයක් බවට පත්වෙමින් තිබුණි. මගෙ (බැංකු) ගුරා හෙවත් මගේ හොඳම මිතුරිය සෑම කල්හීම මා සමඟින් සිටියාය. මා සැමදා ඈ ඇමතුවේ "මචං" කියාය. ඒ මචං නොවන්නට මට ජීවිතය එපා වන්නටත් ඉඩ තිබුණි. දිනපතා දුරකතනයෙන් ඈ මා ඇමතුවාය. මා පිළිබඳව හොඳින් දැන සිටි ඈ මසිත සැනසුවාය. මසිත සුවපත් කරන්නට උත්සාහ කළාය. ඇගෙ උවදෙසින් පන්නරය ලද මම ජීවිතය ගැන අළුත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නට උත්සාහ කළෙමි.


“සමනලයෙක්මි, මා
මලක් සොයා ගිය...
මටම සුවඳ දෙන...

ඉසිඹුලෑවෙමි, වරෙක
මලක් ළඟ නැවතී...
සොයා ගිය මල
හමුවිනැයි සිතා...

මං මුලාවූයෙමි, දිව ගොසින්
මිරිඟුවක් පසුපස...
මලකි, ඒ...
බඹරුනට පෙම් බැඳි...”

පළමු පෙම අහිමි වීම ගැන අබමල් රේණුවක හෝ දුකක් මා සිතේ නොවිණි. ඒ මා එය මරා වළලා දැමු නිසාවෙනි. මට එතරම් සාහසික විය හැකියැයි මමද නොදැන සිටියෙමි. එහෙත් මා රැවටූ කෙනෙකුගෙ මතකය පවා මා වෙත රඳවා ගන්නට අකමැති වුයෙමි. ඒ මතකයන්ගෙ චිතකයට ගිනිදැල් වූයෙමි. අවශේෂ මතකයන් කටු ගා දැමූවෙමි. අනුකම්පා විරහිතව මකා දැමුවෙමි. දැන් මට දුකක් නැත. ඇත්තෙ කලකිරීමක් පමණි. මා රැවටූ ඈ ගැන නොවේ. මා ගැනමය. මට මෙවන් තත්වයක් උරුම කළ මගේ දෛවය ගැනය.

මා සැමදා දුටුවේ එකම සිහිනයකි. මගේම කියා තනා ගත් පුංචි කැදැල්ලක මටම ආදරය කරන පුංචි කිරිල්ලියක සමඟ ආදරය, සමගිය, සතුට, සැනසුම පිරි දැහැමි දිවියක් ගෙවන්නටය. එහෙත් ඒ සිහිනය බොඳවී ගියේ මටද සොරාවටය. මම කෑ ගසා හැඞූයෙමි. ඉකිබින්දෙමි. හිතේ දුක තුනී වන තුරු, කොට්ටය තෙත් වන තුරු කඳුළු වැගිරුවෙමි. මටම සාප කරගතිමි. සියල්ල අවසන හතිවැටී නැවතුනෙමි... තනිකමත් පාළුවත් මගේ සමීපතම මිතුරන් කර ගතිමි... හිතේ නලියන අදහස් කඩදාසි කොළවල කුරුටු ගෑවෙමි.

“අදිසි සිර මැදිරියෙක …
බිත්තිවත් යදම්වත් නොමැති …
නිල නොලත් සිරකරුවෙක්මි …
අසීමිත නිදහසක් ඇති …
කළ වරදකුත් නැති …

පණ ගැහෙන මුව පොව්වෙක්මි …
ප්‍රිය සබඳෙකුත් නැති …
සෙනෙහසට උරුමයක් නොමැති …”

කාලය කාටත් සොරා ආලෝකයේ වේගයෙන් ගලා යන්නට විය. දින සති මාස ගෙවි යනු නොදැනුනි...බිඳුනු සිත කෙමෙන් කෙමෙන් සුවපත් වන්නට විය.. හදවතේ ගැඹුරටම හැරූණු තුවාල වියැළි යන්නට විය.. නැවුම් බලාපොරොත්තු සිත වටා රොද බඳින්නට විය.. “මුහුදෙ ඉන්නේ එක මාළුවද...?” ම සගයෝ මසිත දිරිමත් කරන්නට වූහ. මචං ඒ අතර ඉදිරියෙන්ම සිටියාය.

නැන්දලා පියා සමඟ එක්වී සත්අන්ත පුවත්පත්වල මංගල දැනවීමක් පළ කෙළේද මේ අතරය..

“බොදු ගොවිමිශ්‍ර උස අඩි 5' 6 උගත් බුද්ධිමත් දිවයිනේ පුමුඛපෙළේ පෞද්ගලික බැංකුවක ස්ථිර සේවයේ නියුතු පවුලේ එකම වැඩිමල් පුතුට සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. ගුරු, බැංකු විශේෂයි. අමතන්න 077 xxxxxxx.”

පියාගෙ ජංගම දුරකතනය නොනවත්වා නද දෙන්නට විය. දිවයිනේ නන් දෙසින් පිළිතුරු ලිපි ගලා එන්නට විය. නැන්දලාගෙත් පියාගේත් එකම කාර්යය වුයේ කේන්දර ගැලපීමත් පිළිතුරු ලිපි ලිවීමත්ය. ඒත් ඒ කිසිවක් ගැන මසිතේ කැමැත්තක් තිබුණේ නැත.. ඉක්මනින් විවාහ විය යුතු යැයි සිතා තිබුණත් කිසිදා දැන නොසිටි අයෙකු හා විවාහ වීමට අකමැති වූයෙමි. ඔවුන් ගෙනා කිසිදු යෝජනාවක් කෙරෙහි ම සිත නම්මවා ගත නොහැකි විය.

සුපුරුදු පරිදි නිවසින් කාර්යාලයටත් - කාර්යාලයෙන් නිවසටත් මගෙ ජිවිතය ගලා ගියේය. එදිනත් සාමාන්‍ය දිනයකි. කිසිදු වෙනසක් නොවිය.. වෙනදා මෙන්ම නැගෙනහිරින් හිරු පායා ආවේය.. සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළෙමි. වෙනදා මෙන්ම පැමිණීම සටහන් කරන්නට මඳක් පමා වුයෙමි.. පැමිණීමේ ලේඛනය තබා තිබුණේ කාර්යාලයේ වීදුරු බිත්තියක් අසළය. උදෑසන 7.45 සටහන් කොට ඊට ඉදිරියෙන් මගෙ කෙටිසන ද තබා ආපසු යන්නට හැරුණෙමි.

Portrait of a young woman holding her veil


එහෙත් හදිසියේම මගෙ දෑස වීදුරු බිත්තියෙන් එපිටට විහිද ගියේ මටද නොදැනීමය.. වෙනදා දැක නැති නුපුරුදු දසුනකින් සිත හිරි වැටී යනු දැනේ.. කහ පාට සාරියකින් සැරසුණු ඒ සුන්දර රුව මසිත පුරා ඇඳෙනු මට දැනෙන්නට විය.. ඉක්මන් ගමනින් අප කාර්යාලය පසු කර ගිය ඈ මසි‍ත තුළ ඇති කළේ අපූරු හැඟීමකි.. වසරකටත් වැඩි කාලයක් තිස්සෙ කිසිදු කෙල්ලකට ඇති කළ නොහැකි වූ හැඟීම් සමුදායක් ඈ මසිතේ ජනිත කළාය.. මම වහා බැහැරට දිව ගියෙමි.. එහෙත් ඒ වන විටත් ඇගෙ රුව අතුරුදන් වී තිබුණි.. පාරේ ඒ පැත්තටත් මේ පැත්තටත් වරින් වර දෙනෙත් මෙහෙය වූ මට ඉන් එහා දෙයක් දැක ගත නොහැකිවිය. තත්පර ගණනක් ඇතුළත ඈ අතුරුදන් වූයේ කෙසේද ? මා මගෙන්ම විමසා සිටියෙමි. මට පියවි සිහිය ලැබුණේ පාරේ යන එන්නන් වුවමනාවෙන් මදෙස නෙතු හෙලනු දුටු විටය. කටුව තුළට වැදෙන ඉඳිබුවෙකු මෙන් වහා කාර්යාලය තුළට වැදුනෙමි. එහෙත් ඇගෙ රුව මසිත හැරයන බවක් නොදැනේ.. ඈ කවුද ? කොහෙ ද ඉන්නේ..? මොනවද කරන්නේ..? මගෙ පුංචි මොළයට මේ ප්‍රශ්න බර වැඩිය. එහෙත්...එහෙත්

පුංචි කහ කිරිල්ලිය නැවත ඉගිළි නොයන්නට මසිතේ ලැගුම් ගත්තීය..

(රැඳී සිටින්න... තවත් දිනෙක, කහ කිරිල්ලිය පියාසලනු ඇත..)


| සේයාරූ PicApp අඩවියෙනි |

18 March 2010

සිරකරුවෙක්මි....

Image: worradmu / FreeDigitalPhotos.net

ජීවිතයේ …
අමතකව ගිය පිටුවක් ද මා සැමට …?
අඳුර විනිවිද එළියක් දකින්නට …
කොතෙක් කල් තව
නෙතට නින්දක් නොදෙන්න ද …?
පැතූ එළිය ද නිවී ගිය කල …

අදිසි සිර මැදිරියෙක …
බිත්තිවත් යදම්වත් නොමැති …
නිල නොලත් සිරකරුවෙක්මි …
අසීමිත නිදහසක් ඇති …
කළ වරදකුත් නැති …

පණ ගැහෙන මුව පොව්වෙක්මි …
ප්‍රිය සබඳෙකුත් නැති …
සෙනෙහසට උරුමයක් නොමැති …

ජීවිතය ... ලැබූයෙමි
විඳින්නට නොව විඳවන්ට …
භද්‍ර යෞවනය … මෑත අත වනත්දිම …

- සන්සරසිදු -

13 March 2010

අවිහිංසක නුඹේ නමට ...

Image: photostock / FreeDigitalPhotos.net



අක්කර ගණනක් නොවුනට
පර්චස් ගණනක මගෙ හිත …

පුරන් වෙලා තිබිය දි නුඹ,
වගා කරපු ආදරයට …

බුසල් දහක අස්වැන්නත්
හිලව් කරනු බැරි හන්දා …

සින්නක්කර ලිව්වා මම
මගේ එකම එක පොඩි හිත …

අවිහිංසක නුඹේ නමට ...


- සන්සරසිදු -

11 March 2010

සඳ සාවියනේ ...

Image: Idea go / FreeDigitalPhotos.net


හිත් අහසට කැලුම් දිදී
මගේ නෙතඟට රසඳුන සේ
හිඳිනා සඳ සාවියනේ ...
නොයන්න හැර දා මා ...
ඒ අහසට එළිය නුඔයි …
නෙක තරු කැට පිපුණ ද රෑ
නුඹ නැති හද පාලුයි …

තුරු වැල් ද සිප හමනා …
මද පවනට හාදු දිදී
සනහන්න මා දෙසවන්
කිංකිණි රාව සරින් …

තාලයකට සැලෙනා …
නෙක මල් සුවඳ ද පරදා
මා සිත පුබුදුවනා …
ඒ ඉමිහිරි සුවඳ නුඔයි
නුඹ නැති ලොව අඳුරුයි …

- සන්සරසිදු -

09 March 2010

අසනි වළාහකට ලියු කව...

Image: Idea go / FreeDigitalPhotos.net


නිරුවතින් මහ පොළව...
ඉරිතලා සියොළඟ ම...

දැවී කර වී අඟුරු වී ගිය
ගස් වැල් ද කොළ අතු ද ...
සතා සී පාවුන ද...

හමා යන බොල් සුළග
ගයයි මළවුනගෙ ගීතය...

හඬන්නට බැරි අහස් කුස
නිදි වැදී නෙතු බරව...

සිඳී ගිය දිය ඇළිද දොළ පාර
කියයි කෑ ගසා... අවනඩුව...

නැගී නුබ කුස අරා
සිනාසෙන වියරුවෙන්...
මුවාකර ඉර මඬල
මිරිකා හරිනු මැන
ඔබේ...
ඔය සළු පටල...

- සන්සරසිදු -

(2002 රාජ්‍ය සාහිත්‍ය උළෙල වෙනුවෙන් පැවැත්වූ මොරටුව ප්‍රාදේශීය සාහිත්‍ය උළෙලේ ප්‍රථම ස්ථානය දිනූ කව)

07 March 2010

අවවාදය …

Image: Idea go / FreeDigitalPhotos.net



ඉල්ලුම ද සැපයුම ද …
පන්ති කාමරය තුළ පල් වෙද්දි...
වර්ධනය … සංවර්ධනය …
දැක විභාගෙන් පැන යත් දි

“යන්න එපා තොපි ටියුෂන් …
ඕන නෑ ඔය රිවිෂන් ...“

එහෙම කිව්වා, අපෙ ඉකොන් සර් …
දෙලොවකට මැදි වෙත් දි
හවස ටියුෂන් පංතියෙදි
හමුවුණා මට … සර්ගෙ ලොකු දුව …
එයත් …!
ටියුෂන් ඇවිත් ..!!

- සන්සරසිදු -

06 March 2010

පුංචි රෝස මල...

Image: Salvatore Vuono / FreeDigitalPhotos.net



සමනලයෙක්මි, මා
මලක් සොයා ගිය...
මටම සුවඳ දෙන...

ඉසිඹුලෑවෙමි, වරෙක
මලක් ළඟ නැවතී...
සොයා ගිය මල
හමුවිනැයි සිතා...

මං මුලාවූයෙමි, දිව ගොසින්
මිරිඟුවක් පසුපස...
මලකි, ඒ...
බඹරුනට පෙම් බැඳි...

බිඳ වැටී ලෝකයම...
ගසාගෙන ගොස්
කාලය ද සමඟින්
තනිකර දැමුණි, මා...

සිටියෙමි, තනිකමෙන්
මිරිකෙමින්...
ඇටමිදුළු තුළට ම වැදුණු

නෙත ගැටුණි, අහම්ඹෙන්
පුංචි රෝස මල, (කහ පාට...)
සුවඳ දෙන මට ම...

- සන්සරසිදු -

ඔබ …

Image: Dynamite Imagery / FreeDigitalPhotos.net


ඔබ සිහිනයකි …
නෑ මිරිගුවකි …
දිසෙන නෙතු මානයෙන් ඔබ …

සුපිපි ලිය තඹර ඔබ
හද විලට සුවඳ දෙන …
අමා දිය බිඳකි ඔබ
පිපාසිත තොල් මතට …

හද පාරවන මතකයයි ඔබ …
නෙතු අගට නින්දක් නොදෙන …

නෙතු ළඟම නොපිපුණත්
දුරු ඈත සිට මදෙස
නෙතු හෙලන මදහසයි ඔබ …
කිතිකවන හද මඩල …
ඔබ වෙනුවෙන් ම තැවෙන …

- සන්සරසිදු -