සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

16 November 2010

ඕවා අපිට කැප නෑ !!!

අතිශයින්ම මුද්දර ලෝලීන් සඳහා පමණයි !



Image: Francesco Marino / FreeDigitalPhotos.net

මෑත දිනක මගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ කතාබහක යෙදී ඉන්නා නිදහස් මොහොතක හදිසියෙන් මෙන් සිහිපත් වූ යමක් ඔවුන් වෙතින් විමසුවෙමි.

“මචං උඹල ගාව නැද්ද මුද්දර …???”

“මුද්දර...???”
පිළිතුරක් වෙනුවට ලැබුණේ ප්‍රශ්නාර්ථයකි.

“හෑහ්.. උඹ තාම මුද්දර එකතු කරනවාද ? ෂික් ලැජ්ජ නැද්ද බං... පොඩි එකෙක් වගේ මුද්දර එකතු කරන්න...??”
මගේ එක් මිත්‍රයෙක් මදෙස බලා අවඥාසහගතව සිනහසෙයි.

මම මොහොතක් ඔහු දෙස බලා සිටියෙමි. ඔහුගේ නොදැනුවත්කම ගැන සිතා සිනහසෙනවාද නැත්නම් අවඥාව ඉදිරියේ කේන්ති ගන්නවාදැයි මට සිතාගත නොහැකි විය. එහෙත් තවත් එතැන රැඳී සිටින්නට අපහසු බවක් දැනුනෙන් හිඳ හුන් තැනින් නැගී සිටියෙමි. මොකුත්ම නොකියා ඉවතට යන්නට සිත් නොදුන්නෙන් යන්නට ගිය ගමන නවතා මගේ මිතුරා දෙසට හැරී මෙසේ පැවසුවෙමි.

“Machan, Stamp collecting is a hobby of Kings and The King of all hobbies. It's not only for children.”

ඉන් පසු ඔවුන් මොනවා පැවසුවාදැයි මා නොදන්නේ තවත් එතැන නොසිට ඉවතට ගිය බැවිනි. එදා ම'සිතේ හට ගත්තේ සියුම් කලකිරීමකි. පුංචි ලංකාව තුළ ලොව අග්‍රගණ්‍ය විනෝදාංශය වෙත ඇති මෙවැනි ආකල්ප ගැන සිහිවන හැමවිටම මුවඟින් සුසුමක් ගිලිහෙන්නේ නිරායාසයෙනි.

මට හදිසියේම සිහිපත් වූයේ කලකට ඉහත එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය වූ කුමර කුමරියෝ වැඩසටහනකි. ඊට සහභාගී වීම සඳහා ඉතා දුර බැහැර ප්‍රදේශ වල සිට පවා තරුණ තරුණියන් පැමිණෙන බව පෙනෙන්නට තිබිණ. එම වැඩසටහන අතර තුර නම ගම හැරෙන්නට නිතරම වාගේ විමසන පැනයක් වූයේ “ඔබේ විනෝදාංශ මොනවාද ?” යන්නයි. අසන්නට ලැබුණු පිළිතුරු අතර වැඩිපුරම වාගේ අසන්නට ලැබුණේ “මුද්දර එකතු කිරීම” යන පිළිතුරයි. වෙනකක් තබා පාසල් යන වයසේ දරු දැරියන්ගෙන් වුවත් ඔබේ විනෝදාංශ මොනවාදැයි විමසුවහොත් මුලටම ලැබෙන පිළිතුර මුද්දර එකතු කිරිම යන්නයි. එහෙත් මෙලෙස පිළිතුරු දෙන සැවොම සැබෑ ලෙසම මුද්දර එකතු කරනවාදැයි විමසා බැලීම වටී. කොහෙන් හෝ හොයාගත් කොටු රූල් පොතක් පිරෙන්නට පාප්ප හෝ ගම් ගෑ මුද්දර, බුරුතු පිටින් අලවා එයට මුද්දර පොත යැයි කියන අපි හැබෑවටම මුද්දර එකතු කිරීම ගැන දන්නේ මොනවාද ? මේ සම්බන්ධයෙන් සමාජය ප්‍රමාණවත් පරිදි දැනුවත් ව සිටිනවාද ? මේ පුංචි රටේ සැබෑවටම මුද්දර එකතු කිරීම ගැන උනන්දුවක් දක්වන්නෙකුට ප්‍රමාණවත් පරිදි පහසුකම් ලැබෙනවාද ? මේවා පිළිතුරු නැති ප්‍රශ්න සමූහයක් පමණකි.

පාසැල් වියේදී මුද්දර සමාජ කිහිපයකම සාමාජිකයෙකුව සිට ලත් අත්දැකීම් අනුසාරයෙන් සකසා ගත් හින්ජ(ර්)ස් (Stamp Hingers) මගින් මුද්දර රඳවා තබන වීරෝදාර මුද්දර සුරුකුම් පොතක් තවමත් මා වෙත ඉතිරිව තිබේ. හිතෙන හිතෙන හැටියට වියදම් කර මුද්දර පොත් රැගෙන දෙන්නට මගේ පියාට වත්කමක් නොවුණු ඒ කාලයේ ඒ එකම මුද්දර පොත මට මහානර්ඝ වස්තුවක්ම විය. පසු ගිය දිනෙක පොත් ලාච්චුවක් අවුස්සද්දි ඉතා සුරැකිව තබා තිබුණු ඒ අනර්ඝ වස්තුව නැවතත් මගේ දෑතට පත් විය. කාලයේ වැලි තලාවට යට වී තිබුණු මුද්දරවලට බැඳි ආදරය නැවතත් පණ ලබන්නට විය. තවත් එවැනි මුද්දර සුරැකුම් පොත් කිහිපයක් මිලට ගැනීමේ අදහසින් දින කිහිපයකට පෙර පොත් සාප්පු කිහිපයකම කරක් ගැසුවෙමි. අවාසනාවක මහත. ඒ හැම එකකම මුද්දර සුරැකුම් පොත් (Stamp Albums) කියා විකුණන්නට ඇත්තේ මුද්දර රැඳවුම් පොත් (Stamp Stock Books)ය. පළපුරුදු මුද්දර එකතු කරන්නන්ට අවශ්‍ය කරන අනෙකුත් ආම්පන්න වන මුද්දර අඬු (Stamp Tweezers/Tongs), මුද්දර රඳවන (Hingers), තීරූ රඳවන(Mounts), විශාලක කාච (Magnifiers & Loupes), විදමන් ආමානය (Perforation Gauge), වර්ණ දර්ශකය (Colour Guide), දියසලකුණු දර්ශකය (Watermark Detectors), පාරජම්බුල පහන් (Ultraviolet Lamps) ආදීය සොයාගන්නට ඇති අපහසුව ගැන කියනුම කවරේද? මුද්දර අඬුවක් සොයා ගන්නට බැරිම තැන එය eBay හරහා ගෙන්වා ගන්නට මට සිදු විය. eBay හරහා සාධාරණ මිලකට භාණ්ඩ මිලදී ගත හැකි වුවද දරන්නට සිදුවන තැපැල් ගාස්තුව ගැන සිතීමේදි එය එතරම් වටින්නේ නැත. අනෙක් අතට බොහෝ eBay වෙළෙඳුන් මේ පුංචි රටට භාණ්ඩ එවන්නේද නැත. මට අවශ්‍ය මුද්දර සුරැකුම් පොත් ගැන eBay හරහා සෝදිසි කර බැලුවෙමි. මිල සාධාරණ වුවද ගෙවන්නට සිදුවන තැපැල් ගාස්තුව දුටු විට ඊට ඇති ආශාව අත්හැර ගතිමි. තැපැල් ගාස්තුව භාණ්ඩයේ මිල මෙන් තුන් ගුණයකට ආසන්නය. වෙනත් රටවල මුද්දර එකතු කරන්නන්ට නම් වැඩි අපහසුවකින් තොරවම අවශ්‍ය ආම්පන්න මෙන්ම විවිධාකාරයේ මුද්දර සුරැකුම් පොත් වර්ග ද ලබා ගැනීමේ වරම හිමි වී තිබේ. එනයින් ගත් කළ ශ්‍රී ලාංකික මුද්දර එකතු කරන්නන්ගේ තත්වය සැබවින්ම කණගාටුදායක ය.

අහම්බයෙන් වාගේ මට, ශ්‍රී ලංකා තැපැලෙහි (Sri Lanka Post) වෙබ් අඩවියට පිවිසෙන්නට ලැබුණේ මෙසේ මුද්දර සුරැකුම් පොත් ගැන සොයමින් අන්තර්ජාලය තුල සැරිසරමින් ඉන්නා අතරතුර ය. එමඟින් යොමුවුණු සබැඳියකින්, ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ (Philatelic Bureau) අඩවියට පිවිසුණෙමි. ඔවුන්ගේ නිෂ්පාදිත ලැයිස්තුවෙහි මුද්දර සුරැකුම් පොත් ගැනද සඳහන් වූ බැවින් කෙසේ හෝ එහි යාමට ඉටා ගත්තෙමි. එහිදි දැන ගත් තවත් දෙයක් නිසා මගේ උද්යෝගය තවත් වැඩි විය. ජාතික තැපැල් කෞතුකාගාරය ද පිහිටා ඇත්තේ ඊට යාබදව ය.

දින 10 යේ වාර්ෂික නිවාඩුව ලබාගෙන මුද්දර කෞතුකාගාරය පැත්තේත් යායුතුයැයි සිතාගෙන සිටියෙමි. අවසානයේ කාර්යබහුල දවස් අහවර වෙන තුරු බලා සිටියේ පොඩි එකෙකු මෙන් ඇඟිලි ගනිමිනි. නිවාඩුව අනුමත විය. අන්තිමේ ගිය සිකුරාදා ශ්‍රී ලංකා තැපැල් මූලස්ථානය වෙත ගියේ කෞතුකාගාරයද නරඹා මුද්දර කාර්යාංශයට ගොස් මුද්දර සුරැකුම් පොතක් මිලට ගැනීමේ බලාපොරොත්තුවෙනි.

නවීන ගෘහ අලංකරණ ආදියෙන් සමන්විත ශ්‍රී ලංකා තැපෑලේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල තට්ටු කිහිපයකින් සමන්විත එකකි. ප්‍රධාන තැපැල් කාර්යාලය පිහිටියේ එහි පහත මාලයේය. තැපැල් කාර්යාලය ඇතුළත මුද්දර කාර්යාංශයේ වෙළඳ කවුළුවක් පවත්වාගෙන යන බව දැන ගන්නට ලැබුණෙන් පළමුව එහි පිවිසුණෙමි. සාම්ප්‍රදායික රාජ්‍ය සේවයේ ගති, නවීන මෙවලම් හා උපාංග පරයමින් මෙතැනත් විද්‍යමාන වෙයි. අවාසනාවක මහත. එහිද ඇත්තේ පොත් සාප්පුවල විකුණන්නට ඇති Stock Book එකම ය. එහෙත් අහම්ඹයෙන් මෙන් අගනා වස්තුවක් මනෙත ගැටිණ. ඒ 1948 – 2005 දක්වා ශ්‍රී ලංකාව තුළ නිකුත් කළ මුද්දරවල විස්තර අඩංගු මුද්දර නාමාවලියකි (Stamp Catalog). මුද්දර කාර්යාංශය විසින් ඉතා අගනා ලෙස මුද්‍රණය කර තිබුණු එය, රැපියල් දෙදහසකට මිල කර තිබුණද එහි ඇති වටිනාකම සලකා එයින් එකක් මිලදී ගත්තෙමි.


Image: FreeDigitalPhotos.net

කෞතුකාගාරයට පිවිසෙන දොරටුව ඇත්තේ ප්‍රධාන තැපැල් කාර්යාලයට වම් පසිනි. කෞතුකාගාරයට පිවිසීම සඳහා එම දොරටුවත් ඊට මදක් ඔබ්බෙන් ඇති මුද්දර කාර්යාංශයත් පසු කළ යුතුය. අවසානයේ බලාපොරොත්තු කඩ වූ සිතින් තැපැල් කෞතුකාගාරය නරඹන්නට ගියෙමි. ඇතුල්වීම සඳහා ටිකට් ලබාගැනිමක් අවශ්‍ය නොවුණි. මා කෞතුකාගාරයට ඇතුළුවත්දි එහි පාළුව රජයමින් තිබිණ. මා හැරෙන්නට වෙනත් කිසිදු නරඹන්නෙකු එහි නොවීය. එය එක් අතකින් මට නිදහසේ කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව උදා කර දීමක් විය. පැරණි දින මුද්‍රා වල සිට ශ්‍රි ලංකා තැපෑල හා සම්බන්ධ සෑම සියලු දෙයක් ම පාගේ එහි තැන්පත් කර තිබිණ. එහි ඉහත මාලය මුද්දර ප්‍රදර්ශනය කිරීම සඳහා වෙන් කර තිබේ. එහිදී හමු වූ අකිල මහතා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. ආයතන පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ සිට කිහිපදෙනෙකුගෙන්ම විමසා වත් දැන ගන්නට නොහැකි වු කරුණු රැසක් මට ඔහුගෙන් දැන ගත හැකි විය. තවමත් වැඩි දෙනෙකුගේ නෙත ගැටී නැති ජාතික තැපැල් කෞතුකාගාරය කුඩා දරු දැරියන්ට මෙන්ම මුද්දර වලට ආදරය කරන කොයි කාටත් ඉතා වැදගත් වන බව නම් නිසැකය.

ජාතික තැපැල් කෞතුකාගාරයේ හා මුද්දර ප්‍රදර්ශනාගාරයේ ඡායරූප එකතුවක් පහත සබැඳිය ඔස්සේ නැරඹිය හැකිය.

ජාතික තැපැල් කෞතුකාගාරය – සේයාරූ එකතුව


එසේම අවසාන වශයෙන් ඉතා වැදගත් පණිවුඩයක් ඔබ අතට පත් කරන්නට කැමැත්තෙමි.

උපුටා ගැනීම - ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මගින් පළ කළ දැන්වීමකිනි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ මුද්දර සල්පිළක් මෙම නොවැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ, ඩී ආර් විජේවර්ධන මාවතේ, නො 310 හි පිහිටි ශ්‍රි ලංකා තැපැල් මූලස්ථානයේදි පැවැත්වේ. සයිබර් අවකාශයේ සැරිසරන මුද්දර ලෝලී ශ්‍රී ලාංකික ඔබ සැමට මෙය අගනා අවස්ථාවක් වනවාට නොඅනුමානය෴


මෙම ලිපි පෙළ සඳහා e Philatelist නමින් අළුත් අඩවියක් ඇරඹීමට අදහස් කර ඇති අතර මුද්දර එකතු කිරීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයට පහත සබැඳිය ඔස්සේ එය හා එක් විය හැකියි.



>>> Coming Up Next >>>
මුද්දර එකතු කිරීම ගැන (දන්නා තරමින්) ගෙන එන ලිපි පෙළ...
විද්‍යා ප්‍රබන්ධ කෙටි කතාව...
බැංකු දිවියේ සංවේදී සටහන්පෙළ...
බැංකු දිවියේ රස කතා පෙළ...

17 දෙනෙකුගේ අදහස්....:

Naදී said...

බොහොම අනර්ඝ ලිපියක්. ඒවගේම අනර්ඝ විනෝදාංශයක්. දෙකම රසවත්

sansarasidu said...

@ Naදී,
බොහොමත්ම ස්තූතියි සිස්...

ගල්මල්-Coral said...

මුද්දර එකතු කිරීම ලොව ප්‍රධානතම විනෝදාංශවලින් එකක්. මා කුඩා කාලයේ පටන් ගත් මේ විනෝදාංශය සෑහෙන කාලයක් කරගෙන ආවා. ඒ අතර ලංකාවේ 1930ස් ගනන්වල සිට නිකුත් කරපු මුද්දර ගනනාවක් තිබුණා. විදේශ රටවල් බොහෝමයක මුද්දර එකතුවක් ද විය. මේ විනෝදාංශය තුලින් ලබන්න පුලුවන් දැණුම ඉමහත්. 1975-85 කාලයේ ලංකවේ මුද්දර එකතු විකිණීම ඉතා සරු ව්‍යාපාරයක් වූ අතර, බොහෝවිට ඩුප්ලිකේට් ප්‍රින්ට් විකුණන අය සල්ලි ගැරුවා මුද්දර සමාජ ලෙස පෙනී සිටිමින්.

මා කාන්තාර වාසියෙක් වුනාට පසුව තම දරුවන්ට පෙන්නන කියා මගේ ඇල්බම් ගනනාවක් එකින් එක අරන් ගිය අපේ නෑයෙක් මගේ මුද්දර එකතුව බලයෙන් අල්ලා ගත්තා.

මුද්දර එකතුව ආරක්ෂා කරගන්න, අල්බම් හදාගන්න එහෙම කියලා දුන්නේ මගේ ගුරුවරයෙක්. ඒ හැර ඇල්බම් හා ආම්පන්න මුලදී ගන්න හැකියාවක් නොවිය. ඉඳහිට වරක් මුල්දින කවර මුලදී ගන්න පුලුවන් වුනා සොච්චමක් එකතු කරලා.

බැලූ බැල්මට පරණ කියලා හිතෙන නිසා වෙන්න ඇති අද කාලේ මේ විනෝදාංශය නැතිවී යන්නේ. බොහෝම සිත්ගන්නා ලෙස සැකසුන පෝස්ට එකක්. ඒ වගේම ඉදිරියේ එලඹෙන මුද්දර ප්‍රදර්ශණය ගැන තොරතුරට බොහෝම ස්තුතියි මල්ලී.

Abeetha Edirisinghe said...

මගෙ ලග තියෙනවා මුල්දින කවර විශාල ප්‍රමාණයක්... ඉඩක් ලද විගස ඒ විනෝදාංශය අලුත් කරගන්නට බලාපොරොත්තු වෙනවා... ස්තූතියි ඒ ගැන සිත යොමන්න මතක් කලාට....

Anonymous said...

හ්ම්ම්ම් ගොඩක් දවසකින්.

රටවල් හතලිස් ගනනක මුද්දරත් එක්ක නැතිඋන[ඒක කාටදෝ පිනට දීලා..මම නැති අතරේ අපේ ගෙදරින්] මගේ මුද්දර පොත මට මතක් උනා.
තොරතුරු වලට ස්තූතියි..!!

sansarasidu said...

@ ගල්මල්-Coral,
බොහොමත්ම ස්තූතියි අයියෙ සටහනට... ඇත්ත මුද්දර එකතු කිරීම කියන්නෙ විනෝදාංශයකට වඩා එහා ගිය දෙයක්...

බොහොම පරිස්සමින් තමන් ළඟ තියාගෙන හිටපු ඒ වගේ දෙයක් නැති වුණාම දැනෙන හැඟීම මොන වගේ ද කියල මටත් හිතාගන්න පුළුවනි...

ඇත්ත අයියේ පටන් ගත්ත මුල් කාලේ මටත් අයියට වගේම ආම්පන්න තියා මුද්දර ගන්නවත් සල්ලි තිබුණේ නෑ....

බොහොම සූක්ෂම විදිහට මුද්‍රණය කරපු හොර මුද්දර අද වැහි වැහැල... හොඳ මුද්දරේ මොකක් ද, හොර මුද්දරේ මොකක් ද කියල ප්‍රවීන මුද්දර එකතු කරන්නෙකුටත් හොයාගන්න අමාරු කාලයක් මේක... නවින පරිගණක තාක්ෂණයත්, මුද්‍රණ ශිල්පයේ දියුණුවත් හන්දා මුද්දර එකතු කරන්නන්ට එල්ල වෙලා තියෙන අභියෝගය නම් සුළුපටු එකක් නෙවෙයි..

මට නම් හිතෙන්නෙ අයියේ පරණ කියල හිතනවට වඩා අපේ අයට මුද්දර එකතු කිරීම ගැන හරි වැටහීමක් නැති කමයි ඒකට මුල... මේවා ගැන හෙළ බසින් ලියැවෙන පත පොත හරිම විරලයිනෙ...
මේ ගැන හෙළ බසින් ලියැවුණු අපුරු පොතක් මට මතක් වුණා..
අනුර සමරවීර මහත්මයගේ "මුද්දර විනෝදය" කියන පොත.. ඒක නම් ගොඩක්ම වැදගත් පොතක්...

sansarasidu said...

@ අභීත,
මුල්දින කවර එකතු කරනවා කියන එකත් මුද්දර විනෝදාංශයේම තවත් පැත්තක්.. අයියා ගාව මුල්දින කවර සෑහෙන ප්‍රමාණයක් තියෙනව කියන්නේ හරිම වටින දෙයක්.. ඉඩක් ලැබුණොත් මුද්දර සල්පිළ පැත්තෙත් යන්න.. මඟහැරුණු නිකුතුවක් එහෙම තියෙනව නම් මිලට ගන්න අවස්ථාවක් ලැබේවි... ඒ වගේම මුද්දර කාර්යාංශයේ ස්ථාවර ඇණවුම් තැන්පතු ගිණුමක් (SODA - Standing Order Deposit Account) ඇරඹීමෙන් ඉදිරියෙදි නිකුත් කරන මුද්දර වගේම මුල්දින කවරත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවනි... ඔන්න අයියට මගෙන් තවත් පුංචි මතක් කිරීමක්...

ස්තූතියි ගොඩවැදුණට...

sansarasidu said...

@ nimanthi,
ඔව් අක්කේ.. ගොඩාක්ම කාර්ය බහුල කාලයක් ගත කළේ..
බ්ලොග් ලියන්න තියා කියවන්නවත් ඉඩ හසරක් ලැබුණෙ නැහැ...
දින 10යේ වාර්ෂික නිවාඩුව ලැබුණ නිසා මේ දවස් ටිකේ නම් ටිකක් නිවිහැනහිල්ලේ හිටියා... ආයේ ඉතින් සිකුරාදට පුරුදු පරිදි රාජකාරියට වාර්තා කරන්න ඕනෑ...

ඒකත් එහෙමද... ඒක නම් හරිම අපරාධයක්!
බෙදා හදා ගන්න එක නම් මුද්දර එකතු කරද්දි ගොඩක් වැදගත්..
ඒත් ඒක තමන්ගේ අනුදැනුමක් නැතිව වුණහම දැනෙන හැටි මට හිතාගන්න පුළුවනි...
ලැබුණ කෙනා මුද්දර එකතු කිරීම ගැන යමක් කමක් තේරෙන කෙනෙක් වුණොත් හොඳයි...
එහෙම නැත්නම් ඒක ඇත්තටම අපරාධයක්... මොකද එතකොට ඒ වගේ එකතුවක් එයා අතින් විනාශවෙන්න තියෙන ඉඩ වැඩි හන්දා..
මුද්දර එකතුවක් හරි හැටියට බලා කියාගන්නව කියන එක, පොඩි දරුවෙක් හදා වඩා ගන්නව වගේ වැඩක් නෙව...

ස්තූතියි අක්කේ සටහනට..

Anonymous said...

මමත් පොඩි කාලේ ඔය කියන චාටර් විදිහට මුද්දර එකතු කලා. පස්සේ පස්සේ ලොකු වෙනකොට ආසාව අතඇරුනා.

෴ හසියා ෴ said...

ෂා අයියේ නියමම නියමයි...වැදගත්ම වැදගත් ලිපියක්.මගේත් හොද මුද්දර කලෙක්ෂන් එකක් තියෙනවා.මාත් පොඩි කාලේ ඉදන්ම මුද්දර එකතු කලා.අයියේ අර දුන්නු ඔත්තුවට නම් පිං.ඇත්තමයි.මාත් අනිවා යනවා ප්‍රදර්ශනයට.
ඉස්සරනම් අවුරුද්දකට හරියන්න සල්ලි බැදලා තියනවා,මුල් දින කවර ගන්න.දැන්නම් ඒ පුරුද්ද නැත්තටම නැතිවෙලා.
ඒ වගේමයි තවත් මුද්දර එකතුකරන්නෝ සෙට් එකක් අදුනාගන්න ලැබුණ එක ඇත්තටම සතුටක්‍.
මගෙත් අර අනුර සමරවීර මහතාගේ "මුද්දර විනොදය" පොත තියෙනවා.
අද කාලේ ලමයින්ගෙන් විනෝදාංශය ඇහුවොත් කියන්නේ...ටීවී බැලීම කම්පුයුටර් ගේම්ස් සෙල්ලම් කිරීම.දැන් මුද්දර එකතු කරන්නෙක් හොයාගන්න පුදුම අමාරුවක් තියෙන්නේ.
මුද්දරයක් ඉතාම පොඩියි තමයි.ඒත් ඒ පොඩි මුද්දරය තුල සැගවිලා තියෙන අරුත් දැනුම විනෝදය බොහෝමයි.
ඇත්තටම වටිනා ලිපියක් අයියේ...ආයෙත් ස්තූති කරන්න ඕනි දුන්නු ඔත්තුවට.අයියා කිව්වේ නැතිනම් අපි දන්නේත් නෑ.මොකද ඉතිං අද ලංකාවේ ප්‍රවෘත්ති වලට වත් ඔය වගේ වැදගත් දෙවල් දාන්නේ නෑනේ....

Hasitha Gunasinghe said...

ඔය වගේම අත්දැකීමක් මටත් තියෙනවා අයියා. හුඟක් අය හංවඩු ගහලා තියෙන්නේ මුද්දර එකතු කරන එක පොඩි එවුන්ගේ වැඩක් කියලා.

මම තාමත් මගේ මුද්දර පොත් නඩත්තු කරන්නේ හරිම ආසාවෙන්. තාමත් කොහේ හරි ගියාම කාගේ හරි ලියුම් කවරවල දැකලා නැති මුද්දර තිබ්බොත් මම එයාගෙන් ඒවා ඉල්ලන් ඇවිත් මුද්දර එකතුවට එකතු කරගන්නවා.

මිහිර පත්තරේ ඉස්සර ගියා මුද්දර විනෝදය කියලා ලිපි පෙලක පියල් සමරවීර තමා ඒවා ලිව්වේ මට මතක විදිහට ඒකෙන් ලොකු උදව්වක් ලැබුණා සාර්ථකව මුද්දර එකතුවක් පවත්වාගෙන යන්න.

මුද්දර ප්‍රදර්ශනය පුලුවන් වුණොත් බලන්න යන්න ඕනේ.....

sansarasidu said...

@ Anonymous,
අපේ ගොඩ දෙනෙක් මුද්දර එකතු කරන්නෙ ඔය විදිහට...
ඒ හරි හැටි නොදන්නකම නිසා...

ඒ වගේ විනෝදාංශයක් අතහැරුණු එක නම් අපරාධයක්...

ස්තූතියි ගොඩවෙලා සටහනක් තියල ගියාට...

sansarasidu said...

@ ෴ හසියා ෴,
බොහොමත්ම ස්තුතියි මල්ලි...
අහන්නත් සතුටුයි... කලෙක්ෂන් එක පරිස්සම් කරගන්න...

මාත් හිතන් ඉන්නේ කොහොමහරි මුද්දර ප්‍රදර්ශනය හා සල්පිළ පැත්තේ යනවා කියල... ගිහින් ඇවිත් ඒ ගැන කියන්න තව ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා...

අනුර සමරවීර මහත්මයගේ "මුද්දර විනොදය" පොත නම් මේ සම්බන්ධයෙන් හෙළ බසින් ලියැවුණු ඉතාම වටින පොතක් මල්ලී...
ආධුනිකයෙකුට වගේම පළපුරුදු මුද්දර එකතු කරන්නෙකුට වුණත් ඉගෙන ගන්න ගොඩක් දේවල් ඒ පොතේ තියෙනවා..
ඊට අමතරව YouTube එකේ එහෙම පොඩි සෙවුමක් දාලා බැලුවහම ගොඩක් වැදගත් වෙන වීඩියෝ ක්ලිප් ටිකක් හොයාගන්න අමාරු වෙන්නේ නැහැ...

ඒක ඇත්ත මල්ලී.. මාත් දැන ගත්තේ අහම්බෙන්...
නැත්නම් ඉතින් මටත් දැනගන්න හැටියක් නැහැ.. දැනගත්ත දේ බෙදා හදා ගන්න එක යුතුකමක් කියල හිතුණා..
ඒක කාට හරි ප්‍රයෝජනයක් වුණා නම් මගේ සතුටත් ඒක තමයි...

ස්තූතියි හසියෝ සටහනට...

sansarasidu said...

@ Hasitha,
මොනව කරන්නද මල්ලී.. අපේ අයගේ නොදන්න කමනේ...
අපේ අය දැකල නැහැනේ පිටරටවල වයසක ආච්චිල සීයල හිටන් මුද්දර සමාජවලට බැඳිල හරිම ක්‍රියාකාරී විදිහට මුද්දර එකතු කරන හැටි...
අපේ අය නොදන්නකම වහගන්න හදන්නේ ඒ වගේ දේවල් අවඥාවට ලක් කරලනෙ... නැද්ද?

මාත් එහෙමම තමයි මලේ... ඇත්තටම අර හසියා කිව්ව වගේ මේ සයිබර් අවකාශයේ කරක් ගහන හොඳ මුද්දර ලෝලීන් පිරිසක් අඳුන ගන්න ලැබුණ එක ඇත්තටම ලොකු සතුටක්...

මටත් මතකයි මල්ලී... මාත් ඉස්සර මිහිර පත්තරේ ගත්තා... ඒ කාලේ ගොඩක් ආසාවෙන් කියවපු ලිපි පෙළක් ඒක...

පුළුවන් වුණොත් නෙමෙයි කොහොම හරි යන්න බලන්න... මාත් ගිහින් ඇවිත් වැඩි විස්තර දන්වන්නම්...

ස්තූතියි මල්ලී සටහනට...

priyantha said...

කාලෙකින් මේ පැත්තේ ආවේ. මමත් ඉස්සර ඔය විනෝදාංශය කළා. ඒත් අර කිව්වා වගේ CR පොතක ඇලවන එක තමා කළේ. දැන්නම් ඒවාට මොනව උනාන කියන්න දන්නේ නෑ. ඒත් මේක ඉතාම හොඳ විනෝදාංශයක්. ආයෙත් මුද්දර එකතු කරන්න හිතෙනවා. බලමුකෝ...

sansarasidu said...

@ priyantha.ඒබී,

මේ වගේ විනෝදාංශයක් කරගෙන යන එක ගොඩක් වටිනවා අයියේ...
ආයේ පටන් ගන්නව නං ඕන කරන උදව්වක් දෙන්න මමත් ලෑස්තියි...

ස්තූතියි ගොඩවෙල අදහස් කියල ගියාට..

sansarasidu said...

@ All,

පසුගිය දවසක මං මගේ බ්ලොග් අඩවියේ මුද්දර විනෝදාංශය ගැන ලිපියක් පළකළා ඔයාලට මතක ඇතැයි සිතමි.
මං හිතාගෙන හිටියෙ ඒ ගැන දිගටම මගේ බ්ලොගයෙ ලියන්න. ඒත් මට තේරුණ දෙයක් තමයි තාමත් මුද්දර එකතු කරන
අය ඉන්නේ හරිම අතළොස්සක් කියන එක. ඒ හන්දා මගේ බ්ලොගය කියවන මුද්දර එකතු නොකරන අයට අවහිරයක් නොවන්න
මේ ගැන මා ලියන ලිපි සඳහා වෙනම අඩවියක් පටන් ගන්න මා අදහස් කළා. අද තමා ඒක ක්‍රියාවට නැගුවෙ...

අළුත් අඩවියේ නම

e - Philatelist
මුද්දර ලෝලියෙකුගේ අන්තර්ජාල සටහන...
http://sansarasidu-philatelist.blogspot.com/
කියන ලිපිනය ඔස්සේ මේ අඩවියට ගොඩවිය හැකියි.

Post a Comment