පළමු පෙම භූමදානය කොට වසර එකහමාරකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියේ මටද නොදැනීමය. වළදැමු ඒ මතකයන් නැවත ගොඩ ගන්නට නොසිතෙතත් ඒ ගැන නොකියා ප්‍රවේශයක් ලබා ගත හැකියැයි මට නොසිතේ. ඒ දිනවල මා ගත කළ ජීවිතය ගැන සැබෑ වැටහීමක් තිබුණේ රත්නෙ මාමාට පමණකැයි මට සිතේ. ඒත් අවාසනාවකට මෙන් ඔහුද සිටියේ ගව් දහස් ගණනක් දුරින්, දුරු ඈත රටකය. වරෙක මාමා අපේ අම්මා සමඟ මෙසේ කියා තිබිණ. “අක්කේ.. පුතත් හරියට ලයිට් කපපු ගෙයක් වගේ..! අඳුරේ ඉන්න එක කොච්චර අමාරුද කියල දන්නෙ ලයිට් තිබ්බ ගෙදරක ජීවත් වෙච්ච කෙනෙක් විතරයි..”
තනිකමත් පාළුවත් දැඩි ලෙස මා වෙලාගෙන ඇති සෙයකි.. මම අන් අයගෙන් බොහෝ දුරස් වූයෙමි. දිනකට කතා කළේ වචන කිහිපයක් පමණි. හුදෙකළාව අඳුරේ සිටින්නට බොහෝ සෙයින් ප්‍රිය කළෙමි. රැකියාවට පවා ගියේ යා යුතුම වූ නිසාවෙනි. එසේ නොවන්නට මා ඊටද ආයුබෝවන් කීමට ඉඩ තිබුණි. එහෙත් පියාගේ රැකියාව අහිමිවීමත්, මවගේ අසනීප තත්වයත් නිසා රැකියාවට ආයුබෝවන් කියන්නට මට කොතරම් ඇවැසිවුවත් ඊට ඉඩ කඩක් නොවිණි. පවුලේ බර කරට ගත්තද මා වෙළාගෙන තිබූ සාංකාවත්, තනිකමත් මා හැර ගියේ නැත... ජීවත් විය යුතු නිසා ජීවත් වූයෙමි. සෑම දෙයක්ම පිළිවෙලකට තබා තිබූ මගේ කාමරය පවා දිනෙන් දින පිස්සන් කොටුවක් බවට පරිවර්තනය වෙමින් තිබුණි. ඉඳින් මා ගැන කියනුම කවරේද ? මා කතා බහ කළෙ කිහිපදෙනෙකුන් සමඟ පමණි. අන් අය සමඟ කතාබහ කිරිමද මට වදයක් බවට පත්වෙමින් තිබුණි. මගෙ (බැංකු) ගුරා හෙවත් මගේ හොඳම මිතුරිය සෑම කල්හීම මා සමඟින් සිටියාය. මා සැමදා ඈ ඇමතුවේ "මචං" කියාය. ඒ මචං නොවන්නට මට ජීවිතය එපා වන්නටත් ඉඩ තිබුණි. දිනපතා දුරකතනයෙන් ඈ මා ඇමතුවාය. මා පිළිබඳව හොඳින් දැන සිටි ඈ මසිත සැනසුවාය. මසිත සුවපත් කරන්නට උත්සාහ කළාය. ඇගෙ උවදෙසින් පන්නරය ලද මම ජීවිතය ගැන අළුත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නට උත්සාහ කළෙමි.
“සමනලයෙක්මි, මා
මලක් සොයා ගිය...
මටම සුවඳ දෙන...
ඉසිඹුලෑවෙමි, වරෙක
මලක් ළඟ නැවතී...
සොයා ගිය මල
හමුවිනැයි සිතා...
මං මුලාවූයෙමි, දිව ගොසින්
මිරිඟුවක් පසුපස...
මලකි, ඒ...
බඹරුනට පෙම් බැඳි...”
පළමු පෙම අහිමි වීම ගැන අබමල් රේණුවක හෝ දුකක් මා සිතේ නොවිණි. ඒ මා එය මරා වළලා දැමු නිසාවෙනි. මට එතරම් සාහසික විය හැකියැයි මමද නොදැන සිටියෙමි. එහෙත් මා රැවටූ කෙනෙකුගෙ මතකය පවා මා වෙත රඳවා ගන්නට අකමැති වුයෙමි. ඒ මතකයන්ගෙ චිතකයට ගිනිදැල් වූයෙමි. අවශේෂ මතකයන් කටු ගා දැමූවෙමි. අනුකම්පා විරහිතව මකා දැමුවෙමි. දැන් මට දුකක් නැත. ඇත්තෙ කලකිරීමක් පමණි. මා රැවටූ ඈ ගැන නොවේ. මා ගැනමය. මට මෙවන් තත්වයක් උරුම කළ මගේ දෛවය ගැනය.
මා සැමදා දුටුවේ එකම සිහිනයකි. මගේම කියා තනා ගත් පුංචි කැදැල්ලක මටම ආදරය කරන පුංචි කිරිල්ලියක සමඟ ආදරය, සමගිය, සතුට, සැනසුම පිරි දැහැමි දිවියක් ගෙවන්නටය. එහෙත් ඒ සිහිනය බොඳවී ගියේ මටද සොරාවටය. මම කෑ ගසා හැඞූයෙමි. ඉකිබින්දෙමි. හිතේ දුක තුනී වන තුරු, කොට්ටය තෙත් වන තුරු කඳුළු වැගිරුවෙමි. මටම සාප කරගතිමි. සියල්ල අවසන හතිවැටී නැවතුනෙමි... තනිකමත් පාළුවත් මගේ සමීපතම මිතුරන් කර ගතිමි... හිතේ නලියන අදහස් කඩදාසි කොළවල කුරුටු ගෑවෙමි.
“අදිසි සිර මැදිරියෙක …
බිත්තිවත් යදම්වත් නොමැති …
නිල නොලත් සිරකරුවෙක්මි …
අසීමිත නිදහසක් ඇති …
කළ වරදකුත් නැති …
පණ ගැහෙන මුව පොව්වෙක්මි …
ප්‍රිය සබඳෙකුත් නැති …
සෙනෙහසට උරුමයක් නොමැති …”
කාලය කාටත් සොරා ආලෝකයේ වේගයෙන් ගලා යන්නට විය. දින සති මාස ගෙවි යනු නොදැනුනි...බිඳුනු සිත කෙමෙන් කෙමෙන් සුවපත් වන්නට විය.. හදවතේ ගැඹුරටම හැරූණු තුවාල වියැළි යන්නට විය.. නැවුම් බලාපොරොත්තු සිත වටා රොද බඳින්නට විය.. “මුහුදෙ ඉන්නේ එක මාළුවද...?” ම සගයෝ මසිත දිරිමත් කරන්නට වූහ. මචං ඒ අතර ඉදිරියෙන්ම සිටියාය.
නැන්දලා පියා සමඟ එක්වී සත්අන්ත පුවත්පත්වල මංගල දැනවීමක් පළ කෙළේද මේ අතරය..
“බොදු ගොවිමිශ්‍ර උස අඩි 5' 6 උගත් බුද්ධිමත් දිවයිනේ පුමුඛපෙළේ පෞද්ගලික බැංකුවක ස්ථිර සේවයේ නියුතු පවුලේ එකම වැඩිමල් පුතුට සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. ගුරු, බැංකු විශේෂයි. අමතන්න 077 xxxxxxx.”
පියාගෙ ජංගම දුරකතනය නොනවත්වා නද දෙන්නට විය. දිවයිනේ නන් දෙසින් පිළිතුරු ලිපි ගලා එන්නට විය. නැන්දලාගෙත් පියාගේත් එකම කාර්යය වුයේ කේන්දර ගැලපීමත් පිළිතුරු ලිපි ලිවීමත්ය. ඒත් ඒ කිසිවක් ගැන මසිතේ කැමැත්තක් තිබුණේ නැත.. ඉක්මනින් විවාහ විය යුතු යැයි සිතා තිබුණත් කිසිදා දැන නොසිටි අයෙකු හා විවාහ වීමට අකමැති වූයෙමි. ඔවුන් ගෙනා කිසිදු යෝජනාවක් කෙරෙහි ම සිත නම්මවා ගත නොහැකි විය.
සුපුරුදු පරිදි නිවසින් කාර්යාලයටත් - කාර්යාලයෙන් නිවසටත් මගෙ ජිවිතය ගලා ගියේය. එදිනත් සාමාන්‍ය දිනයකි. කිසිදු වෙනසක් නොවිය.. වෙනදා මෙන්ම නැගෙනහිරින් හිරු පායා ආවේය.. සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළෙමි. වෙනදා මෙන්ම පැමිණීම සටහන් කරන්නට මඳක් පමා වුයෙමි.. පැමිණීමේ ලේඛනය තබා තිබුණේ කාර්යාලයේ වීදුරු බිත්තියක් අසළය. උදෑසන 7.45 සටහන් කොට ඊට ඉදිරියෙන් මගෙ කෙටිසන ද තබා ආපසු යන්නට හැරුණෙමි.
එහෙත් හදිසියේම මගෙ දෑස වීදුරු බිත්තියෙන් එපිටට විහිද ගියේ මටද නොදැනීමය.. වෙනදා දැක නැති නුපුරුදු දසුනකින් සිත හිරි වැටී යනු දැනේ.. කහ පාට සාරියකින් සැරසුණු ඒ සුන්දර රුව මසිත පුරා ඇඳෙනු මට දැනෙන්නට විය.. ඉක්මන් ගමනින් අප කාර්යාලය පසු කර ගිය ඈ මසිත තුළ ඇති කළේ අපූරු හැඟීමකි.. වසරකටත් වැඩි කාලයක් තිස්සෙ කිසිදු කෙල්ලකට ඇති කළ නොහැකි වූ හැඟීම් සමුදායක් ඈ මසිතේ ජනිත කළාය.. මම වහා බැහැරට දිව ගියෙමි.. එහෙත් ඒ වන විටත් ඇගෙ රුව අතුරුදන් වී තිබුණි.. පාරේ ඒ පැත්තටත් මේ පැත්තටත් වරින් වර දෙනෙත් මෙහෙය වූ මට ඉන් එහා දෙයක් දැක ගත නොහැකිවිය. තත්පර ගණනක් ඇතුළත ඈ අතුරුදන් වූයේ කෙසේද ? මා මගෙන්ම විමසා සිටියෙමි. මට පියවි සිහිය ලැබුණේ පාරේ යන එන්නන් වුවමනාවෙන් මදෙස නෙතු හෙලනු දුටු විටය. කටුව තුළට වැදෙන ඉඳිබුවෙකු මෙන් වහා කාර්යාලය තුළට වැදුනෙමි. එහෙත් ඇගෙ රුව මසිත හැරයන බවක් නොදැනේ.. ඈ කවුද ? කොහෙ ද ඉන්නේ..? මොනවද කරන්නේ..? මගෙ පුංචි මොළයට මේ ප්‍රශ්න බර වැඩිය. එහෙත්...එහෙත්
පුංචි කහ කිරිල්ලිය නැවත ඉගිළි නොයන්නට මසිතේ ලැගුම් ගත්තීය..
(රැඳී සිටින්න... තවත් දිනෙක, කහ කිරිල්ලිය පියාසලනු ඇත..)
| සේයාරූ PicApp අඩවියෙනි |