සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

29 March 2010

කහ කිරිල්ලී...


Detail view of a heart-shaped cupcake candle

පළමු පෙම භූමදානය කොට වසර එකහමාරකටත් වඩා වැඩි කාලයක් ගෙවී ගියේ මටද නොදැනීමය. වළදැමු ඒ මතකයන් නැවත ගොඩ ගන්නට නොසිතෙතත් ඒ ගැන නොකියා ප්‍රවේශයක් ලබා ගත හැකියැයි මට නොසිතේ. ඒ දිනවල මා ගත කළ ජීවිතය ගැන සැබෑ වැටහීමක් තිබුණේ රත්නෙ මාමාට පමණකැයි මට සිතේ. ඒත් අවාසනාවකට මෙන් ඔහුද සිටියේ ගව් දහස් ගණනක් දුරින්, දුරු ඈත රටකය. වරෙක මාමා අපේ අම්මා සමඟ මෙසේ කියා තිබිණ. “අක්කේ.. පුතත් හරියට ලයිට් කපපු ගෙයක් වගේ..! අඳුරේ ඉන්න එක කොච්චර අමාරුද කියල දන්නෙ ලයිට් තිබ්බ ගෙදරක ජීවත් වෙච්ච කෙනෙක් විතරයි..”

තනිකමත් පාළුවත් දැඩි ලෙස මා වෙලාගෙන ඇති සෙයකි.. මම අන් අයගෙන් බොහෝ දුරස් වූයෙමි. දිනකට කතා කළේ වචන කිහිපයක් පමණි. හුදෙකළාව අඳුරේ සිටින්නට බොහෝ සෙයින් ප්‍රිය කළෙමි. රැකියාවට පවා ගියේ යා යුතුම වූ නිසාවෙනි. එසේ නොවන්නට මා ඊටද ආයුබෝවන් කීමට ඉඩ තිබුණි. එහෙත් පියාගේ රැකියාව අහිමිවීමත්, මවගේ අසනීප තත්වයත් නිසා රැකියාවට ආයුබෝවන් කියන්නට මට කොතරම් ඇවැසිවුවත් ඊට ඉඩ කඩක් නොවිණි. පවුලේ බර කරට ගත්තද මා වෙළාගෙන තිබූ සාංකාවත්, තනිකමත් මා හැර ගියේ නැත... ජීවත් විය යුතු නිසා ජීවත් වූයෙමි. සෑම දෙයක්ම පිළිවෙලකට තබා තිබූ මගේ කාමරය පවා දිනෙන් දින පිස්සන් කොටුවක් බවට පරිවර්තනය වෙමින් තිබුණි. ඉඳින් මා ගැන කියනුම කවරේද ? මා කතා බහ කළෙ කිහිපදෙනෙකුන් සමඟ පමණි. අන් අය සමඟ කතාබහ කිරිමද මට වදයක් බවට පත්වෙමින් තිබුණි. මගෙ (බැංකු) ගුරා හෙවත් මගේ හොඳම මිතුරිය සෑම කල්හීම මා සමඟින් සිටියාය. මා සැමදා ඈ ඇමතුවේ "මචං" කියාය. ඒ මචං නොවන්නට මට ජීවිතය එපා වන්නටත් ඉඩ තිබුණි. දිනපතා දුරකතනයෙන් ඈ මා ඇමතුවාය. මා පිළිබඳව හොඳින් දැන සිටි ඈ මසිත සැනසුවාය. මසිත සුවපත් කරන්නට උත්සාහ කළාය. ඇගෙ උවදෙසින් පන්නරය ලද මම ජීවිතය ගැන අළුත් බලාපොරොත්තුවක් ඇති කර ගන්නට උත්සාහ කළෙමි.


“සමනලයෙක්මි, මා
මලක් සොයා ගිය...
මටම සුවඳ දෙන...

ඉසිඹුලෑවෙමි, වරෙක
මලක් ළඟ නැවතී...
සොයා ගිය මල
හමුවිනැයි සිතා...

මං මුලාවූයෙමි, දිව ගොසින්
මිරිඟුවක් පසුපස...
මලකි, ඒ...
බඹරුනට පෙම් බැඳි...”

පළමු පෙම අහිමි වීම ගැන අබමල් රේණුවක හෝ දුකක් මා සිතේ නොවිණි. ඒ මා එය මරා වළලා දැමු නිසාවෙනි. මට එතරම් සාහසික විය හැකියැයි මමද නොදැන සිටියෙමි. එහෙත් මා රැවටූ කෙනෙකුගෙ මතකය පවා මා වෙත රඳවා ගන්නට අකමැති වුයෙමි. ඒ මතකයන්ගෙ චිතකයට ගිනිදැල් වූයෙමි. අවශේෂ මතකයන් කටු ගා දැමූවෙමි. අනුකම්පා විරහිතව මකා දැමුවෙමි. දැන් මට දුකක් නැත. ඇත්තෙ කලකිරීමක් පමණි. මා රැවටූ ඈ ගැන නොවේ. මා ගැනමය. මට මෙවන් තත්වයක් උරුම කළ මගේ දෛවය ගැනය.

මා සැමදා දුටුවේ එකම සිහිනයකි. මගේම කියා තනා ගත් පුංචි කැදැල්ලක මටම ආදරය කරන පුංචි කිරිල්ලියක සමඟ ආදරය, සමගිය, සතුට, සැනසුම පිරි දැහැමි දිවියක් ගෙවන්නටය. එහෙත් ඒ සිහිනය බොඳවී ගියේ මටද සොරාවටය. මම කෑ ගසා හැඞූයෙමි. ඉකිබින්දෙමි. හිතේ දුක තුනී වන තුරු, කොට්ටය තෙත් වන තුරු කඳුළු වැගිරුවෙමි. මටම සාප කරගතිමි. සියල්ල අවසන හතිවැටී නැවතුනෙමි... තනිකමත් පාළුවත් මගේ සමීපතම මිතුරන් කර ගතිමි... හිතේ නලියන අදහස් කඩදාසි කොළවල කුරුටු ගෑවෙමි.

“අදිසි සිර මැදිරියෙක …
බිත්තිවත් යදම්වත් නොමැති …
නිල නොලත් සිරකරුවෙක්මි …
අසීමිත නිදහසක් ඇති …
කළ වරදකුත් නැති …

පණ ගැහෙන මුව පොව්වෙක්මි …
ප්‍රිය සබඳෙකුත් නැති …
සෙනෙහසට උරුමයක් නොමැති …”

කාලය කාටත් සොරා ආලෝකයේ වේගයෙන් ගලා යන්නට විය. දින සති මාස ගෙවි යනු නොදැනුනි...බිඳුනු සිත කෙමෙන් කෙමෙන් සුවපත් වන්නට විය.. හදවතේ ගැඹුරටම හැරූණු තුවාල වියැළි යන්නට විය.. නැවුම් බලාපොරොත්තු සිත වටා රොද බඳින්නට විය.. “මුහුදෙ ඉන්නේ එක මාළුවද...?” ම සගයෝ මසිත දිරිමත් කරන්නට වූහ. මචං ඒ අතර ඉදිරියෙන්ම සිටියාය.

නැන්දලා පියා සමඟ එක්වී සත්අන්ත පුවත්පත්වල මංගල දැනවීමක් පළ කෙළේද මේ අතරය..

“බොදු ගොවිමිශ්‍ර උස අඩි 5' 6 උගත් බුද්ධිමත් දිවයිනේ පුමුඛපෙළේ පෞද්ගලික බැංකුවක ස්ථිර සේවයේ නියුතු පවුලේ එකම වැඩිමල් පුතුට සුදුසු දියණියක් දෙමව්පියෝ සොයති. ගුරු, බැංකු විශේෂයි. අමතන්න 077 xxxxxxx.”

පියාගෙ ජංගම දුරකතනය නොනවත්වා නද දෙන්නට විය. දිවයිනේ නන් දෙසින් පිළිතුරු ලිපි ගලා එන්නට විය. නැන්දලාගෙත් පියාගේත් එකම කාර්යය වුයේ කේන්දර ගැලපීමත් පිළිතුරු ලිපි ලිවීමත්ය. ඒත් ඒ කිසිවක් ගැන මසිතේ කැමැත්තක් තිබුණේ නැත.. ඉක්මනින් විවාහ විය යුතු යැයි සිතා තිබුණත් කිසිදා දැන නොසිටි අයෙකු හා විවාහ වීමට අකමැති වූයෙමි. ඔවුන් ගෙනා කිසිදු යෝජනාවක් කෙරෙහි ම සිත නම්මවා ගත නොහැකි විය.

සුපුරුදු පරිදි නිවසින් කාර්යාලයටත් - කාර්යාලයෙන් නිවසටත් මගෙ ජිවිතය ගලා ගියේය. එදිනත් සාමාන්‍ය දිනයකි. කිසිදු වෙනසක් නොවිය.. වෙනදා මෙන්ම නැගෙනහිරින් හිරු පායා ආවේය.. සුපුරුදු පරිදි රාජකාරියට වාර්තා කළෙමි. වෙනදා මෙන්ම පැමිණීම සටහන් කරන්නට මඳක් පමා වුයෙමි.. පැමිණීමේ ලේඛනය තබා තිබුණේ කාර්යාලයේ වීදුරු බිත්තියක් අසළය. උදෑසන 7.45 සටහන් කොට ඊට ඉදිරියෙන් මගෙ කෙටිසන ද තබා ආපසු යන්නට හැරුණෙමි.

Portrait of a young woman holding her veil


එහෙත් හදිසියේම මගෙ දෑස වීදුරු බිත්තියෙන් එපිටට විහිද ගියේ මටද නොදැනීමය.. වෙනදා දැක නැති නුපුරුදු දසුනකින් සිත හිරි වැටී යනු දැනේ.. කහ පාට සාරියකින් සැරසුණු ඒ සුන්දර රුව මසිත පුරා ඇඳෙනු මට දැනෙන්නට විය.. ඉක්මන් ගමනින් අප කාර්යාලය පසු කර ගිය ඈ මසි‍ත තුළ ඇති කළේ අපූරු හැඟීමකි.. වසරකටත් වැඩි කාලයක් තිස්සෙ කිසිදු කෙල්ලකට ඇති කළ නොහැකි වූ හැඟීම් සමුදායක් ඈ මසිතේ ජනිත කළාය.. මම වහා බැහැරට දිව ගියෙමි.. එහෙත් ඒ වන විටත් ඇගෙ රුව අතුරුදන් වී තිබුණි.. පාරේ ඒ පැත්තටත් මේ පැත්තටත් වරින් වර දෙනෙත් මෙහෙය වූ මට ඉන් එහා දෙයක් දැක ගත නොහැකිවිය. තත්පර ගණනක් ඇතුළත ඈ අතුරුදන් වූයේ කෙසේද ? මා මගෙන්ම විමසා සිටියෙමි. මට පියවි සිහිය ලැබුණේ පාරේ යන එන්නන් වුවමනාවෙන් මදෙස නෙතු හෙලනු දුටු විටය. කටුව තුළට වැදෙන ඉඳිබුවෙකු මෙන් වහා කාර්යාලය තුළට වැදුනෙමි. එහෙත් ඇගෙ රුව මසිත හැරයන බවක් නොදැනේ.. ඈ කවුද ? කොහෙ ද ඉන්නේ..? මොනවද කරන්නේ..? මගෙ පුංචි මොළයට මේ ප්‍රශ්න බර වැඩිය. එහෙත්...එහෙත්

පුංචි කහ කිරිල්ලිය නැවත ඉගිළි නොයන්නට මසිතේ ලැගුම් ගත්තීය..

(රැඳී සිටින්න... තවත් දිනෙක, කහ කිරිල්ලිය පියාසලනු ඇත..)


| සේයාරූ PicApp අඩවියෙනි |

22 දෙනෙකුගේ අදහස්....:

චේජනා said...

මල්ලි,
ලස්සන කතාව.. banking කරන අය ළඟ මනුස්සකම ඒ හැටිම නැති බව දැන දැනත් ඔයා දැකපු මුල් දවසෙම ඔයා ගොඩක් අහිංසක සංවේදි ළමයෙක් කියල මට හිතුන..(එහෙම නැත්නම් ජීවිතේටම දවස් දෙකක් දකපු ඔයා මට මතක හිටියෙ ඇයි කියල මට හිතාගන්න බෑ...) ලියන්නකො කතාව.. මම නාඳුනන ඔයා ළඟ ඇතියි කියල අනුමාන කළ සංවේදි බව තියෙනව කියල මට ඒත්තු යාවි.. මට සතු‍ටුයි.. මම මිනිස්සු දිහා බලල ඒ අය මොන වගේද කියල කරන අනුමාන නිවැරදි නිසා..

ආගන්තුකයා said...

කතාව සාමාන්‍යකරණය වේගෙන එන්නයි යන්නේ පරිස්සමෙන්.. ආදරය කියන්නෙ අපි තියෙනකොට ගණන් නොගන්නා නැතිවූ කල දැනෙනවා වැඩි හැඟීමක්නෙ.. සිරා...

Raven said...

ආ..ඔය දිග ඇරෙන්නේ කතාව...
ඉදිරියත් කියවන්න බලන් ඉන්නවා.

විශ්මි said...

ලියමු ලියමු නිතරම මතක් කරන කහ කිරිල්ලි ගැන...... :) රසවත් කතාවක් වගේ අයියෙ.....

මිස්සක said...

ලියමු කහ කිරිල්ලී ගැන...

දිල් said...

wow....මෙන්න මෙයා කහ කිරිල්ලි ගැන ලියන්න පටන් අරන්....හැබැයි මට එකක් කියන්න පුළුවන්...මේ කහ කිරිල්ලිගෙ නම " දිලිනි " නොහොත් දිල් ;) මම හරි නේද ? දැක්කද මට Telipathi තියෙනවා ;)

ගල්මල්-Coral said...

කාලෙකට පස්සේ නවකතා පොතක් කියවන්න ලැබුනා වගේ දැනුනා...
එතරම්ම ලස්සනයි ලියන ආර...
සුබපැතුම් සොයුරේ

nimanthi said...

ඔන්න අදත් ඉතින් ආව මම ..
රණ්ඩුවට නෙවේ හලෝ :-)
හා කියන්නකෝ ඒ කථාවත්
ඉතින් ඉතින් කහ කිරිල්ලිට දැන් මොකද්ද වෙලා තියන්නෙ.
ඔන්න දිගටම ලියන්න හරිද?? මාත් එනවා කියවන්න.
(රහසින්)-මේ හලෝ මේකත් අර 50% බොරුවක් නෙවේ නේද?? මල්ලී..:-)

sansarasidu said...

@ චේජනා අක්කි,
ස්තූතියි අක්කේ !
අපි මොන රැකියාව කළත් අපේ හිත්වල තෙතමනයක් නැත්නම් ඒ රැකියාවෙන් යා දෙන්නෙ නෑ කියලයි මං නම් හිතන්නෙ..
අපේම අය ගැන උනත් මගේ හිතෙත් එච්චර කැමැත්තක් නෑ..
අක්ක කියන කතාවට දහස් ගණන් උදාහරණ මං ගාවත් තියෙනවා..
ඒත් මං ආසයි උඩු ගං බලා පීනන්න..

sansarasidu said...

@ ආගන්තුකයා,
මචං උඹ සාමාන්‍යකරණය වේගෙනයි එන්නෙ කියන එකෙන් අදහස් කළේ මොකක්ද කියල මට එච්චර තේරුණේ නෑ..
සමහර විටෙක මේක තවත් එක ආදර කතාවක් විතරයි කියල උඹට හිතුනද දන්නෙත් නෑ... අර එකම අච්චුවේ දාලා හදපු හින්දි චිත්‍රපටි වගේ..
හැන්ඩ්සම් කොල්ලයි.. ඉටි රූපයක් වගේ ඉන්න කෙල්ලයි.. ඒ මැද්දට පනින දුෂ්ඨයයි...ෆයිට් ටිකයි.. සින්දු ගොඩයි තියෙන හින්දි චිත්‍රපටයක් වගේ...

මේ මගේ කතාව මචං...
මේ ආදරයේ අවසානය ගැන තාම මන්වත් දන්නේ නෑ..

sansarasidu said...

@ Raven,
ස්තූතියි Bro..
මේකත් හරියට අර මෙගා ටෙලි නාට්‍යයක් වගේ මචං..
අවසානය මොකක්ද කියල තිර රචකයවත් දන්නෙ නැති...

sansarasidu said...

@ විශ්මි,
දිගටම ලියන්නං නංගි...
ගොඩවැදිල ගිය ලෙංගතු කමට ස්තූතියි ඔයාටත්..
මේක කෙනෙකුට තවත් එක් ආදර කතාවක් විතරක් වෙන්නත් පුළුවන්..
මේ මගේ කතාවයි.. ඒත් මේ කතාවේ අවසානය ගැන තාම මන්වත් දන්නේ නෑ.. නංගෝ
හ්ම්ම්ම්..

sansarasidu said...

@ මිස්සක,
උඹත් එනවනම් අහන් ඉන්න..
දිගටම කියන්නං මේ කතාව...
සිනහවත් කඳුලත් අතර දෝලනය වෙන..

sansarasidu said...

@ දිල්,
ඒක තමයි.. මගේ දිල් ගැන එහෙනම් ඔයා දන්නවත් ඇතිනේ..
හිහ් හිහ්..
මේ කතාව ලියනවද නැද්ද කියල ගොඩාක් සැරයක් හිතුවා..අක්කේ,
නොලියා ඉන්නයි හිතාන හිටියේ..
ඒත් නිල් අහස ඒ ගැන අහද්දි ලියන්න හිතුණා..
මේක නවකතාවක්වත් කෙටිකතාවක්වත් නෙමෙයි..
මගේම ආදර කතාව..
හැම ආදර කතාවක්ම එක වගේ නේද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්..
එහෙම හිතෙන එකෙත් වරදක් නෑ.. මොකද හැම ආදරයකටම යම් යම් සමාන කම් තියෙන නිසා.. මං නම් හැම ආදර කතාවක්ම ආසාවෙන් කියවනවා.. ඊළඟට මොකක්ද වෙන්නෙ කියල දැනගන්න කල් ඉවසිල්ලක් නෑ..
ඔයාගේ කතාව වගේම, නිල් අහස චංචලා ගැන ලියන කතාවත්, නීනු නංගිගේ පිනි මල් කඳුළක් වගේම, දේදුනු පාලමේ නදිශා ගැනත් මං හොයනවා.. ඒ හැම කතාවක්ම මට දැනෙන හන්දා...
ඉතින් මේ කතාවත් ඒ කතා ගොන්නට එකතු වේවි..
ඒත් මේ කතාවේ අවසානය මොනවගේ වෙයිද කියල මං වත් තාම දන්නේ නෑ..

sansarasidu said...

@ ගල්මල්-Coral,
ලොකු සහෝදරයටත් ගොඩක් ස්තූතියි...
තියෙන වැඩ රාජකාරි මැද්දෙ සියපතට ගොඩවැදිල නිර්මාණය අගය කළාට..
ඉඩ හසරක් ලැබුණොත් ආයෙම ඇවිත් යන්ට එන්ට...

sansarasidu said...

@ nimanthi,
මං අරියාදු කරනවා කිව් එකට තරහ ගියාද අපේ අක්කට..?
අයියෝ සිස් විහිළුවක්නේ..
අවසානයක් නොදුටු මේ කතාව මං අවසානය දක්වාම ලියනවා..
අවසානය දක්වාම කියවල යන්න අනිවාර්යයෙන් අක්කත් එන්න...

තිස්ස දොඩන්ගොඩ said...

"මේ මගේ කතාව මචං...
මේ ආදරයේ අවසානය ගැන තාම මන්වත් දන්නේ නෑ..."

ආදර සීනුව දෙව්ලොව දොරකඩ ‍රැව් දෙන්නේ...
ජීවන විජිතයේ ආදර දෙවඟන හිනැහෙන්නේ...
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ...
ඒ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ...

sansarasidu said...

@ තිස්ස අයියා,
අයියා ඔහොම කියනකොට මට “බෙල්“ සද්දෙත් නිකන් ඇහෙනවා ඇහෙනවා වගේ..
“මේ ආදරයට යා හැකි දුර මා නැත දන්නේ...“
ඒක ඇත්ත අයියා...

මධු වීරකෝන් said...

ඉතිං ඊට පස්සෙ....

sansarasidu said...

පොඩිත්තක් ඉවසන්න නංගි..
කහ කිරිල්ලී ඉක්මනින්ම ආයෙත් පියාසලාවී...

ස්තූතියි ගොඩවැදුනට..
සියපතට...

෴ හසියා ෴ said...

අනේ මන්ද.....අයියේ අපි ඔක්කෝම එකම බෝට්ටුවෙද මන්ද.....

sansarasidu said...

මලේ මට හිතෙන්නෙ උඹ කියවල තියෙන්නෙ පටන්ගැන්ම විතරයි...

ඒත් අවසානය...?

ඇරඹුමම කඳුලක් වෙලා....

Post a Comment