සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

11 April 2010

සනා කොලුවගේ අසා ලිවීම

ඔන්න අද නම් කියන්න යන්නෙ සනා පුංචි සන්දියේ සිද්ධ වෙච්චි අලි අකරතැබ්බයක් ගැන... සනා කිව්වේ මේ අපේ ක්‍රිකට් ගහන සනා හෙම නෙවී.. සයිබර් අවකාශයට ගොඩවෙද්දි නම දිග වැඩියි කියල හිතුණ හින්දා, ඒක කොට කර ගත්තනෙ... සන්සරසිදු කියල.. අපේ රවා කොලුවට පින් සිද්ධ වෙන්න ඒ නම තවත් කොට වුණා... සනා කියල... ඔව් ඔව් මේ කියන්න යන්නේ මේ සනා මෙතුවක් කාලෙකට කාපු ලොකුම චාටරේ ගැන තමා ඕං...

ඔන්න මේක සිද්ධ වුණේ එකදාස් නවසිය බර ගණන්වල...ඒ කියන්නේ සනා ඉස්කෝලේ යන කාලේ... ඒ කාලේ සනා ඉස්කෝලේ දෙවැනි කැලෑසියේ තමා හිටියේ... කොළඹ ඉස්කෝලෙට එන්න කලින් සනා ගියේ ගමේ ඉස්කෝලෙට නෙව.. ඒක ඉතින් මිශ්‍ර පාසලක්.. ඒ කිව්වෙ ඒ ඉස්කෝලේ දැරිවියොත් හිටියා කියන එකනෙ.. අප්පේ... චාටරේ දෙගොඩ තලා යන්නෙත් ඒ හින්දමයි... දැන් මෙහෙම හිටියට.. බලන්න එපෑයැ ඒ කාලේ... සනා තරම් දඟයෙක් ඒ ඉස්කෝලේ හිටියේ නැති තරමි.. දඟ වැඩ කිව්වට එව්ව මේ කාටවත් කරදරයක් වෙන වැඩ එහෙම නෙවී.. කොච්චර දඟ වැඩ කළත් සර්ල මිස්ල සනාට හරි ආදරෙයි... හැමදාම පන්ති නායකයා වෙන්නෙත් සනාම තමා.. අනික පන්තියෙ පළවෙනිය වෙන්නෙත් සනානෙ...

මේ.. මේ.. අනෙක් පැත්තෙන් නෙමෙයි හරි ද ?

ඒ කාලේ සනාලගේ දෙවැනි කැලෑසිය බාරව හිටියේ ඊවා ටීචර්.. අප්පේ බලන්න එපායෑ.. සිරියාව.. කොටින්ම ළමයි ටික ටීචර්ගෙ මූණ බලන්න බයයි.. සිරියාවන්තකම වැඩි හන්දද කොහෙද.. හැබැයි ඉතින් ඔය ඕන ටීචර් කෙනෙක්ගේ හිත දිනා ගන්න සනා තරම් දස්සයෙක් මුළු කැලෑසියෙම හිටියෙ නැති තරම්.. ටීචර්ල කාට බැන්නත්.. කාට ගැහුවත් සනාට නෙමෙයි වචනයක් කියන්නෙ.. ඕං බලමුකො ඒකෙත් හැටි.. එව්ව ඉතින් කොම්පියුටර් ජිල්මාට්.. නෑ.. නෑ.. වැරදුණා.. සනාගේ ජිල්මාට්...

ඔන්න ඉතින් දෙවැනි කැලෑසියේ අවසාන වාර විභාගයත් කිට්ටු වුණා කියමුකො.. මතකනේ ඒ කාලේ... වාර විභාගයක් කිව්වහම.. තියෙන ජාති.. බලා ලිවීම...(කොපි කැට් කිරිල්ල නෙමෙයි ඕං)අසා ලිවීම... චිත්‍ර ඇඳිල්ල... ගණන් හැදිල්ල.. හප්පොච්චියේ තව එකී මෙකී නොකී ජාති නම් කොච්චරක් ද... ඕං ඔය අසා ලිවිල්ල තිබ්බ දවසේ තමා සනා තමන්ගෙ ජීවිතේ මුහුණදෙන අලිම අලි අකරතැබ්බයට මුහුණ දෙන්නෙ...

මාස දෙකයි.. දින දහයයි.. එදා වැහි දවසක්.. (කතාවක් කියන්න ඇවිල්ල සිංදු කියන්න හදනව කියල හිතුවද..)
මං මේ කිව්වේ එදා නම් මාර දවසක්.. වහිනව කියන්නේ.. හිටු කියල..

ඔන්න ඉතින් හැමෝටම පාට පාට කඩදාසි දීලා තිබ්බේ උත්තර ලියන්න.. මතකනේ ඒ කාලේ.. ඔන්න දැන් ඊවා ටීචර් අසා ලිවීමේ විභාගය පටන් ගත්තා... සාමානයයෙන් අසා ලිවීමට වචන දහයක් පහළොවක් දෙනව... එකකට එක ලකුණ ගානෙ.. ඔන්න ඕකනෙ කරන්න බැරි.. එක අකුරක් වැරදුණොත් ඔක්කොම හබක්.. ඉතින් ටීචර් පන්තිය වටේ භ්‍රමණය වෙද්දි.. අපි ටීචර්ගේ වටේ පරිභ්‍රමණය වෙල හරි.. වචනේ හරියට අහගන්න ඕනෑ... ඉතින් දැන් ටීචර් එකින් එක වචන කියාගෙන යනව.. එළියෙ කොච්චර තදින් වහිනවද කිව්වොත් ටීචර් කියන සමහර එව්වා ඇහෙන්නෙම නැති තරම්.. සාමානයයෙන් ඔය එක වචනයක් දෙපාරක් විතර කියවනවනෙ.. අපිත් ඉතින් හරි හරියට ලියනව.. ඔන්න එකපාරටම ටීචර් තව වචනයක් කියනව... “__ඩය"... සනා ඉතින් කන් දෙක ටීචර්ගෙ කට ළඟටම ගෙනිහින් අහන් ඉන්නව.. “__ඩය" ෂිහ්.. සනාට අර පළවෙනි අකුර ඇහෙන්නෙම නෑ... බැරිම තැන මෑන් කනට අතත් තියාගෙන කන් දෙක අලි කන් දෙකක් කරගෙන අහන් හිටියා, ටීචර් තුන්වෙනි පාරටත් කියවද්දි... ම්ම්හු... මේකගේ කන් වල ඉටි පිරිලද මන්ද.. අර පළවෙනි අකුර මූට ඇහෙන්නෙම නෑ.. දැන් මොනව කරන්න ද ? ආයේ ගිහින් අහන්න යැ.. සනා බැලුව පොඩ්ඩක් වට පිට.. සහෝදර සහෝදරියෝ ටික ගජරාමෙට වැඩ.. හීන් සීරුවේ ළගම හිටි එකාට කිට්ටු කොලා, ඇස් දෙකෙන්.. ම්හු.. මෙන්න මූ අතිනුත් වහගෙන.. සනා බලයි කියල වෙන්ඩැ.. අපි අහුවෙයි ඕවට.. දැන් ඉතින් කරන්ඩ දෙයක් නෑ.. හොඳට හිතල බලල ගැලපෙන අකුරක් දානවා.. සනා එහෙම හිතුවා..

ඔය ඉන්නෙ සනා ඒ කාලේ...

Image: photostock / FreeDigitalPhotos.net


ටීචර් අනිත් වචන ටිකත් කියවගෙන කියවගෙන යනව.. පෙර ආත්මෙ කෝච්චියක් ද මන්දා... සනා ඒවට ඇහුම්කන්දීගෙන හිටියට මිනිහගේ හිත දුවන්නෙම අර බැරිවෙච්චි වචනෙ පස්සෙන්.. සනා ඉතින් දැන් අකුරු ගලපනව... ටීචර් කිව්වේ ලයන්න කියලද... “ලඩය“ ම්හු.. නෑ.. නෑ.. ඒක නෙමෙයි.. ම්ම්... සනාගේ මොළේ දැන් එකසිය ගානට වැඩ... මොකක්ද මෙතන්ට දාන්ඩ පුළුවන් අකුර... ම්ම්ම්... ආහ් හරි... සනාට හීන් හිනාවක් ගියා.. ඒ කාලේ ආකිමිඩිස් ඉපදිලාවත් තිබ්බේ නැති හන්දා හොඳයි.. නැත්තං තන්තොසේ වැඩිකමට සනා ඇඟේ නූල්පොටක්වත් නැතුව ඉස්කොලේ වටේ දුවනව “යුරේකා.. යුරේකා..“ කිය කිය.. ඇයි ඉතින් සුළුපටු සොයාගැනිල්ලක්යැ.. ඕං ඉතින් සනාබෝයි උජාරුවට අර වචනෙ සම්පුර්ණ කොරනවත් එක්කම ඊවා ටීචර්, සනාගේ උත්තර පත්තරේ ඩැහැගෙන ගියැයි කියමුකො..

කොහොමින් කොහොම හරි වාර විභාගෙ ඉවර වුණා.. දැන් ඉතින් වාර අවසානෙ ගුරුදෙගුරු හමුව.. හප්පේ එදාට තමා එපා වෙන්නෙ.. ඇයි ඉතින් අම්මල තාත්තලව එක්කගෙන එන්න එපැයි ටීචර් හම්බවෙන්න..

සනාත් ඉතින් කිසි ගින්දරක් නැතුව අම්මිල ඇත්තොත් එක්ක ගියා කියමුකො ඊවා ටීචර්ව හම්බවෙන්න.. අර කොතනත් වගේ.. මෙතැනත් මාර පෝළිම.. නයා ගියා වගේ තමයි.. ඔහොම පෝළිමේ ඉඳල ඉඳල තමන්ගෙ වාරේ ආවහම සනා ගියා ඊවා ටීචර් ගාවට.. අම්මිල ඇත්තොත් එක්කම..

සනා දැක්ක විතරයි... ඊවා ටීචර්ට තන්තොසේ වැඩිකමටද කොහෙද බකස් ගාලා හිනා ගියා.. හිනා ගිහින් නැවතුනා නම් මදැයි.. මේං ඊවා ටීචර් පැල් බැඳගෙන හිකි හිකි ගානවා.. සනා ෆුල් අන්දුන් කුන්දුන්... මේ මොකදෑ මේ.. ඊවා ටීචර්ට වෙල තියෙන්නෙ... සනා ඇස්දෙක කරකවල තමන් දිහාම බැලුවා.. සනාගෙ කමිසෙ..? මැදපු විදිහටම තියෙනව.. පොඩිවෙන්ඩ තියා හිතලවත් නෑ.. කලිසම..? ඔව් ඒකත් තියෙන්ඩ ඕන තැන තියෙනව.. ලේන්සුව..? ඔය තියෙන්නෙ ලස්සනට.. කමිස පොඩ්ඩට කටු ගහල... මේස්.. සපත්තු.. එහෙමත් හරියටම තියෙනව.. ෂාහ්.. සපත්තු දෙකෙන් මූණ බැලුවහැකි.. ඉතින් තව මොනාද.. ඇයි කොණ්ඩෙ..? ආහ් කොණ්ඩෙ නම් පොඩ්ඩක් වැඩියි තමා.. ඒත් ඉතින් මෙච්චර හිනාවෙන්න මොකක්ද ඕකේ තියෙන්නෙ.. බොලේ හැබෑට කපුටෝ කුඩුවක්වත් හදාගෙනද ? සනා ඔලුව අතගාලා බැලුව.. ම්හු.. එහෙම එකකුත් නෑ.. සනා බෝයි දැන් හිටු කියල කල්පනා කරනවා.. ඊවා ටීචර්ගෙ හිනාව නම් නවතින්නෙම නෑ වගේ.. බොලේ අද හඳ මෝරන දවසක්ද.. සනාට එක එක විකාරත් හිතෙනව.. ඊවා ටීචර් හිනාව නවත්ත ගන්නම බැරි තැන මොකක්දෝ ෆයිල් කවරයක් අස්සෙන් ගත්තු කොළයක් අපේ අම්මිල ඇත්තන්ට පෙන්නනව.. කිරි අප්පට බල්ලො පැනපි.. මේ මගේ උත්තර පත්තරේ නොවැ.. සනාබෝයි දැන් අම්මිල ඇත්තො දිහා බලං ඉන්නව.. මේං බොලේ අර හිනාව බෝවෙන රෝගයක් වෙල අම්මිල ඇත්තන්ටත් වැළඳිල... අම්මිල ඇත්තොත්.. ඊවා ටීචර් එක්ක හරි හරියට කැකිරි පළනවා... මෙයාලට මෙච්චර හිනායන්න මොනාද මූ ඕකේ ලිව්වේ... මුකුත් හිනායන දෙයක් නම් ලිව්වේ නැති බව සනාට විශ්වාසයි.. ඒ ගැන නම් සැකයක් නෑ.. බැරිම තැන සනා අම්මිල ඇත්තන්ගෙ අතින් උත්තර පත්තරේ උදුර ගත්තා.. මුල ඉඳල අගට කියෙව්වා.. අග ඉඳල මුලට කියෙව්වා.. ම්හු.. මේ බෝවෙන රෝගෙට හේතුකාරණා සනාට නම් තේරුම් ගන්නම බෑ.. සනා තව ටිකක් හොඳින් බැලුවා.. හැමදේම හරියට ලියල තියෙනව.. කිසි අවුලක් නෑ.. හෝව් හෝව් පොඩ්ඩක් හෝව්.. මේං බොලේ සනා එදා අච්චර අමාරුවෙන් ගලපගත්තු වචනෙට ටීචර් ලොකු කතිරයක් ගහල.. හත්වලාමේ එහෙම වෙන්නෙ කොහොමෙයි... සනා ඉර හඳ ගැටලන්න කල්පනා කොළා.. ම්හු.. කොච්චර කල්පනා කොළත් අදටත් සනාට නම් "ප"යන්න ඇරෙන්න එතැනට ගැලපෙන වෙන අකුරක් හිතා ගන්නම බැහැ නෙව..

බලන්න ඔයාලට එහෙම වෙන අකුරක් මතක් වෙනවද කියල...

59 දෙනෙකුගේ අදහස්....:

Raven said...

උඹට නිකමටවත් කුඩය මතක් උනේ නැද්ද..හෙහෙ..සිරා සීන් එක මචන්.

Jay said...

මගේ බ්ලොගේ හැක් කරලා කවුරු හරි, නරක වචනෙන් comment කරලා මගේ යාලුවන්ට. සමා වෙන්න ඔයත් එයින් කෙනෙක් නම්.
හක් හක් හා..
:D
මරු කතාව

ගල්මල්-Coral said...

අයියෝ... ක යන්න අරගෙන කඩේ වත් යන්න තිබුනා නේද?

Buddhi said...

මදැ කොලා. ඈයි ඔයාට ක/අ/ව ව​ගේ අකුරක් දාන්න තිබුනනෙ. හැබැයි ඒ අකුරු දැම්මනං අද කියන්න කතාවක් ඉතුරු වෙන්නෑ නේද?

sansarasidu said...

@ Raven,
ෂිහ්.. බලපන් මචං.. කරුමෙට කකුල් තියෙනව කියන්නෙ ඕකනෙ... ඒ වෙලාවේ මට "ප" යන්න ඇරෙන්න වෙන එක අකුරක්වත් මතකෙට ආවේ නැති හැටි...

sansarasidu said...

@ Ansh Lucky Sri Jay ,
ස්තූතියි සිස්...
අනේ කාලේ වනේ වාසේ කිව්වලු නෙ...
මටමමයි වෙන්නෙ :D :D
හික් හික් හි...

(මාත් හිතුවක්කාරිගෙ සිත් යාය පැත්තෙ ආපු වෙලේ ඕක දැක්කා... ඕව ගණන් ගන්න එපා අක්කෙ.. යකාට බය නම් සොහොනෙ ගෙවල් හදනවද ඇහැව්වලු.. අක්කට විතරක් නෙවි පහුගිය ටිකේ ගොඩක් දෙනෙක්ට ඕක වුණා.. කවුරුහරි කොන්ද පණ නැති කැණහිලෙක් තමා ඔය වැඩේ කරන්නෙ... හොඳම දේ කතන්දරකාරය කරල තියෙනව වගේ comments, approval එකෙන් පස්සෙ publish වෙන විදිහට සකස් කරන එක...)

sansarasidu said...

@ ගල්මල්-Coral,
මොනා කරන්නද සහෝ අබුද්ධස්ස කාලේ ලබුත් තිත්තයි කිව්වලු...
සිංහල හෝඩියේ මෙච්චර අකුරු තියෙද්දිත් මට ඒ වෙලාවේ වෙන එක අකුරක් මතක් වෙච්චි නැති හැටි...

sansarasidu said...

@ බුද්ධි,
හික් හික් හි...
ඒකනම් ඇත්ත අයියෙ...
ඒත් ඉතින්... හප්පොචිචියෝ එදා අර දැරිවියෝ ඉස්සරහ මං පල් වෙච්චි තරමක්...
හපෝ.. වනේ වන හතුරෙකුටවත් මෙවන් විපතක් නම් නොවේවා …

(මේ කතාව මට නැවත සිහිපත් කොරගන්න හේතූභූත වෙච්චි අයියට බොහොමත්ම ස්තූතියි !)

දුකා said...

හඃ හඃ හාඅ . . .එල කතාව . . ..

ඔව් සනා කොල්ලෝ සමහර වෙලාවට එක වචනයක් හිතට ආපුවාම අනික් ඔක්කෝම අමතක වෙනවා ඒක හැටියක් . . . හික් හික් . . නියමයි . ..

හා පැටික්කි (MS) said...

අයියෝ අයියටත් වෙන වැඩ.....

ඒත් යාළුවොන්ට ඇහෙන්න කිව්වේ නෑනේ ටීචර්.....අම්මට කොලේ පෙන්නුව ඔයත් කොලේ බැලුව.... ඉතින් ඒ ගොල්ලෝ දැනගත්තේ කොහොමද????

හා පැටික්කි (MS) said...

අයියෝ අයියටත් වෙන වැඩ.....

ඒත් යාළුවොන්ට ඇහෙන්න කිව්වේ නෑනේ ටීචර්.....අම්මට කොලේ පෙන්නුව ඔයත් කොලේ බැලුව.... ඉතින් ඒ ගොල්ලෝ දැනගත්තේ කොහොමද????

sansarasidu said...

@ දුකා,
ඒක සැබැයි සැබැයි සැබැයි...
ස්තුතියි දුකා අයියේ...

sansarasidu said...

@ හා පැටික්කි (MS),
මං නම් හිතුවෙම හා නගෝ,අක්කල නඟාල කවුරුවත්ම comment කොරන එකක් නෑ කියල...
මුලින්ම නගාට ස්තූතිවන්ත වෙනව මෙහෙම යමක් සටහන් කොරල ගිය එක ගැන...

ඇයි නගේ... අපේ අම්මල ඉතින් තමන්ගෙ දරුවගේ උත්තර පත්තරේ බලන්න කලින් බලන්නේ දරුවගේ හොඳම යාලුවගේ උත්තර පත්තරේ නෙව... ඔහොම අතින් අත.. කටින් කට ගෙහුන් අන්තිමේ... දෙකේ කැලෑසිය විතරක් නෙවී මුළු ප්‍රාථමික අංශයම දැනගත්ත නෙව සනා කොලුවගෙ කෙරුවාව...ලැජ්ජාවේ බෑ.. අක්කල නගාල මුහුණ බලපු හැටි මට නිකන් තාමත් මැවිල පේනව වගේ...

Prabhath said...

සනා තමයි සනා නේද අයියේත.....
මටත් හිනාව බෝ උනාය කියමුකෝ....

චේජනා said...

අය්යෝ මල්ලි, ඉඳල වැඩක් නෑ.. මුළු ප්‍රාථමික අංශයම දැනගත්ත නම්..

sansarasidu said...

@ Prabath Darshana,
හිහ් හිහ් හී...
මොනා කරන්නද මලයෝ...
නපුරු කලට
සත හට පැමිනෙණ විපත...

sansarasidu said...

@ චේජනා,

කියල වැඩක් නෑ අක්කේ...
වැඩක් නෑ කියන්නේ වැඩක්ම නෑ..
මගෙ ජීවිතේට කෑවේ නෑ ඒ වගේ චාටරයක්...
කොටින්ම සතියක් විතර යනකල් මං වැඩිය එළියට පහළියට ගියෙත් නෑ..
අඩුගානේ Interval එක වෙලාවෙදිවත්...
හිහ් හිහ් හී...
:D :D

budhajeewa said...

සිනා බෝවේවා! :P

Gayan Tharaka said...

සනා බෝයි මාර වැඩ නේ කරගන්නේ.

Bunny said...

හිකිස්z මරු කතාව..!

Anonymous said...

මේ කතාව කියෙව්වම මටත් මතක් වුනා රස කතාවක් මේක වුනේ අපේ අක්ක කෙනෙකුගෙ පුතෙකුට. 'ප ' යන්නෙන් පටන් ගන්න වචන ලියන්න කිව්වම පුතා සනා වගේම ඔය වචනෙ ලියාගන ගියාම ටීචර් වැරදි ලකුන දැම්මලු වචනෙ වැරදි වෙන්නෙ කොහොමද කියල පුතා ඇහුවම ටීචර් කිව්වලු යන්න යන්න ගිහින් වාඩි වෙන්න කියල.

Missaka said...

හිනාව නවත්තගන්න බැරිවුනා. සනා ත් නියම වැඩනේ කරලා තියෙන්නේ.

Anonymous said...

සනාට වැරදි දැම්මට කමක් නෑ කියමුකො. (ඕකට දඩය කියල ලියන්න එහෙම හිතුනෙ නැද්ද?)
ඒත් isimbuwa කියපු කථාවෙනම් ටීචර් වැරදි දාපු එක සම්පූර්ණයෙන්ම වැරදියි.

Anonymous said...

හපොයි හොඳටම හිනා ගියා මේකට නම්. අයියා හරිම වැඩක්නෙ කරල තියෙන්නෙ. අනේ ඇත්තට වෙන අකුරක් මතක් උනේම නැද්ද?

Anonymous said...

අපොයි හොඳටම හිනා මේකට නම්. හරිම වැඩක් තමයි ඔයා කරල තියෙන්නෙ. අනේ ඇත්තට වෙන අකුරක් මතක් උනේම නැද්ද? හී හී...

dakshika said...

පට්ට කතාව... ටීචට හිතෙන්නෙ ඇත්තෙ මූ මාර කොල්ලෙක්නෙ කියල.. හික් හික්

sansarasidu said...

@ budhajeewa,
ස්තූති වේවා ! සහෝ..

sansarasidu said...

@ ගයාන් තාරක,
මොනා කරන්නද සහෝ... හෙනහුරා ඔලුව වටේ කැරකෙන කොට ඔහොම තමා ඉතින්...
හිහ් හිහ් හි

sansarasidu said...

@ Bunny !,
ආහ්ඃ මේ අපේ හා පැටික්කිගේ මලයා නෙව... ඉස්තූති වේවා !

sansarasidu said...

@ isimbuwa,
ස්තූතියි සිස්... සියපතට ගොඩවුණාට...
හිහ් හී මට හිතා ගත්තැහැකි කොලු පැංචට හිතිච්ච දේවල්...
මේකනේ සිස්.. එදා අර මහ වැස්ස හන්දා මට මෙලෝ දෙයක් ඇහුනෙ නැහැ.. පස්සේ හිතල හතල.. ටීචර් කියාපු වචනෙට ළඟින් යන අකුර තමයි දැම්මෙ...
මාත් එදා ගුරු දෙගුරු හමුවෙදී ටීචර් එක්ක තර්ක කළා නෙව ඒක වැරදි වෙන්නෙ කොහොමෙයි කියල...
ඒකෙන් තමා මං තවත් චාටර් වුණේ...
:D :D

sansarasidu said...

@ මිස්සක,
අපිත් ඉතින් මතක හිටින යමක් කරගන්න එපායැ.. නැද්ද මචෝ..
:D :D

sansarasidu said...

@ nadeesthoughts,
ඒක නම් ඇත්ත සහෝ... පුංචි හිත් වලට තේරෙන එකක්යැ.. අනික ඕක ඔය හැටි වසංගන්න තරම් කුණුහරුපයක්යැ...
(අනේ මන්ද මචං ප යන්න ඇරෙන්න එදා මගෙ හිතට වෙන එකම එක අකුරක්වත් ආපු නැති හැටි... කරුමෙ තමා..)

විශ්මි said...

හි හි හි අයියණ්ඩිත් මරු වැඩනෙ කරල තියෙන්නෙ ඒකාලෙ..... අනේ ඇත්තටම අ/ක/කු/ව වගේ අකුරක් මතක් නොවිච්චි හැටි..... හි හි හි.. නියම කතාව....

sansarasidu said...

@ විහඟිගෙ සිතුවිලි,
මොනා කරන්නද නගෙ..
මෙච්චර අකුරු තියෙන සිංහල හෝඩියෙන් එකම එක අකුරක් බදාගෙන මං කොරගත්තු හරියක්..
ඔහොම තමා ඉතින්.. කරුමයක් පළ දෙන්න තියේ නම් ...
ඔක්කොමත් හරි.. අර දැරිවියොන්ගෙ මූණූ ටික මතක් වෙනකොට තමා ඉවසන්නම බැරි …
හප්පොච්චියේ... ඒ වගේ නවනිංගිරාවක්...

sansarasidu said...

@ කරුමක්කාරයා,
ප්‍රින්සිපල් ගාවට නොගිහින් බේරුණා මදෑ... කොහොමද එයාගෙ කනටත් ඔය ආරංචිය ගියා නම් හෙම..
හිහ් හී...
(සමහර විට යන්නත් ඇති.. ඒත් මං ගැන අනුකම්පා කළා වෙන්ඩත් ඇති..)

sansarasidu said...

@ විශ්මි,
හිහ් හිහ් හී..
ඉස්තුතියි ඉස්තූතියි..
අයියො නගේ.. උදේ ඉඳන් ඔය පුරස්නෙට උත්තර දීලම මේ සනා කොලුවගෙ දිව ගිලෙන්න වගෙ...
අනේ අපුච්චේ... යසට හිටි කොලුවට ගිය කලක්...
එදා මට හිතුණෙ මෙසේය...
සිංහල හෝඩියෙ අකුරු ඇත්තෙ එකකි..
ඒ ප යන්න පමණි...

Missaka said...

@සනා - :D ඔව් ඔව්. ඒක හරි

Unknown said...

හැබෑට උබට වෙන අකුරක් හිතාගන්නම බැරි‌උනානෙ :P

Anonymous said...

අනික් අය කිව්වට 'ප' යන්න ඇරෙන්න වෙන අකුරක් මතක් උනානම් අද මෙහෙම හිනාවෙන්න ලැබෙන්නේ නෑනේ සහෝ. ඒක නිසා එහෙම වෙච්ච එකමයි කාරිය :)

හා පැටික්කි (MS) said...

මට අපි 8 වසරෙදි පන්තියේ ළමයෙක්ට උන දෙයක් මතක් උනා. ලියන්න බැරි හන්ද ලිව්වේ නෑ.....

කොතැනත් මුලින් අනුන්ගෙ ළමය ගැන හොයන බව මට අමතකම උනා නේ....

ඇත්තටම කියපු වචනේ අද වෙනතුරුත් ඔයා නොදන්න පාටයි අයියේ.....???

sansarasidu said...

@ මිස්සක,
:D :D :D

sansarasidu said...

@ roylyfernando ,
ඒක නම් ඇත්ත අයියෙ...
අයියවත් බොහොම සාදරයෙන් පිළිගන්නව සියපතට...
ස්තූතියි ගොඩවෙල අදහස් දැක්වපු එකට...
:D :D :D

sansarasidu said...

@ änthräX ,
හික්ස්Z...
මොනව කරන්නද මචං..
එහෙම වුණානම් අද උඹලට කියන්න කතාවකුත් නැති වෙනවනෙ...
හිහ් හිහ් හී..

sansarasidu said...

@ හා පැටික්කි (MS) ඇතුළු සැම,
කු/ක/අ/ව/ද ආදි අකුරු ගෙන සනා කොලුවාගේ සහයට පැමිණි සැමට ස්තූතිවන්ත වෙමි...
අයියෝ මේ එක අකුරක් අරගෙන එදා උඩ ඉන්න දෙයියොවත් සනා ළඟට ආපු නැති හැටි...

එදා ඊවා ටීචර් කියල තිබ්බෙ “කඩය“ කියල... ඒකයි වෙන අකුරක් නැතුව “ප“ යන්නම මගේ පුංචි ඔලුව වටේ කැරකුනේ...
හොඳට කල්පනා කරල බලන්න..
ඔය වචන දෙක ශබ්ද වෙන්නෙ එකම විදිහකට නෙමෙයිද කියල..
වැස්ස වෙලාවක ඔය දෙකේ වෙනස ආයෙ ඉතින් සක්කරයටවත් තේරෙයි කියල මං නම් හිතන්නෙ නෑ..

ඉතින් කවුද වැරදි...
දුප්පත් සනා කොලුව ද ?
ඊවා ටීචර් ද ?
නැත්නං අර හෙන ගහන වැස්ස ද?

තිස්ස දොඩන්ගොඩ said...

Cheveron කොම්පැනියේ වැඩ කරපු කෙනෙක්, මම කටාර් රාජ්‍යයේ වැඩ කරන කාලේ කිව්වේ මේක... ඔය සමහර පිස්සු අමරිකන් කට්ටිය ඔය "ප" යන්නේ fun එකක් ගන්න හැටි... ඕක ඉතින් තනිකරම ජීව වායු නොවෑ... highly flammable...! ඉතින් සමහර පාට් අවසානයේදී... සියලු ලයිට් නිවා දමා එක්කෙනා බැගින් ලයිටරයක් ගෙන ඔය "ප"යන්න පිට වෙන්න ඇර ගිනි දල්වන හැටි... එක් එක්කෙනා කෑ දේ හැටියට වර්ණයත් වෙනස් වෙනවලු... නමුත් තරමක අවදානම් වැඩක්ලු...!

Hasitha Gunasinghe said...

නියම කතාව :) :) :)

Anonymous said...

හනේ ඇත්තට ..මල්ලී ඔයාටමයි නේද?? මේවා වෙන්නේ.මම කියන්නද? මතක් කරලා බලන්නකෝ ඔයා එදා කන්න අරගන යන්න ඇත්තේ පාන් කියලයි මට හිතෙන්නේp ඒක නිසා තමා 'ප' යන්න ඇරෙන්න වෙන අකුරක් ඔලුවට ආවෙම නැත්තේ ඔයාගේ හී හී හී

- නිල් අහස - said...

ඒක නෙවෙයි..සනා, ඇත්තද මේ කියන්නේ...ඊට පස්සේ ඔයාට අන්වර්ථ නාමයකුත් ලැබුනා කියලා...ඒ සම්බන්ධයෙන්...හිහ්..හිහ්..හී.

මරු කතාව යාලුවා.
කහ කි..... දන්නවද මේ කතාව..ආ...

sansarasidu said...

@ තිස්ස අයියා,
හිහ් හිහ් හී...
මට නිකන් මැවිල පේනව වගෙ....
මරු කතාව අයියෙ...

sansarasidu said...

@ Hasitha,
ස්තූතියි මලයා...
(මලයගේ ගම් පලාත මටත් හොඳට හුරු පුරුදුයි...
මීට අවුරුදු කිහිපයකට කලින් මාත් සේවය කළේ ඔය පැත්තෙ තමා..)

sansarasidu said...

@ nimanthi,
නපුරු කලට වෙන දේවල්නෙ අක්කෙ...
හිහ් හිහ් හී...
අපි ඉතින් හොඳට පාන් කාලා පුරුදු මිනිස්සු තමා...
නිකන් නෙවී... පරිප්පුත් එක්කම...
හිහ් හිහ් හී....

(ආහ් මේ...
ඔයාගේ දැවෙන ප්‍රශ්නයට ආං මං උත්තර බැන්දා...
දුකා අයියගේ අඩවියෙදි...)

sansarasidu said...

@ නිල් අහස,
හිහ් හී... මචං උඹ කොහොමද ඒක දැනගත්තේ ආ...?
හිහ්... කාලයක් යනකල් කොල්ලො එක එක නම් නං කිව්ව තමා...
ඒත් ඒවා කාලයත් එක්කම අමතක වෙල ගියා...

හාපෝ.. මේවා එයාට කියතෑකිද...
ඒත් මේ ළඟදි දවසක මගේ බ්ලොග් එක කියවද්දි දැකල...
මට කිව්ව කලින් දන්නව නම්... යාලුවෙන එක ගැන දෙපාරක් හිතනව කියල..
හිහ් හිහ් හී...

Anonymous said...

මගේ දැවෙන ප්‍රශ්නය ? හෆොයි මේ මට බැංකුවල දාන්න සල්ලි තියනවනම් බැරියැයි
මම බැංකුවේ නම එතන ලියන්න කිව්වේ.. ඔයාගේ බැංකුවේ හිතසුව පිණිස සහ දුකාගේ උපදෙස් පිලිගත් අයගේ පහසුව තකා ඒකේ වරදක් නැහැ නේද??

රවා said...

රාවෙන් කියපු එකත් ඇත්ත.. නමුත් ඉතින් පොඩි මොලෙට එන වචනනෙ.. නැද්ද සනා.. මගෙත් තියනවා ඉස්පිලි පාපිලි අඩු වෙලා වුණු ඇබැද්දි ගොඩාක්.. මිස් ලා එකාලෙ බයිට් එකට ගන්නෙ මාව..

sansarasidu said...

@ nimanthi,
හිහ් හී...
දැම්මා අක්කේ දැම්මා...
දුකා අයියගෙත් අන් සැමගෙත් හිත සුව පිණිස මං බැංකුවේ නම සඳහන් කළා එතන... ඒත් ඇත්තම නම නම් නෙමේ... ඇත්තම එක දැම්මොත් මට බොසාගෙ කතන්දර ලියන එක නවත්තන්නයි වෙන්නෙ.. ඒත් මොළේ තියෙන කෙනෙකුට මං එතන දාපු නම අනුව අපේ බැංකුවේ නම සොයගන්න පුළුවනි...

sansarasidu said...

@ රවා,
ඕවා ඔහොම තමයි රවා...
බලාගෙන ගියහම අපි හැමෝටම පුංචි කාලේ මාර වැඩනෙ වෙලා තියෙන්නෙ...
හිහ් හිහ් හී...

Chanaka Aruna Munasinghe said...

http://www.facebook.com/photo.php?pid=5977329&l=d8018f25f5&id=685407931

මෙන්න ඔයා වගේම තව පොඩ්ඩෙක්/පොඩ්ඩියක්

Anonymous said...

හික් හික් අර කිව්වත්වගේ වෙන අකුරක් මතක් වුනේම නැත්දෑ..
අදයි මෙහාට ආවෙ.. අහම්බෙන් කියෙව්වෙ..
හික්ස් මාර චාටර් එක තමයි :D

sansarasidu said...

@ හිම කුමාරි,

මොනව කරන්නද සිස්.... ඒක එහෙම නොවුණා නම් කියන්න කතාවකුත් නැති වෙනවා නෙව...
:D

ගොඩක් ස්තූතියි ගොඩවැදිලා අදහස් කුරුටු ගෑවට...

Post a Comment